සීල වීමංස ජාතකය
සීලං කිරෙව කල්යාණං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් සිල් ගැන විමසන එක් බමුණෙකු අරබයා වදාළ සේක. වර්තමාන හා අතීත කථාවස්තු යට (මුලදී) ඒකක නිපාතයෙහි සීලවිමංසක ජාතකයෙහි විස්තර කරන ලදි. මෙහි වනාහි බරණැස් නුවර බඹදත් රජු, රජ කරද්දී ඔහුගේ පෙරෙවි බමුණා තමන්ගේ සීලය විමසන්නෙමියි, මසුරන් තිබෙන පුවරුවෙන් දින දෙකක්, එක එක කහවණුව බැගින් ගත්තේය. ඉක්බිති තෙවන දවසේ ඔහු සොරෙකැයි කියා අල්ලාගෙන, රජු ළඟට පැමිණවූහ. ඔහු අතරමගදී සර්පයෙකු නටවනු අහිකුණ්ඨකයෙකු දුටුවේය. ඉන්පසු රජතුමා ඔහු දැක, පින්වත කුමක් නිසා මෙබඳු දෙයක් කළේදැයි විචාළේය. බමුණා තමන්ගේ සීලය විමසනු කැමති නිසා යැයි කියා,
සීලංකිරෙව කල්යාණං සීලං ලොකෙ අනුත්තරං,
පස්ස ඝෝර විසො නාගො සීලවාති න හඤ්ඤති
පස්ස ඝෝර විසො නාගො සීලවාති න හඤ්ඤති
සොහං සීලං සමාදිස්සං ලොකෙ අනුමතං සිවං,
අරියවත්තිසමාචාරො යෙන වුච්චති සීලවා
අරියවත්තිසමාචාරො යෙන වුච්චති සීලවා
ඤාතීනඤ්ච පියො හොති මිත්තෙ සුච විරොචති,
කායස්ස භෙදා සුගතිං උපපජ්ජති සීලවා
කායස්ස භෙදා සුගතිං උපපජ්ජති සීලවා
යනුවෙන් කීවේය.
ආචාර සීලයම යහපත්ය. සිලය ලෝකයේ අනුත්තරය බලව, දරුණු විෂ ඇති නයා පවා සිල්වතෙකැයි කියා හිංසා කරුණු නොලැබේ.
සිල්වතා යම් සීලයක් නිසා ආර්ය පැවතුම් ඇත්තෙක් යැයි, කියනු ලැබේද? ලොව නිර්භය තත්ත්වයකැයි දන්නා ලදද එබඳු සීලය මම සමාදන් වෙමි.
සිල්වතා නෑයන්ට ප්රිය වෙයි. මිතුරන් අතරෙහි බබළයි. මරණින් මතු දෙව්ලොව උපදියි.
එහි, සිලං යනු මනා හැසිරීමයි. කිර යනු පරම්පරාගත අර්ථයෙහි නිපාතයකි. කල්යාණං යහපත්. සීලය යහපත්ලු යනුවෙන් මෙසේ නුවණ ඇත්තෝ කියති යන අර්ථයි. පස්ස යනු තමන්ටම කියයි. න හඤ්ඤති යනු අනුන්ටද නොවෙහෙසයි. අනුන් විසින් නොවෙහෙසනු ලැබේ. සමාදිස්සං යනු සමාදං වෙමි. අනුමතං සිවං යනු ආරක්ෂා සහිතය. නිර්භයය යනුවෙන් මෙසේ නුවණ ඇත්තන් විසින් පිළිගන්නා ලදි. යෙන වුච්චති යනු යම් සීලයකින් සිල්වත් වූ පුරුෂයා ආර්ය වූ බුදුවරයන්ගේ පුතිපත්තිය අනුව හැසිරෙන්නේ, අරියවත්තිසමාචාරො යයි කියනු ලැබේ. මම එය සමාදන් වන්නෙමියි යන අර්ථයයි. විරොචති යනු පර්වත මතුවෙහි ගිනිකන්දක් මෙන් බබළයි.
මෙසේ බෝසතාණන් වහන්සේ ගාථා තුනකින් සීල වර්ණනාව ප්රකාශ කරමින් රජුට දහම් දෙසා මහරජතුමනි, මගේ ගෙයි පියා සන්තක වූද මව සන්තක වූද මා විසින් උපදවන ලද්දා වූද ඔබවහන්සේ විසින් දෙන ලද්දා වූ බොහෝ ධනය ඇත. කෙළවරක් නොපෙනෙයි. මම වනාහි සිල් විමසමින් මසුරන් තිබූ පුවරුවෙන් කහවණු ගත්තෙමි. දැන් මවිසින් මේ ලෝකයෙහි, ජාතිය, ගෝත්රය, කුල යන කොටස්වල පහත් බවද සීලයෙහිම උසස් බැව්ද දැනගන්නා ලදිමි. මම පැවිදි වන්නෙමි. මගේ පැවිද්දට අවසර දෙන්නැයි අවසර ඉල්ලාගෙන රජතුමා විසින් නැවත නැවතත් (නවතින්නට) ඉල්ලා සිටියදීත්, නික්මී හිමාල වනයට පිවිස තාපස පැවිද්දෙන් පැවිදිව සමාපත්ති උපදවාගෙන බඹලොව උපන්හ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල සිල් විමසූ පෙරෙවි බමුණා මම්ම වූයෙමියි වදාළ සේක.
සිව්වැනි අබ්භන්තර වර්ගය නිමියේය.
5. කුම්භ වර්ගය
1. භද්රඝට ජාතකය (291)
සබ්බකාමදදං කුම්හං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් අනේපිඬු මහ සිටාණන්ගේ බෑණා කෙනෙකු අරබයා වදාළ සේක. ඔහු වනාහි මව්පියන් සන්තක හතළිස් කෝටියක් රන් සුරාපානයෙහි නියුක්ත වීමෙන් නසා, සිටුතුමා සමීපයට ගියේය. හෙතෙම ඔහුට වෙළදාම් කරන්නැයි කියා කහවණු දහසක් දුන්නේය. එයද නාස්ති කොට නැවතත් සිටුතුමා ළගට ගියේය. නැවත ඔහුට පන්සියයක් දෙවීය. ඒවාද නාස්තිකොට නැවත ආවා වූ ඔහුට දළ රෙදි දෙකක් දෙවීය. ඒවාද නාස්ති කොට ආ ඔහුගේ බෙල්ලෙන් අල්ලා නෙරපා හැරියේය. හෙතෙම අනාථ වී අනුන්ගේ අගුපිලක් ළඟ කලුරිය කළේය. ඔහුගේ සිරුර එතනින් ඇද බැහැරට දැමූහ. අනේපිඬු සිටුතුමා විහාරයට ගොස් බෑණාගේ සියලු පුවත් තථාගතයන් වහන්සේට සැල කළේය. බුදුරජාණන් වහන්සේ නුඹ මේ තැනැත්තා කෙසේ සෑහීමකට පත්කරන්නෙහිද, මම පෙර සියලු සම්පත් ලබාදෙන කළයක් දී සෑහීමකට පත් කරන්නට නොහැකි වූයෙමියි වදාරා ඔහු විසින් ඉල්ලන ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.