2. සෙය්‍යංස ජාතකය (282)
සෙය්‍යංසො සෙය්‍යසො හොති යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කොසොල් රජුගේ එක් ඇමතියකු අරබයා දේශනා කළ සේක. ඒ ඇමතියා වනාහි රජතුමාට බොහෝ උපකාර ඇත්තේ සියලු කටයුතු සිදුකරන්නා විය. රජතුමා මොහු මට බොහෝ උපකාර ඇති කෙනෙකැයි සිතා ඔහුට බොහෝ සම්පත් දුන්නේය. එය නොඉවසන අන් අය රජතුමාට කේළාම් ගොතා කියා ඔහු භේද කළේය. රජතුමා ඔවුන්ගේ වචන පිළිගෙන දෝෂය පරීක්‍ෂාකොට නොබලාම ඒ සිල්වත් නිදොස් ඇමතියා හැකිලි (මාංචු) බැම්මෙන් බැඳ හිරගෙයි දැම්මවීය. ඔහු එහි හුදකලාව වසමින් සීල සමාපත්තිය නිසා සිතේ එකඟතාවය ලබා එකඟ වූ සිත් ඇතිව සංස්කාර ධර්මයන් විමසා බලා සෝවාන් ඵලයට පැමිණියේය. ඉක්බිති රජතුමා පසුකලෙක මොහුගේ නිදොස් බව දැනගෙන හැකිලී බන්‍ධනය මුදාහැර පෙර යසසටත් වඩා වැඩි කීර්තියක් දුන්නේය. ඔහු බුදුරජාණන් වහන්සේ වඳින්නෙමියි බොහෝ සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේට පුදා වැඳ එකත්පසෙක හුන්නේය. බුදුරජාණන් වහන්සේ ඔහු සමග පිළිසදර කථා කරමින් ඔබට අයහපතක් ඇති වූයේයයි ඇසුවෙමුයි වදාළහ. එසේය ස්වාමීනි! ඇති වූයේය. මම වනාහි ඒ අනර්ථයෙන් අර්ථයක් කළෙමි. හිරගෙයි හිඳගෙන සෝවාන් ඵලය උපදවා ගත්තෙමියි කීය. බුදුරජාණන් වහන්සේ, උපාසකය! අනර්ථයෙන් අර්ථයක් ගෙන එන ලද්දේ නුඹ පමණක් නොවේ. පැරණි නුවණ ඇත්තෝද තමන්ට වූ අනර්ථයෙන් අර්ථයක් ගෙනාවාහුයයි වදාරා ඔහු විසින් අයදින ලදුව අතීත කථාව ගෙනහැර දැක්වූ සේක
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කරද්දී බෝසතාණන් වහන්සේ ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගෙන ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප උගෙන පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දසරාජ ධර්මය නොකෙළසා දන් දෙයි. සිල් රකියි. පෙහෙවස් රකියි. ඉක්බිති ඔහුගේ එක් ඇමතියෙක් අන්තඃපුරය කෙළෙසුවේය. සේවක ආදීහු දැක අසවල් ඇමතියා අන්ත පුරය දූෂ්‍ය කරන ලදැයි රජුට සැලකළාහුය. රජතුමා විමසීමට ලක්කරවා යථා ස්වභාවය දැන ඔහු කැඳවා මෙතැන් පටන් මට සේවය නොකරවයි නෙරපා හැරියේය. ඔහු ගොස් එක්තරා අසල්වැසි රජකෙනෙකුට සේවය කරයි. සියලු කථා වස්තුව යට (මුලදී) මහාසීලව ජාතකයෙහි කියන ලද පරිද්දෙනි. මෙහිද ඒ රජතුමා තුන්වරක් විමසා ඒ ඇමතියාගේ වචනය අදහා බරණැස් රාජ්‍යය ගන්නෙමියි මහ පිරිවරින් රාජ්‍ය සීමාවට පැමිණියේය. බරණැස් රජතුමාගේ පන්සියයක් පමණ මහ යෝධයෝ ඒ පුවත අසා දේවයන් වහන්ස! අසවල් රජතුමා බරණැස් රාජ්‍යය අල්ලා ගත්තෙමියි කියා ජනපද බිඳිමින් එයි. මෙහිම ගොස් ඔහු අල්ලා ගන්නෙමුයි කීවාහුය. අනුන්ට හිංසාකොට ලබන ලද රාජ්‍යයෙන් මට කාරියක් නැත. කිසිවක් නොකරවයි කීවේය.
සොර රජු ඇවිත් නගරය වට කළේය. නැවත ඇමතිවරු රජු වෙත ගොස් දේවයන් වහන්ස, මෙසේ නොකරනු මැනවි. ඔහුව අල්ලා ගනිමියි කීවාහුය. රජතුමා කිසිවක් කරන්නට (මගෙන් අවසර) නොලැබෙයි. නගරයේ දොරටු ඇර දමන්නැයි කියා තෙමේ ඇමතියන් පිරිවරා උඩුමහල් තලයේ ආසනයේ හිඳගත්තේය. සොර රජතුමා දොරටු සතරෙහි මිනිස්සු බිම හෙළමින් නුවරට පිවිස ප්‍රාසාදයට නැග ඇමතිවරුන් පිරිවරා සිටි රජතුමා අල්ලාගෙන මාංචුවලින් බැඳ හිරගෙයි තැබීය. රජතුමා බන්ධනාගාරයේ සිටිමින්ම සොර රජුට මෛත්‍රි වඩමින් මෛත්‍රී ධ්‍යානය ඉපදවීය. ඔහුගේ මෛත්‍රී බලයෙන් සොර රජුගේ ඇඟෙහි දැවිල්ලක් උපන්නේය. මුළු ශරීරයම විලක්කු දෙකකින් පුච්චන්නාක් මෙන් විය. හෙතෙම මහා දුකකින් මඩනා ලද්දේ කුමන කාරණයක් නිසාදැයි විචාළේය. නුඹ වහන්සේ සිල්වත් රජු බන්ධනාගාරයෙහි දැම්මෙව්හුය. ඒ නිසා ඔබ වහන්සේට මේ දුක උපදින්නට ඇතැයි කීහ. ඔහු ගොස් බෝසතාණන් සමා කරවාගෙන නුඹ වහන්සේගේ රාජ්‍යය නුඹවහන්සේටම වේවායි රාජ්‍යය ඔහුටම පවරා දී මෙතැන් පටන් නුඹ වහන්සේගේ සතුරා මට බාරයයි කියා දුෂ්ඨ ඇමතියාට රජ අණ කර (මරා) තමන්ගේ නගරයටම ගියේය.