3. වඩ්ඪකීසූකර ජාතකය (283)
වරං වරං ත්‍වං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ධනුග්ගහතිස්ස තෙරුන් වහන්සේ අරබයා වදාළ සේක. පසේනදී රජුගේ පියා මහකොසොල් රජතුමා දුව වූ කොසොල් දේවිය බිම්බිසාර රජුට පාවා දෙමින් ඇයට නාන විට ඇඟ තවරන සුවඳ සුණු ආදී වියදම් සඳහා ලක්‍ෂයක් ආදායම් ලැබෙන කාසි ගමක් දුන්නේය. අජාසත් රජු විසින් පියා මැරවූ කල්හි, කෝසල දේවියද සෝකයෙන් මඩනා ලදුව කලුරිය කළාය. ඉක්බිති පසේනදී රජතුමා “අජාසත් රජතුමා විසින් පියා මැරවූ කල්හි මගේ නැගණියද සැමියා මියගිය සෝකයෙන් කලුරිය කළාය. පීතෘඝාතක සොරාට කාසිගම නොදෙන්නෙමි” යි සිතුවේය. හෙතෙම එය අජාසත් රජුට නුදුන්නේය. ඒ ගම නිසා ඔවුන් දෙදෙනා අතර කලින් කලට යුද ඇතිවෙයි. අජාසත් තරුණය. නසමර්ථයෙකි. පසේනදී රජ මහලුය. හෙතෙම නිතර පැරදෙයි. මහකොසොල් රජුගේ මිනිස්සුද බොහෝසෙයින් පැරදුනාහු වෙති. ඉක්බිති රජතුමා අපි නිතර පරදිමු. කුමක් කළයුතුදැයි ඇමතියන්ගෙන් විචාළේය. දේවයන් වහන්ස, භික්‍ෂූන් වහන්සේ නම් මන්ත්‍රණයෙහි (කතාවෙහි) දක්ෂ වෙත්. දෙව්රම් වෙහෙරෙහි භික්‍ෂූන් වහන්සේලාගේ කථා ඇසීම සුදුසුයයි කීහ. රජතුමා, එසේනම් ඒ ඒ වේලාවෙහි භික්‍ෂූන් වහන්සේලාගේ කථාබස් අසව් යයි චර පුරුෂයන්ට අණ කළේය. ඔවුහු එතැන් පටන් එසේ කළහ.
ඒ කාලයෙහි උත්තර තෙරුන් වහන්සේ හා ධනුග්ගතිස්ස තෙරුන් වහන්සේ යන මහලු තෙරුන් වහන්සේලා දෙනම විහාර කෙළවර පන්සලක වාසය කරති. උන්වහන්සේලා අතුරෙන් ධනුග්ගතිස්ස තෙරුන් වහන්සේ රාත්‍රී පළමු යාමයෙහිත් මධ්‍යම යාමයෙහිත් නිදාගෙන අළුයම පිබිදී දර පලා ගිනිදල්වා හුන්නේ ස්වාමීනි, උත්තර තෙරණුවනියි කීවේය. ස්වාමීනි, තිස්ස තෙරුණුවනි ඇයි? නුඹ වහන්සේ නිදා ගන්නෙහිද? නොනිදා කුමක් කරන්නෙමුද? නැගිට හිඳගන්නැයි කීය. උන්වහන්සේ නැගිට හිඳ ගත්විට උන්වහන්සේ උත්තර තෙරුන්ට කියන්නේ මේ ලොල් වූ මහ බඩක් ඇති කොසොල් රජතුමා හැලියක් පමණ බත් අනුභව කරයි. යුද උපායන් කිසිවක් නොදනී. පැරදුනෙමි, පැරදුනෙමියි කියවයි. කුමක් කිරීම සුදුසුදැයි (උත්තර තෙර) ඇසීය. ඒ අවස්ථාවෙහි ඒ චරපුරුෂයෝ ඔවුන්ගේ කථාව අසමින් සිටියහ.
ධනුග්ගතිස්ස තෙරුන් වහන්සේ ‘ස්වාමීනි, ඔබවහන්සේ යුද්ධය ගැන විමසන්නෙහුය. යුද්ධයෙහි පදුම බ්‍යුහ (පද්මාකාරයෙන් භට පිරිස සිටින තැන) චක්‍ර බ්‍යුහ (චක්‍රාකාරයෙන් භට පිරිස සිටින තැන) සකට බ්‍යුහ (කරත්තයක් ආකාර භට පිරිස සිටින තැන) යනුවෙන් බ්‍යුහ (සිටින තැන්) තුනක් ඇත. අජාසත් රජු අල්ලාගනු කැමැත්තෙකු විසින් අසවල් නම් පර්වත කුහරය තුළ පර්වත බිත්ති දෙක අතරෙහි මිනිසුන් තබා ඉදිරියෙහි දුර්වල බලයක් පෙන්වා පර්වතය අතරට පිවිසි බව දැන පිවිසි මග අහුරා ඉදිරියෙන්ද පසුපසින් ද පර්වත බිත්ති අතරින්ද පැන මහත් නාද පවත්වා කෙමනට අසු වූ මසකු මෙන්ද මිටට අසු වූ ගෙම්බකු මෙන් කොට ඔහු (අජාසත්) අල්ලාගත හැකියයි කීය. චර පුරුෂයෝ ඒ කීම රජතුමාට දැන්වූහ. ඒ අසා රජතුමා යුද බෙරය ගස්වා ගොස් සකට බ්‍යුහය ක්‍රියාත්මක කොට අජාසත් රජු පණපිටින් අල්වාගෙන තමන්ගේ දූ වූ වජිර කුමරිය බෑණාට පාවා දී කාසිගම ඇගේ නෑමට යන වියදම් සඳහා පවරා දී පිටත්කර හැරියේය. ඒ පුවත භික්‍ෂු සංඝයා අතර ප්‍රකට විය. ඉක්බිති එක්දිනක් භික්‍ෂූහු දම්සභාවෙහිදී ඇවැත්නි, කොසොල් රජතුමා ධනුග්ගහ තිස්ස තෙරුන් වහන්සේගේ යුද විස්තරයට අනුව ක්‍රියාකොට අජාසත්තව පැරදුවේයයි කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කීකල්හි මහණෙනි, දැන් පමණක් නොව පෙරත් ධනුග්ගහතිස්ස තෙරුන් වහන්සේ යුද විචාරණයෙහි දක්‍ෂයෙක්ව සිටියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ වනයෙහි රුක් දෙවියෙකු වී උපන්හ. එකල බරණැස් නුවර ඇසුරුකොට ජීවත් වූ වඩු කාර්මික ගමක එක් වඩුවෙක් ලීදඬු සදහා වනයට ගොස් සිටියදී වලක වැටුණු ඌරු පැටවෙකු දැක ගෙදර ගෙනවිත් පෝෂණය කළේය. ඒ ඌරු පැටවා වැඩී මහ සිරුරක් ඇතිව වක් වූ දළ ඇත්තේ හොඳ පැවතුම් ඇත්තේ විය. වඩුවා විසින් වැඩූ (හදාගත්) බැවින් වනාහි වඩ්ඪකී සූකරයා යයි ප්‍රකට විය. වඩුවා (කපුගස්) කොටවල පොතු රහිත අවස්ථාවලදී හොම්බෙන් කොටය පෙරළයි. කටින් අල්ලාගෙන වෑ, පොරෝ, නියන, මුගුර ගෙන එයි. (නූල් ගැසීම සදහා) කලු නූලේ කෙළවර අල්ලා ගනියි. ඉක්බිති ඒ වඩුවා කිසිවෙකු විසින් ඌරා මරා කන්නේ යයි බියෙන් කැලයට ගෙනගොස් මුදා හළේය. ඌරාද කැලයට පිවිස ආරක්ෂා සහිතව විසීමට පහසු තැනක් බලන්නේ එක් පර්වතයක් අතරේ අල මුල්වලින් යුත් විසීමට පහසු මහත් ගිරිකඳුරක් දුටුවේය. සිය ගණන් ඌරෝ ඌ දැක සමීපයට ගියාහුය. වඩ්ඪකී ඌරාද ඔවුන්ට “මම තොපම සොයමින් හැසිරෙමි. මා විසින් තොපි දක්නා ලද්දෙහුය. මේ ස්ථානය සිත්කලුය. මමද දැන් මෙහිම වසන්නෙමි යි කීවේය. ඇත්තෙන්ම මේ ස්ථානය සිත්කලුයි. ඒ වුනත් මෙහි අනතුරුදායක තත්වයක්ද ඇතැයි ඌරෝ කීහ. මමද තොප දැක මෙය දැනගතිමි. මෙසේ ගොදුරු සුලභ ස්ථානයක වසන්නා වූ තොපගේ ශරීරවල මස් ලේ නැත. තොපට මෙහි ඇති බිය කුමක්ද? එක් කොටියෙක් උදේම ඇවිත් දක්නට ලැබෙන ඌරකු ගෙන යයි. ඒ කොටියා දිනපතා අල්ලා ගන්නවාද? නැතිනම් අතරින් පතරදැයි ඇසීය. දිනපතා අල්ලා ගනිතියි කීහ. කොටි කී දෙනෙක්ද? එකෙක්ම පමණයි. නුඹලා මෙපමණ සිටිද්දී එකෙකු අල්ලා ගැනීමට නොහැකිද? එසේය. නොහැක්කෙමුයි කීහ. මම ඌ අල්ලා ගන්නෙමි. තොපි මගේ කීම පමණක් කරව්. ඒ ව්‍යාඝ්‍රයා වාසය කරන්නේ කොහිද? මේ පර්වතයේයයි කීහ.
ඒ වඩ්ඪකී ඌරා රාත්‍රියෙහිම ඌරන් හසුරුවා යුද්ධය පැහැදිලි කරමින් යුද්ධයක් නම් පදුමබ්‍යුහ, චක්කබ්‍යුහ, සකටබ්‍යුහ යනුවෙන් ත්‍රිවිධ වෙතියි කියා පදුම බ්‍යුහයෙන් සොරු සේනාව ස්ථානගත කළේය. හෙතෙම වනාහි ජය භූමිය දනියි. ඒ නිසා මේ ස්ථානයේ යුද්ධය සංවිධානය කිරීම සුදුසුයයි සිතා කුඩාම ඌරු පැටවුන්ද මව්වරුන්ද ඌරු පිරිස මැද්දෙහි තැබීය. වඩු ඌරා මව්වරු වටකර තරුණ ඊරියන්ද ඔවුන් වටකර ඌරු පැටවුන්ද ඔවුන් වටකර තරුණ ඌරන්ද ඔවුන් වටකර දිග දළ ඇති ඌරන්ද ඔවුන් වටකර යුද්ධයට දක්ෂ බලවත් බලවත් ඌරන් දහය දහය බැගින්, විස්ස විස්ස බැගින් ඒ ඒ තැන්වල බලමුළු වශයෙන් තැබීය. තමන් සිටිතැනට ඉදිරියෙන් එක් රවුම් වලක් හෑරවීය. පස්සෙන් ඔරුවක හැඩය ගත්, ක්‍රමානුකූල බෑවුමක් ඇති නිම්නයක් ඇති එක් වලක් සෑරවීය. එහි හැට හැත්තෑවක් පමණ වූ යෝධ ඌරන් ගෙන ඒ ඒ තැන බිය නොවන්නැයි කියමින් කටයුතු සංවිධානය කරද්දීම අරුණ නැංගේය.