6. සාලුක ජාතකය (286)
මා සාලුකස්ස පිහයි යන බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ථුල්ල කුමාරිකාවගේ පෙළඹවීම අරබයා වදාළ සේක. එය චුල්ලනාරද කාශ්යප ජාතකයෙහි මතු සඳහන් වන්නේය. බුදුරජාණන් වහන්සේ ඇත්තද මහණ? ඔබ කළකිරුණේදැයි ඒ භික්ෂුවගෙන් විචාළ සේක. එසේය ස්වාමීනි. ඔබ කළකිරවන්නේ කවුද? ස්වාමීනි! ථුල්ල කුමාරිකාවයි. බුදුරජාණන් වහන්සේ මහණ මේ තැනැත්තී ඔබට අනර්ථයක් කරන්නීය. පෙරත් නුඔ මැයගේ විවාහය සඳහා ආවා වූ අමුත්තන්ට ආහාරයක් වූයේ යයි වදාරා භික්ෂූන් විසින් අයදින ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරන සමයෙහි බෝසතාණන් වහන්සේ මහා ලෝහිත නම් ගොනෙකු වූහ. මොහුගේ මල්ලී වනාහි චුල්ලලෝහිත නම් විය. දෙදෙනාම ගමක එක් කුලයක වැඩපල කරත්. ඒ ගෙදර වැඩිවියට පත් එක් කුමාරිකාවක් සිටියාය. ඈ වෙනත් කුලයක් ඇයට විවාහ යෝජනා කළේය. ඉක්බිති ඒ (ගවයන් සිටින) ගෙදර විවාහ මගුල් කාලයෙහි ආහාරයක් වන්නේ යයි සාලුක නම් ඌරෙකු කැඳ බත් දී පෝෂණය කළේය. ඒ ඌරා ඇඳ යට නිදයි. ඉක්බිති එක් දිනක් චුල්ල ලෝහිත ගොනා සහෝදරයාට “සහෝදරය, අපි මේ ගෙදර වැඩ කරමු. අප නිසා මේ ගෙදර අය ජීවත් වෙති. එහෙත් මේ මිනිස්සු අපට තණකොළ හා පිදුරු පමණක් දෙති. මේ ඌරා කැඳ බත්වලින් පෝෂණය කරති. ඇද යට නිදි කරවති. ඌ ඔවුන්ට කුමක් කරන්නේදැ” යි කීවේය. මහාලෝහිත මල්ලී, නුඹ උගේ කැඳ බත් නොපතන්න. ඒ කුමාරිකාවගේ විවාහ දිනයෙහි මේ ඌරා ආහාර පිණිස ගනු කැමතිව මොවුහු උගේ මස් වැඩි කරනු පිණිස පෝෂණය කරති. කීප දිනකින් ඌරාට වන දේ බලන්න. ඇඳ යටින් මෑත්කොට, මරා කෑලි කෑලිවලට සිඳ අමුත්තන්ට ආහාරයට පිළියෙළ කරතියි කියා,
මා සාලුකස්ස පිහයි ආතුරන්නානි භුඤ්ජති,
අප්පොස්සුක්කො භුසං ඛාද එතං දීඝායු ලක්ඛණං
අප්පොස්සුක්කො භුසං ඛාද එතං දීඝායු ලක්ඛණං
ඉදානි සො ඉධාගනත්වා අතිථී යුත්තසෙවකො,
අථ දක්ඛසි සාලූකං සයන්තං මුසලුන්තරං
අථ දක්ඛසි සාලූකං සයන්තං මුසලුන්තරං
යන පළමු ගාථා දෙක ඉදිරිපත් කළේය.
සාලුක නම් ඌරාගේ ස්වභාවය පතන්න එපා. සාලුකයා මරබත් අනුභව කරයි. ඔහුගේ ආහාරයට උත්සාහ නොකොට බොල් මිශ්ර පිදුරු කන්න. මේ දීර්ඝායුෂ ලබන්නට හේතුවකි.
දැන් සේවකයන්ගෙන් යුක්ත වූ ඒ විවාහපේක්ෂක ආගන්තුක පුරුෂයා මෙහි පැමිණ සිටියේය. අනතුරුව මෝල්ගසක් වැනි උඩුකොල ඇති මරණු පිණිස වැතිරී සිටින සාලුක නම් ඌරා ඔබ දක්නෙහිය.
මේ එහි කෙටි අර්ථයයි. මල්ලී ඔබ සාලුක ඌරාගේ ස්වභාවය නොපතන්න. මූ යම් ආහාර අනුභව කොට නොබෝ කලකින්ම මරණයට පැමිණෙන්නේද ඒ ආතුරන්නානි මරණ භෝජන භුඤ්ජති අනුභව කරයි. ඔබ අප්පොස්සුක්කො (ඌරාගේ කැඳබත් ආහාර ගැන) ආශාව නැති කෙනෙක් වී තමා ලද මේ භුසංඛාද පිදුරු ආහාරය කන්න. එය දීර්ඝායුෂ ලැබීමේ ලක්ෂණයයි, ආයුෂ හඳුනාගන්නා නිමිත්තය. ඉදානි දැන් කිහිප දිනකින්ම සො ඒ විවාහ ගිවිසගත් පුරුෂයා යුත්තසෙවකො මහත් වූ පිරිසක් ඇති කෙනෙක්ව මෙහි (මේ නිවසෙහි) ආගන්තුකයෙක් වී පැමිණෙන්නේය. එවිට මේ සාලුකං සාලුකයා මෝල්ගසක් වැනි උඩු තොලකින් යුක්ත වූ හෙයින් මුසලුත්තරං මුසලුත්තර නම් වූ මේ ඌරා මරණය පිණිස නිදන අයුරු දක්නෙහිය.
ඉක්බිති කීපදිනකින්ම විවාහ වන අය ආ කල්හි සාලුකයා මරා ආහාර සකස් කළහ. ගොන්නු දෙදෙනා ඒ සිද්ධිය දැක අපගේ බොල් මිශ්ර පිදුරු උතුම් යයි සාකචඡා කළහ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණ ඒ අර්ථය බබුළුවන,
විකත්තං සූකරං දිස්වා සයනතං මුසලුත්තරං,
ජරග්ගවා විචින්නෙසුං වරම්හාකං භුසාමිව
ජරග්ගවා විචින්නෙසුං වරම්හාකං භුසාමිව
යන තුන්වන ගාථාව වදාළහ.
මෝල්ගසක් වැනි උඩුතොල ඇතිව වැතිර සිටින කපන ලද ඌරා දැක ගොන්නු අපගේ පිදුරුම උතුම් යයි සිතූහ.
එහි, භුසාමිව යනු බොල් වී මිශ්ර පිදුරු ම අම්හාකං වරං අපට උතුම්ය යන අර්ථයයි.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්යය දේශනාකොට ජාතක කථාව නිමවා වදාළ සේක. සත්ය කෙළවර ඒ භික්ෂුව සෝවාන් ඵලයෙහි පිහිටියේය. එකල ථුල්ල කුමාරිකාව දැනුත් ථුල්ල කුමාරිකාවමයි. සාලුක ඌරා කළකිරුණු භික්ෂුව විය. චුල්ල ලෝහිත ආනන්දය. මහා ලෝහිත වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
7. ලාභගරහ ජාතකය (287)
නානුම්මත්තො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් සැරියුත් මහරහතන් වහන්සේගේ සද්ධිවිහාරික ශිෂ්යයකු අරබයා වදාළ සේක. සැරියුත් තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික භික්ෂුව තෙරුන් වෙත එළඹ වැඳ එකත්පසෙක හිඳිමින් ස්වාමීනි, මට ලාභ උපදවන ප්රතිපදාව කියනු මැනවි. කුමක් කරමින් සිවුරු ආදිය ලබන්නෙක් වේදැයි විචාළේය. ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ ඇවැත්නි, අංග හතරකින් යුක්ත වූවෙකුට ලාභ සත්කාර උපදියි. එනම් තමන් තුළ ලජ්ජාව බිඳ දමා මහණකම නොසලකා හැර උමතු නොවී එහෙත් උමතු වූවෙකු මෙන් විය යුතුයි. කේලාම් කිවයුතුයි. නළුවෙකු හා සමාන විය යුතුයි. කටට ආ දෙයක් කියන කලබල තැනැත්තෙකු විය යුතුය යන මේ හතර ලාභ උපදවන ප්රතිපදාව වදාළ සේක. ඒ භික්ෂුව ඒ ප්රතිපදාවට ගරහා අසුනෙන් නැගිට ගියේය. තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත එළඹ ඒ පුවත කිහ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්රය, ඒ භික්ෂුව ලාභයට ගැරහුවේ දැන් පමණක් නොවේ. පෙරත් ගැරහුවේම යැයි වදාරා තෙරුන් වහන්සේගේ ඉල්ලීම පරිදි අතීත කථාව ගෙනහැර පෑ සේක.