5. මණිසූකර ජාතකය (285)
දරියා සත්තවස්සානි යන මේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සුන්දරියගේ මරණය අරබයා වදාළ සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර ගරුකාර කරන ලද්දාහු වෙති. කථාවස්තුව බන්‍ධකයේ දක්වා ඇත්තේමය. මෙය වනාහි එහි සාරාංශයයි. භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂු සංඝයාටද පංචමහා ගංගාවල මහා දියකඳ සමාන ලාභ සත්කාර උපන් කල්හි නැසුණු ලාභ සත්කාර ඇති අන්‍ය තීර්ථකයෝ හිර උදාවන කල්හි කණාමැදිරියන් මෙන් බැබළීම නැති වී එකට එක්ව “අපි ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ උපන් කාලයේ සිට නැසුණු ලාභ සත්කාර ඇත්තෝ වෙමු. කිසිවෙක් අප සිටින බවවත් නොදනිති. කවරෙකු සමග එක්වී ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට අපකීර්තියක් උපදවා උන්වහන්සේගේ ලාභ සත්කාර අතුරුදහන් කරවන්නෙමුදැයි සාකච්ඡා කළහ. ඉක්බිති ඔවුන්ට “සුන්දරිය සමග එකතුවී (එය ඉටුකර ගැනීමට) හැකිවන්නෙමු යි” යන අදහස ඇතිවිය.
ඔවුහු එක්දිනක් සුන්දරිය තීර්ථකාරාමයට පිවිස වැඳ සිටිවිට කථා නොකළාහුය. ඈ නැවත නැවතත් කථා කළද පිළිතුරක් නොලැබ ස්වාමීනි, ඔබවහන්සේලා කිසිවකු විසින් වෙහෙසට පත්කළාහුදැයි විචාළාය. නැගණියනි! ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අප වෙහෙසවා ලාභසත්කාර නැති අය බවට පත්කොට හැසිරෙන අයුරු නොදකින්නෙහිද? ඈ මෙම කරුණෙහි මා විසින් කුමක් කිරීම සුදුසුදැයි ඇසුවාය. නැගනිය, නුඹ වනාහි මනා රූ ඇත්තීය. සෝභාවෙන් අගතැන් පැමිණියාය. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට අපකීර්තියක් ආරෝපනය කොට මහජනයාට නුඹේ කථාව ඒත්තු ගන්වා ලවා සත්කාර නැති කෙනෙකු කරවයි කීහ. ඈ යහපතැයි පිළිගෙන වැඳ ගියාය. එතැන් පටන් මල්- සුවඳ-විලවුන්-කපුරු කටුක රස ඇති ගෙඩි ආදිය ගෙන හවස් කාලයේ මහජනයා බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාව අසා නගරයට පිවිසෙන කාලයේ ජේතවනාරාමය දෙසට යයි. කොහි යන්නෙහිදැයි විමසන ලදුව ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සමීපයට, මම උන්වහන්සේ සමග එක ගඳකිලියේ වසමියි කියා එක්තරා තීර්ථක ආරාමයක වාසය කොට උදෙන්ම ජේතවනාරාමයට යන මාර්ගයට බැස නගරයට බලා යන්නීය. සුන්දරිය කෙසේද? කොහි ගියෙහිදැයි විමසන ලදුව ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සමග එක ගඳකිළියේ වාසයකොට උන්වහන්සේ කෙළෙස් ඇල්මට (ලිංගික තෘප්තියට) පමුණුවා ආවෙමියි කියයි.
ඉක්බිති දින කීපයකට පසු ධූර්තයන්ට කහවණු දී “යන්න! ඒ සුන්දරිය මරා ශ්‍රමණ ගෞතමයන්ගේ ගඳකිළිය සමීපයෙහි ඉවත දැමූ මල්ගොඩ ඇතුළෙහි දමා එන්නැ” යි කීවාහුය. ඔවුහු එසේ කළහ. ඉන්පසු තීර්ථකයෝ සුන්දරිය නොදක්නෙමුයි කලබලකොට රජතුමාට දන්වා තොපට කුමන ස්ථානයක් පිළිබඳව සැක ඇත්තේදැයි විමසන ලදුව අසවල් දවසේ ඈ ජේතවනාරාමයට ගියාය. එහිදී ඇයට සිදුවූ පුවත නොදනිමුයි කියා එසේ නම් ඇය සොයන්න යනුවෙන් රජතුමා විසින් අවසර ලැබූ ඔවුහු තමන්ගේ උපස්ථායකයන් ගෙන ජේතවනාරාමයට ගොස් සොයමින් ඉවත දැමූ මල්ගොඩ අතරෙහි තිබෙනු දැක ඇඳක නංවා නගරයට ගෙන ගොස් “ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේ විසින් කළ පාපකර්මය සඟවන්නෙමුයි සුන්දරිය මරා ඉවත දැමූ මල්ගොඩ අතරෙහි සඟවා තැබූහ” යි රජතුමාට දැන්වූහ. රජතුමා එසේනම් යන්න, නගරයේ ඇවිදින්නයි කීවේය. ඔවුහු නගරයේ වීථිවල ඇවිදිමින් බලව්, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ක්‍රියාව ආදිය කියමින් කෑ ගසා නැවත රජමාළිගාවේ දොරටුව ළඟට ආවාහුය.
රජතුමා සුන්දරීගේ සිරුර අමු සොහොනෙහි මැස්සක් තබා එහි ආරක්ෂා කරවීය. ආර්ය ශ්‍රාවකයන් හැර සැවැත්නුවර වාසී සෙසු අය බොහෝ සෙයින් “ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ගේ ක්‍රියාව බලව්” ආදිය කියමින් නගරය ඇතුළතත් පිටතත් සමීප වනාන්තරවල, අරණ්‍යවලද භික්‍ෂූන්ට අපහාස කරමින් හැසිරෙත්. භික්‍ෂූහු ඒ පුවත තථාගතයන් වහන්සේට සැල කළාහුය. බුදුරජාණන් වහන්සේ ඒසේනම් ඒ මිනිසුන්ට මෙසේ ප්‍රතිචෝදනා කරන්නැයි වදාරා,