4. සිරි ජාතකය (284)
යං උස්සුකා සංඝරන්ති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් සිරිචෝර නම් එක් බමුණෙකු අරබයා වදාළ සේක. මේ ජාතක කථාවෙහි වර්තමාන කථාව යට (මුලින්) කදිරංගාර ජාතකයෙහි විස්තර කළ පරිදිමය. මෙහිද අනේපිඬු සිටුතුමාගේ ගෙදර සතරවෙනි දොරටුවෙහි වාසය කරන මිසදුටු දේවතාවියක් දඬුවම් විඳිමින් පණස්හතර කෝටියක් රන් ගෙනවුත් ගබඩා පුරවා සිටුතුමා සමග යහලු වූවාය. ඉක්බිති සිටුතුමා ඒ දේවතාවිය කැඳවාගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේය. බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මදේශනා කළහ. ඈ බණ අසා සෝවාන් වූවාය. එතැන් පටන් සිටුතුමාගේ සම්පත් පෙර පරිදිම විය. ඉක්බිති සැවැත්නුවර වාසය කරන එක් සිරි ලක්ඛණ බමුණෙක් “අනේපිඬු සිටුතුමා දුප්පත් වී නැවත ධනවත් විය. යම් විදියකින් මම ඔහු දකිනු කැමති කෙනෙකු මෙන් ගොස් ඔහුගේ ගෙයින් වාසනාව පැහැරගෙන එන්නේ නම් මැනවැයි සිතුවේය. ඒ බමුණා සිටුතුමාගේ ගෙට ගොස් ඔහු විසින් කරන ලද ආගන්තුක සත්කාර සම්මාන විඳ සතුටු සාමීචි කථා පවතිද්දී කුමක් සදහා ආවෙහිදැයි ඇසූ කල්හි වාසනාව කොහි පිහිටියේ දැයි බැලුවේය. සිටුතුමාට සියල්ල සුදුවූ හක් ගෙඩියකට සමාන වූ රන් මැදිරියක දැමූ කුකුළෙක් ඇත. උගේ කරමලෙහි වාසනාව පිහිටියේය. බමුණා (වටපිට) බලමින් වාසනාව එහි පිහිටි බව දැන මහසිටුතුමනි! මම පන්සියයක් මානවකයන්ට මන්ත්ර උගන්වමි. නොකල්හි හඬලන එක් කුකුළෙකු නිසා ඔවුන්ද, මමද වෙහෙසෙමු. මේ කුකුළා වනාහි නිසි කලකට හඬලයි. මොහු සඳහා ආවෙමි, මට මේ කුකුළා දෙන්නැයි කීවේය. ගන්න බමුණ! ඔබට කුකුළා දෙමියි කී අවස්ථාවේදිම, වාසනාව ඒ කුකුළාගේ කරමළයෙන් ඉවත්වී කොට්ටයෙහි තබා ඇති මැණිකෙහි පිහිටියේය.
බමුණා, වාසනාව (සිරියාව) මැණිකෙහි පිහිටි බව දැන මැණිකද ඉල්ලුවේය. මැණිකද දෙමියි කී අවස්ථාවෙහිදීම වාසනාව මැණිකෙන් ඉවත්ව කොට්ටයෙහි තබන ලද ආරක්ෂක දණ්ඩෙහි පිහිටියේය. බමුණා වාසනාව එහි පිහිටි බව දැන එයද ඉල්ලුවේය. රැගෙන යවයි කී අවස්ථාවේදීම වාසනාව එතැනින්ද ඉවත්වී පුණ්ය ලක්ඛණ දේවිය නම් වූ සිටුතුමාගේ අගමෙහෙසියගේ හිසෙහි පිහිටියේය. සිරිචෝර නම් බමුණා එහි පිහිටි බව දැන මෙය පරිත්යාග කළ හැකි භාණ්ඩයක් නොවේ. ඉල්ලන්නටද නොහැකි යැයි සිතා සිටුතුමාට මහසිටුතුමනි! නුඹවහන්සේගේ ගෙයි වාසනාව පැහැරගෙන යන්නෙමියි සිතා ආවෙමි. වාසනාව ඔබේ කුකුළාගේ කරමළෙහි පිහිටියේය. එය මට දුන් කල්හි එයින් ඉවත්වී මැණිකෙහි පිහිටියේය. මැණික දුන් කල්හි ආරක්ෂක සැර සැටියෙහි පිහිටියේය. ආරක්ෂක යෂ්ටිය දුන් කල්හි එතැනින් ඉවත්ව පුණ්ය ලක්ඛණ දේවියගේ හිසෙහි පිහිටියේය. මෙය වනාහි නොදිය හැකි බඩුවක් යැයි කියා මා විසින් ‘සිරි’ යන නමවත් නොගන්නා ලදි. නුඹේ වාසනාව (සිරි) පැහැර ගන්නට නොහැකිය. නුඹ සතු දෙය නුඹටම වේවායි ආසනයෙන් නැගිට ගියේය. අනේපිඬු සිටුතුමා මේ කරුණ බුදුරජාණන් වහන්සේට කියන්නෙමියි විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේට වැඳපුදා එකත්පසෙක හිඳිමින් සියල්ල තථාගතයන් වහන්සේට සැල කළේය. බුදුරජාණන් වහන්සේ ඒ අසා ගෘහපතිය! අනෙකෙකුගේ වාසනාව වනාහි අන් තැනකට නොයයි. පෙර අල්ප පිං ඇත්තෙකු විසින් උපදවන ලද වාසනාව වනාහි පින් ඇත්තාගේ පාමුලටම ගියේ යැයි වදාරා ඔහු විසින් ඉල්ලන ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසීරට බමුණු කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙනගෙන ගිහිගෙයි වසමින් මව්පියන්ගේ අභාවයෙන් කලකිරී නික්ම හිමාලය වන පෙදෙසේ තවුස් පැවිද්දෙන් පැවිදිව සමාපත්ති උපදවාගෙන දීර්ඝ කාලයක් ඉකුත් වූ පසු ලුණු ඇඹුල් සෙවීම පිණිස ජනපදයට ගොස් බරණැස් රජුගේ උයනෙහි වාසයකොට පසුදින පිඬුසිඟා හැසිරෙමින් ඇත් ඇදුරාගේ ගේ දොරකඩට ගියේය. ඒ ඇත් ආචාර්යවරයා තාපසයාගේ ගමන් බිමන් කෙරෙහි පැහැදී භික්ෂාව දී උයනෙහි වාසය කරවා නිතර පෝෂණය කළේය. ඒ කාලයේදී එක් දර ගෙනෙන්නෙක් කැලයෙන් දර ගෙන එන්නේ වේලාවට නගරයට පැමිණෙන්නට නොහැකි විය. සවස් කාලයේ එක්තරා දේවාලයක දරමිටිය කොට්ටයට තබාගෙන වැතිරුණේය. දේවාලයෙන් මුදා හරින ලද බොහෝ කුකුළෝ ඔහු සමීපයෙහි එක් ගසෙක නිදා ගත්තාහුය. ඔවුන් අතරින් ඉහළින් නිදාගත් කුකුළා එළිවන කාලයෙහි මලපහ කරන්නේ යට නිදාගත් කුකුළාගේ ඇඟට හෙළීය. මගේ ශරීරයට මලපහ කළේ කවුදැයි ඇසූ කල්හි මා විසින් යයි කියන ලදි. කුමන කරුණක් නිසාදැයි ඇසූ කල්හි, නොවිමසා කළ බව කියා නැවතද හෙළීය. එතැන් සිට දෙදෙනාම ඔවුනොවුන් තොපගේ බලය කුමක්ද? තොපගේ බලය කුමක්දැයි කියා කෝලහාල කළහ. ඉක්බිති යට නිදාගත් කුකුළා මා මරා අඟුරු මත පුළුස්සා මස් කන තැනැත්තා, උදේම කහවණු දහසක් ලබතියි කීය. ඉහළින් නිදාගත් කුකුළා එම්බල. නුඹ එපමණකින් (කහවණු දහසකින්) ගර්ජනා නොකරව. හොඳට වැඩුණු මගේ ඝණ මස් අනුභව කරන්නෙක් රජවෙයි. පිටත මස් කන්නේ පුරුෂයෙක් නම් සෙන්පති තනතුරද, ස්ත්රියක නම් අගමෙහෙසි තනතුරද ලබයි. ඉදින් මගේ ඇට මස් ගිහියෙක් කන්නේ නම් භාණ්ඩාගාරික තනතුරද පැවිද්දෙක් නම් රජ කුලයට හිතවත් බව ලබතියි කීය.
දර ගෙනයන්නා ඔවුන්ගේ වචනය අසා රජකමට පැමිණි කල්හි කහවණු දහසකින් වැඩක් නැතැයි වහා ගසට නැග මත්තෙහි නිදාගත් කුකුළා ගෙන මරා හිස මත තබාගෙන රජ වෙන්නෙමියි සිතා ගොස් අරින ලද දොරටුවෙන්ම නුවරට පිවිස කුකුළා ශුද්ධකොට බඩ සෝදා මේ කුකුළු මස් මනාව පිළියෙළ කරන්නැයි බිරිඳට දුන්නේය. ඈ කුකුළු මස් හා බත්ද සම්පාදනය කොට ස්වාමීනි! අනුභව කරවයි ඹහුට පිරිනැමුවාය. සොඳුරිය! මේ මහත් ආනුභාව ඇති මසකි. මෙය අනුභව කොට මම රජ වන්නෙමි. නුඹ අගමෙහෙසිය වන්නෙහි යැයි කියා, ඒ බතත් මසුත් රැගෙන ගංතෙරට ගොස් ස්නානය කොට අනුභව කරන්නෙමියි බත් භාජනය ඉවුරේ තබා නෑමට ගඟට බැස්සේය. ඒ අවස්ථාවෙහි සුළඟින් කැළඹුණු ජලපහරක් ඇවිත් බත් භාජනය ගසාගෙන ගියේය. එය සැඩපහරට අසුවී පාවී යමින් ගඟ පහළ ඇතුන් නාවන්නා වූ එක් ඇත් ඇදුරු මහ ඇමතියෙක් දැක ඔසවාගෙන විවරකොට මෙහි මොනවාදැයි විචාළේය. ස්වාමීනි බත් හා කුකුළු මස්ය. ඔහු එය වසා සීල් තබ්බවා මා එනතෙක් මේ බත් භාජනය විවෘත නොකරන්නැයි කියා බිරිඳට යැවීය. ඒ දර ගෙන එන්නා කටට ඇතුල්වූ වැලි මිශ්ර ජලයෙන් ඉදිමුණු බඩ ඇතිව පලාගියේය.