9. නානාච්ඡන්‍ද ජාතකය (289)
නානාච්ඡන්‍දා මහාරාජං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේගේ වර ලැබීම අරබයා වදාළ සේක. කථාවස්තුව එකළොස්වන නිපාතයේ ජුණ්හ ජාතකයෙහි මතු සදහන් වන්නේය.
බෝසතාණන් වහන්සේ වනාහි යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී ඹහුගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන ඉපිද වැඩිවියට පැමිණ තක්සලා නුවරින් ශිල්ප හදාරා පියාගේ ඇවෑමෙන් රජකමට පැමිණියහ. ඔහුගේ තනතුරෙන් ඉවත්කළ පියාගේ පුරෝහිතයෙක් ඇත. ඔහු දුප්පත් වී දිරාපත් වූ ගෙයක වාසය කරයි. ඉක්බිති එක්දිනක් බෝසතාණන් වහන්සේ වෙස් වළාගෙන රාත්‍රී කාලයෙහි නගරය පරීක්‍ෂා කරමින් හැසිරෙයි. සොරකමෙහි යෙදූ සොරු එක් සුරා පලකින් සුරා පානය නොට අමතර සුරා කලයකින් ගෙන තමන්ගේ ගෙට යමින් ඇතුල් වීථියෙහි ඔහු දැක බොල, තෝ කවුදැයි කියා පහරදී උතුරුසළුව ගෙන සුරාකලය ඔහු ලවා රැගෙන තැති ගන්වමින් ගියාහුය. (තනතුරින් ඉවත් කළ) ඒ බමුණා වනාහි ඒ අවස්ථාවෙහි (නිවසින්) නික්ම ඇතුල් වීථියෙහි (පාරට බැස) සිටියේ නැකැත් කරු බලමින් රජතුමා සතුරන් අතට පත් වූ බව දැන බැමිණිය ඇමතුවේය. ඈ ඇයි ස්වාමීනි කියා වේගයෙන් ඔහු ළගට ආවාය. ඉක්බිති ඔහු ඇයට සොඳුරිය, අපගේ රජතුමා සතුරන් වසඟයට ගියේයයි කීවේය. ස්වාමීනි, රජතුමා පිළිබඳ පුවත ඒ බමුණෝ දනිත්දැයි ඇසුවාය.
රජතුමා බමුණාගේ ශබ්දය අසා ටිකදුරක් ගොස් ධූර්තයනට මහත්වරුනි, මම දුප්පත් මිනිසෙක්මි. මේ උතුරුසළුව රැගෙන මා නිදහස් කරනු මැනවියි කීය. ඔවුහු නැවත නැවතත් එසේ කියන ඔහු කරුණාවෙන් මුදාහළහ. රජතුමා බමුණා වසන ගෙය සලකුණුකොට නැවතුනේය. බමුණාද සොඳුරිය, අපගේ රජතුමා සතුරන්ගෙන් මිදුනේ යයි කීවේය. රජතුමා එයද අසා ප්‍රාසාදයට නැංගේය. රාත්‍රිය ගෙවී ගියකල්හි (උදෑසන) බමුණන් කැඳවා ආචාර්යවරුනි, රාත්‍රියෙහි නැකැත්කරු බැලුවාහුදැයි විචාළේය. එසේය දේවයන් වහන්ස! යහපත්ද අයහපත්ද? දේවයන් වහන්ස, යහපත්ය. කිසියම් ග්‍රහ පීඩාවක් නැත්ද? නැත දේවයන් වහන්ස. රජතුමා අසවල් ගෙයි බමුණා කැඳවන්නයි කියා පැරණි පෙරෙවි බමුණා කැඳවා ඇදුරුතුමනි කෙසේද? රාත්‍රියෙහි නුඹ නැකත්කරු දුටුවාදැයි විචාළේය. එසේය දේවයන් වහන්ස! එහි කිසියම් ග්‍රහ පීඩාවක් ඇද්ද? එසේය මහරජතුමනි, අද රාත්‍රී ඔබවහන්සේ සතුරන්ගේ වසඟයට පත්ව මොහොතින් නිදහස් වීයැයි කීය. රජතුමා නක්‍ෂත්‍රය දන්නා කෙනෙකු මෙවැන්නෙකු විය යුතුයයි පවසා සෙසු බමුණන් බැහැරකොට, බමුණ, තොපට මම පැහැදුනෙමි. වරයක් ගන්නැයි කීවේය. දේවයන් වහන්ස! අඹුදරුවන් සමග කතාබහ කොට ගත්තෙමියි කීය. යන්න කතාබහකොට එන්නැයි කීය.
ඔහු ගොස් බැමිණියද පුතාද ලේලියද දාසියද කැඳවා රජතුමා මට වරයක් දෙයි. කුමක් ගන්නෙමිදැයි විචාළේය. බැමිණිය මට දෙනුන් සියයක් ගෙනෙන්නැයි කීවාය. ඡත්තනම් පුතා මට කුමුදු (සුදු) පැහැයෙන් යුත් සෛන්ධව අසුන යෙදූ උතුම් රථයක් ගෙනෙන්නැයි කීය. ලේලිය මට මැණික් කුණ්ඩලාභරණය ආදීකොට සියලු ආභරණ ගෙනෙන්නැයි කීවාය. පුණ්ණා නම් දාසිය මට වංගෙඩියක්, මෝල්ගහක් සහ කුල්ලක් ගෙනෙන්නැයි කීවාය. බමුණා වනාහි ගම්වරක් (ගමක්) ගනු කැමැත්තෙන් රජු සමීපයට ගොස්, බමුණානෙනි, ඔබේ අඹුදරුවන්ගෙන් විමසුවේදැයි ඇසූවිට, එසේය මහරජ, විමසුවෙමි. නමුත් ඒකමතික බවක් නම් නැතැයි කියා
නානච්ඡන්‍දා මහාරාජ ඒකාගාරෙ වසාමසෙ,
අහං ගාමවරං ඉච්ඡෙ බ්‍රාහ්මණී ච ගවං සතං
ඡත්තො ච ආජඤ්ඤරථං කඤ්ඤා ච මණිකුණ්ඩලං,
යා චෙසා පුණ්ණිකා ජම්මී උදුක්කලං අභිකංඛති
මහරජතුමනි, වෙන වෙන දේවල් කැමති අපි එකගෙයි වාසය කරමු. මම ගම්වරයක් කැමැත්තෙමි. බැමිණිය ගවයන් සියයක් කැමැත්තීය.
ඡත්ත මානවක ආජානේය අසුන් යෙදූ රියක්ද, ලේලිය මිණිකොඬොළක්ද පුණ්ණිකා නම් දාසිය (කුළු මෝල්ගස් සහිත) වංගෙඩියක්ද කැමතිය.
එහි. ඉච්ඡෙ යනු කැමති වෙමි. ගවං සතං යනු රතු දෙනුන් සියයක්. කඤ්ඤා යනු ලේලිය. යාචෙසා යනු අපගේ ගෙදර සිටින යම් මේ පුණ්ණිකා පූර්ණිකා නම් දාසිය වන ජන්මයෙන් (උපතින්) පහත් වූ ඈ කුල්ල මෝල්ගස සමග උදුක්ඛලං අභිකංඛති වංගෙඩියක් කැමති වන්නීය.
රජතුමා සියල්ලන්ටම කැමති කැමති දේවල් දෙන්නැයි අණ කරමින්,
බ්‍රාහ්මණස්ස ගාමවරං බ්‍රාහ්මණියා ගවං සතං,
පුත්තස්ස ආජඤ්ඤරථං කඤ්ඤාය මණිකුණ්ඩලං,
යඤ්චෙතං පුණ්ණිකං ජම්මිං පටිපාදෙථ උදුක්ඛලං
බමුණාට ගම්වරයක්ද බැමිණියට ගවයන් සියයක්ද ඡත්‍ර නම් බමුණු පුතාට ආජානේය අසුන් යෙදූ රියක්ද, ලේලියට මැණික් යෙදූ කනේ පළඳින ආභරණයක්ද. හීන වූ මේ පුණ්ණිකා දාසියට වංගෙඩියක් මෝල්ගසක් පිළියෙළ කොට දෙමි.
එහි, යඤ්චෙතං යනු මේ පුණ්ණිකං යනු පූර්ණිකාව යමක් කියයිද, ජම්මිං උදුක්ඛලං පටිපාදෙථ උපතින් පහත් තැනැත්තියට ඒ වංගෙඩිය ලබා දෙවන්න.
මෙසේ රජතුමා යමක් බමුණා විසින් පතන ලදද එයද, තවත් මහත් සම්පත් දී මෙතැන් පටන් අපට කළයුතු කටයුතුවලදී උත්සාහ වන්නැයි කියා බමුණා තමා ළඟ සේවයට යෙදීය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල බමුණා ආනන්දය. රජතුමා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
සීල වීමංස ජාතකය
සීලං කිරෙව කල්‍යාණං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් සිල් ගැන විමසන එක් බමුණෙකු අරබයා වදාළ සේක. වර්තමාන හා අතීත කථාවස්තු යට (මුලදී) ඒකක නිපාතයෙහි සීලවිමංසක ජාතකයෙහි විස්තර කරන ලදි. මෙහි වනාහි බරණැස් නුවර බඹදත් රජු, රජ කරද්දී ඔහුගේ පෙරෙවි බමුණා තමන්ගේ සීලය විමසන්නෙමියි, මසුරන් තිබෙන පුවරුවෙන් දින දෙකක්, එක එක කහවණුව බැගින් ගත්තේය. ඉක්බිති තෙවන දවසේ ඔහු සොරෙකැයි කියා අල්ලාගෙන, රජු ළඟට පැමිණවූහ. ඔහු අතරමගදී සර්පයෙකු නටවනු අහිකුණ්ඨකයෙකු දුටුවේය. ඉන්පසු රජතුමා ඔහු දැක, පින්වත කුමක් නිසා මෙබඳු දෙයක් කළේදැයි විචාළේය. බමුණා තමන්ගේ සීලය විමසනු කැමති නිසා යැයි කියා,