1. භද්‍රඝට ජාතකය (291)
සබ්බකාමදදං කුම්හං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් අනේපිඬු මහ සිටාණන්ගේ බෑණා කෙනෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි මව්පියන් සන්තක හතළිස් කෝටියක් රන් සුරාපානයෙහි නියුක්ත වීමෙන් නසා, සිටුතුමා සමීපයට ගියේය. හෙතෙම ඔහුට වෙළදාම් කරන්නැයි කියා කහවණු දහසක් දුන්නේය. එයද නාස්ති කොට නැවතත් සිටුතුමා ළගට ගියේය. නැවත ඔහුට පන්සියයක් දෙවීය. ඒවාද නාස්තිකොට නැවත ආවා වූ ඔහුට දළ රෙදි දෙකක් දෙවීය. ඒවාද නාස්ති කොට ආ ඔහුගේ බෙල්ලෙන් අල්ලා නෙරපා හැරියේය. හෙතෙම අනාථ වී අනුන්ගේ අගුපිලක් ළඟ කලුරිය කළේය. ඔහුගේ සිරුර එතනින් ඇද බැහැරට දැමූහ. අනේපිඬු සිටුතුමා විහාරයට ගොස් බෑණාගේ සියලු පුවත් තථාගතයන් වහන්සේට සැල කළේය. බුදුරජාණන් වහන්සේ නුඹ මේ තැනැත්තා කෙසේ සෑහීමකට පත්කරන්නෙහිද, මම පෙර සියලු සම්පත් ලබාදෙන කළයක් දී සෑහීමකට පත් කරන්නට නොහැකි වූයෙමියි වදාරා ඔහු විසින් ඉල්ලන ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටු කුලයෙහි ඉපදී පියාගේ ඇවෑමෙන් සිටු තනතුර ලැබූහ. ඔහුගේ ගෙදර පොළව යට සතළිස් කෝටියක් ධනය විය. ඔහුට එකම පුතෙක් සිටියේය. බෝසතාණන් වහන්සේ දානාදී පිංකොට කලුරිය කළාහු ශක්‍රදෙව් රජව උපන්හ. ඉක්බිති ඔහුගේ පුතා වීථිය අවුරා මඩුවක් කරවා මහජනයා පිරිවරන ලද්දේ හිඳගෙන රා බොන්නට පටන් ගත්තේය. හෙතෙම පිණුම් ගැසීම්, දිවීම්, ගී කීම්, නැටීම් ආදිය කරන්නන්ට දහස දහස බැගින් දෙමින් ස්ත්‍රීන්ට සුරාවට මස් ආදියට ලොල්ව ආදියට පැමිණ ගී කියන අය කොහිද? නටන අය. වාදනය කරන අය කොහිදැයි ගී නැටුම් අර්ථ වූයේ ඒවායේ ප්‍රමාද වී ඇවිදින්නේ නොබෝ කලකින් සතළිස් කෙළක් ධනය පරිභෝග කළයුතු අනුභව කළයුතු දෑ සඳහා නාස්ති කොට දුප්පත්ව බැගෑපත්ව වැරහැල්ලක් ඇඳගෙන හැසුරුණේය. ශක්‍රයා ආවර්ජනා කරන්නේ ඔහුගේ දුප්පත් බව දැක පුත්‍ර ප්‍රේමයෙන් අවුත් කැමති සියලු සම්පත් දෙන කළයක් දී, දරුව! මේ කළය නොබිඳෙන අයුරින් රැකගන්න. මේ කළය ඔබට ඇතිකල්හි ධනයෙහි ප්‍රමාණයක් නම් නොවන්නේය. නොපමාව කටයුතු කරන්නැයි අවවාද දි දෙව්ලොවටම ගියේය. ඔහු එතැන් පටන් රා බොමින් හැසිරුණේය. ඉක්බිති එක්දිනක් සුරාවෙන් මත් වී ඒ කළය අහසට දම දමා අල්ලමින් සිටිනවිට එක්වරක් අල්ලාගත නොහැකි විය. කළය බිම වැටී බිඳුණේය. එතැන්පටන් නැවත දිළිඳු වී ඉරුණු වැරහැල්ලක් ඇඳගෙන භාජනයක් ගත් අත් ඇතිව හිඟමනේ හැසිරෙමින් අගුපිළක මළේය.
බුදුරජාණන් වහන්සේ මේ අතීත කථාව ගෙනහැර දක්වා,
සබ්බ කාමදදං කුම්හං කුටං ලද්ධාන ධුත්තකො,
යාව සො අනුපාලෙති තාව සො සුඛමේධති
යදා මත්තො ච දිත්තොච පමාදා කුම්හ මබ්භිදා,
තතො නග්ගො ච පොත්‍ථො ච පච්ඡා බාලො විහඤ්ඤති
එවමෙව යො ධනං ලද්ධා අමත්තා පරිභුඤ්ජති,
පච්ඡා තපති දුම්මෙධො කුටං භින්නොව ධුත්තකො.
සියලු වස්තු කාමයන් දීමට සමත් කළය ලැබ ධූර්තයා එය රකින තෙක් සැප ලබයි. (ලැබීය)
යම් කලෙක සුරා මදයෙන් මත්වූයේ උඩඟු වූයේ සැලකිලි රහිත වූයේ කළය බින්දේද? ඉන්පසු නග්න වූයේ වැරහැලි හැන්දා වූ මෝඩයා වැනසෙයි.
එපරිදි යමෙක් ධනය ලැබ පමණ නොදැන පරිභෝග කෙරේද, ඒ අනුවණයා භද්‍රඝටය බිඳගත් ධූර්තයා සේ පසුව තැවෙයි.
මේ අභිසම්බුද්ධ ගාථා වදාරා ජාතක කථාව නිමවා වදාළ සේක.
එහි, සබ්බකාම දදං යනු සියලුම වස්තු කාමයන් දීමට සමත් කළය. කුටං යනු කළයටම වචනයකි. යාව යනු යම් පමණ කලක්. අනුපාලෙති යනු යම් කිසිවෙක් මෙබඳු දෙයක් ලබා යම්තාක් රකියිද, තාච සො සුඛමේධනි යනු ඒ තාක් ඔහු සැප ලබයි යන අර්ථයයි. මත්තො ච දිත්තොච යනු සුරා මදයෙන් මත්වූයේ අහංකාරයෙන් යුක්තව (දිලෙන) පමාදා කුම්භමබ්භිදා යනු ප්‍රමාදයෙන් කළය බින්දේය. නග්ගො ච පොත්‍ථො ච යනු කිසියම් දිනක නිරුවත්ව කිසිදිනෙක, රිටි සුඹුලු වස්ත්‍රයක් ඇඳ ඇති බැවින්, පොත්ථ නමි. එවමෙව යනු මෙසේම. අමත්තව යනු අපමණ, තප්පති යන සෝක කරයි.