8. මච්ඡුද්දාන ජාතකය (288)
අග්ඝනම් මච්ඡා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන සේක් එක් කපටි වෙළෙන්දෙකු අරබයා වදාළ සේක. කථාවස්තුව යට (මුලදී) කියන ලද්දේය.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කෙළඹි කුලයෙහි (වෙළද කුලය) ඉපිද දැනුම් තේරුම් ඇති වයසට පැමිණ පවුල් ජීවිතයක් ඇරඹූහ. ඔහුට මල්ලී කෙනෙක්ද ඇත. පසුකලෙක ඔවුන්ගේ පියා කලුරිය කළේය. ඔවුහු එක්දිනක් පියා සන්තක වෙළදාම කරගෙන යන්නෙමුයි කියා එක් ගමකට ගොස් කහවණු දහසක් ලැබ එන්නාහු ගංතෙර නැවක් බලාපොරොත්තුවෙන් බත්මුල අනුභව කළහ. බෝසතාණන් වහන්සේ ඉතිරි බත් ගඟෙහි මාලුන්ට දී ගඟට අරක්ගත් දේවතාවාට පින් අනුමෝදන් කළහ. දේවතාවා පින් අනුමෝදන් වීමෙන්ම දිව සැපතින් වැඩිදියුණු වී තමන්ගේ සැපසම්පත් වැඩිවීම සිහි කරමින් ඒ කාරණාව දැන ගත්තේය. බෝසතාණන් වහන්සේද වැලිතලාවෙහි උතුරුසළුව එළාගෙන වැතිරී නින්දට බැසගත්හ. ඔහුගේ බාල සහෝදරයා වනාහි ටිකක් සොර ගති ඇත්තෙකි. ඔහු ඒ කහවණු බෝසතාණන් වහන්සේට නොදී තමන් තනියම ගනු කැමැත්තෙන් ඒ කහවණු පොදිය සමාන එක් ගල්කැට පොදියක් සාදා පොට්ටනි දෙකම එකට තැබුවේය. නැවට නැග ගඟ මැදට ගිය දෙදෙනාගෙන් බාලයා නැවට කොටා (තට්ටුකොට) ගල්කැට පොදිය දියට දමන්නෙමියි සිතා කහවණු දහස බැඳි පොදිය දැම්මේය. අය්යේ, කහවණු දහස ජලයට වැටුණි. කුමක් කරමුදැයි කීවේය. ජලයේ වැටුණු විට කුමක් කරන්නද? ඒ ගැන නොසිතන්නැයි කීය. නදී දේවතාවා “මම මොහු විසින් දෙන ලද පිං අනුමෝදන් වී දිව යස ඉසුරු වැඩිකර ගතිමි. මොහුට අයත් දේ රකින්නෙමි” යි සිතුවේය. තමන්ගේ ආනුභාවයෙන් ඒ මසුරන් පොදිය එක් ලොකු කටක් ඇති මසෙකු ලවා ගිල්ලවා තමා අරක් ගත්තේය. (රැකවරණය භාරගත්තේය) ඒ සොරාද ගෙදර ගොස් මවිසින් අය්යා වංචා කරන ලදි යයි සිතා පොට්ටනිය ලිහා බලන්නේ ගල්කැට දැක හදවතින් තැවෙමින් ඇඳවිට්ටම අල්ලාගෙන නිදාගත්තේය.
එකල මසුන් මරන්නෝ මසුන් ඇල්ලීමට දැල දැමූහ. ඒ මාලුවා දේවතාවගේ අනුහසින් දැලට පිවිසියේය. මසුන් මරන්නෝ ඌ විකුණන්නට නගරයට පිවිසියහ. මිනිස්සු මහ මාලුවා දැක මිළ විමසත්. ධීවරයෝ කහවණු දහසකුත් මාසක හතක් දී ගනිව් යයි කියති. මිනිස්සු කහවණු දහසක් වටිනා මසෙකු අප දුටුවෙමුයි අපහාස කරත්. ධීවරයෝ මාලුවා ගෙන බෝසතාණන් වහන්සේගේ නිවස ළඟට ගොස් මේ මාලුවා ගනිව් යයි කීවාහුය. මුගේ මිළ කීයද? මාසක හතක් දී ගන්නැයි කීහ. අන් අයට දෙනවානම් කීයකට දෙනවාද? අන් අයට නම් කහවණු දහසක් සහ මාසක හතකට දෙමු. නුඹලා මාසක හතක් ගන්නැයි කීහ. හෙතෙම ඔවුන්ට මාසක හතක් දී මාලුවා බිරිඳට යැව්වේය. ඈ මාලුවාගේ බඩ පලමින් කහවණු දහසේ පොදිය දැක බෝධිසත්ත්වයන් වහන්සේට සැල කළාය. බෝධිසත්ත්වයන් වහන්සේ එය බලා තමන්ගේ සලකුණ දැක තමන්ගේ බව දැන දැන් මේ ධීවරයෝ මේ මාලුවා අනුන්ට දෙමින් කහවණු දහසක් හා මාසක හතකට දෙති. අප වෙත පැමිණ කහවණු දහස අපට අයිති බැවින් මාසක හතක් ගෙන දුන්නාහුය. මෙහි අතරතුර සිද්ධි නොදන්නවුන්ට කිසිවක් ඒත්තු ගන්වන්නට නොහැකි යයි සිතා,