7. ලාභගරහ ජාතකය (287)
නානුම්මත්තො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් සැරියුත් මහරහතන් වහන්සේගේ සද්ධිවිහාරික ශිෂ්‍යයකු අරබයා වදාළ සේක. සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික භික්‍ෂුව තෙරුන් වෙත එළඹ වැඳ එකත්පසෙක හිඳිමින් ස්වාමීනි, මට ලාභ උපදවන ප්‍රතිපදාව කියනු මැනවි. කුමක් කරමින් සිවුරු ආදිය ලබන්නෙක් වේදැයි විචාළේය. ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ ඇවැත්නි, අංග හතරකින් යුක්ත වූවෙකුට ලාභ සත්කාර උපදියි. එනම් තමන් තුළ ලජ්ජාව බිඳ දමා මහණකම නොසලකා හැර උමතු නොවී එහෙත් උමතු වූවෙකු මෙන් විය යුතුයි. කේලාම් කිවයුතුයි. නළුවෙකු හා සමාන විය යුතුයි. කටට ආ දෙයක් කියන කලබල තැනැත්තෙකු විය යුතුය යන මේ හතර ලාභ උපදවන ප්‍රතිපදාව වදාළ සේක. ඒ භික්‍ෂුව ඒ ප්‍රතිපදාවට ගරහා අසුනෙන් නැගිට ගියේය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ඒ පුවත කිහ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රය, ඒ භික්‍ෂුව ලාභයට ගැරහුවේ දැන් පමණක් නොවේ. පෙරත් ගැරහුවේම යැයි වදාරා තෙරුන් වහන්සේගේ ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර පෑ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ බමුණු කුලයෙහි ඉපදී වැඩිවියට පත්ව සොළොස් (16) වස් කාලයේ ත්‍රිවේදයේ හා අටළොස් ශිල්පයන්ගේ කෙළවරට පැමිණ දිසාපාමොක් ඇදුරුව පන්සියයක් තරුණයින්ට ශිල්ප ඉගැන්වූහ. එහි එක් ශීලාචාර සම්පන්න තරුණයෙක් එක්දිනක් ගුරුතුමා වෙත ගොස් ගුරුතුමනි, මේ සත්ත්වයන්ට කෙසේ නම් ලාභ උපදීදැයි ලාභ ප්‍රතිපදාව විචාළේය. ගුරුතුමා දරුව! මේ සත්ත්වයන්ට කරුණු සතරකින් ලාභ උපදිතියි කියා,
නානුම්මත්තො නාපිසුණො නානටො නාකුතූහලො,
මුළ්හෙසුලභතෙ ලාභං එසාතෙ අනුසාසනි
යන පළමු ගාථාව කීවේය.
උමතු නොවූ තැනැත්තා කේළාම් නොකියන තැනැත්තා, නොනටන තැනැත්තා, කුතුහලය නොවන තැනැත්තා. මෝඩයන් ලාභ නොලබයි. මේ නුඹට අපේ ලාභ අනුශාසනාවයි.
එහි, න අනුම්මත්තො යනු මෙය කියන ලද්දේ වෙයි. යම්සේ උම්මත්තකයා ස්ත්‍රී පුරුෂයන්, දරුවන් දැක ඔවුන්ගේ වස්ත්‍ර ආභරණ ආදිය පැහැර ගනියි. ඒ ඒ තැනින් මස්, මාලු, කැවුම් ආදිය බලෙන් රැගෙන කයි. මෙසේම යම් ගිහියෙක් කුසල් අකුසල් ගණන් නොගෙන, අපා බියට බිය නොවෙමින් ලෝභයෙන් යටපත් කරන ලද මඩින ලද සිත් ඇතිව කාමයන්හි (යෙදී) පමා වූයේ ගෙවල් බිදීම් ආදී සැහැසි ක්‍රියා කරයි. පැවිද්දා ද ලැජ්ජා භය හැර කුසල්, අකුසල් ගණන් නොගෙන අපා බියට බිය නොවී, බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්‍ෂාපද කඩමින් ලෝභයෙන් යටපත් කරන ලද මඩින ලද සිත් ඇතිව කාමයන්හි (යෙදී) පමා වූයේ ගෙවල් බිදීම් ආදී සැහැසි ක්‍රියා කරයි. පැවිද්දා ද ලැජ්ජා භය හැර කුසල්, අකුසල් ගණන් නොගෙන අපා බියට බිය නොවී, බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ශික්‍ෂාපද කඩමින් ලෝභයෙන් යටපත් කරන ලද මඩින ලද සිත් ඇතිව සිවුරු ආදී යමක් නිසා, තමන්ගේ පැවිදි කටයුතු අතහැර පමාවූයේ වෙදකම්, පණිවිඩ ගෙනයාම් ආදිය කරයි. (ගිහියන්ට) උණස් ආදිය දීමෙන් දිවි ගෙවයි. මොහු උමතු නොවී උමතුවකු සමාන බැවින් පිස්සෙකි. මෙබඳු තැනැත්තාට වහා ලාභ උපදියි. යමෙක් වනාහි මෙසේ උමතු නොවූයේ (පවට) ලැජ්ජා, ඇති වරදට පසුතැවෙන මොහු මුළා වූවන් අතර අනුවණයන් අතර ලාභ නොලබයි. ඒ නිසා ලාභ බලාපොරොත්තු වන තැනැත්තා විසින් පිස්සෙකු මෙන් විය යුතුය.
නාපිසුණො යනු මෙහිද යමෙක් කේළාම් කියයිද, අසවලා මෙනම් දෙය කරන ලදැයි කියා රජගෙට කේළාම් ගෙනයයි. ඔහු අනුන්ගේ කීර්තිය පැහැරගෙන තමන්ට පවරා ගනී. රජවරු මේ තෙමේ අප කෙරෙහි සෙනෙහස ඇත්තෙකැයි සිතා උසස් තනතුරක තබත්, ඇමතිකම් ආදී තනතුරු දරන අයද මේ තෙමේ රජගෙදර අය අප හා භේද කරන්නේ යැයි බියෙන් (යමක්) දිය යුතුයයි සිතත්. මෙසේ දැන් කේළාම් කියන්නාට ලාභ උපදියි. යමෙක් වනාහි කේළාම් නොකියන්නේ නම් ඔහු මුළා වූ අය අතර ලාභ නොලබයි. මෙසේ අර්ථය දැක යුතුයි.
නානමො යනු ලාභ උපදවන වූ තැනැත්තා නටන්නෙකු මෙන් විය යුතුයි. නටන්නා ලැජ්ජා බය නැතිව නැටුම්, ගී කීම්, වාදනය කිරීම්වලින් ක්‍රීඩාකොට ධනය රැස් කරයි. මෙසේම ලාභ බලාපොරොත්තු වන්නා විසින් ලැජ්ජා, භය බිඳ ස්ත්‍රී, පුරුෂ, දරුවන්ට ලොල් ස්වභාවයෙන් යුතු වී නොයෙක් ආකාර සෙල්ලම් කරන්නෙකු වී හැසිරිය යුතුයි. යමෙක් එසේ නළුවෙක් නොවේනම් හෙතෙම මුලාවූවන් අතර ලාභ නොලබයි.