1. අබ්භන්තර ජාතකය (281)
අබ්භන්තරං නාම දුමො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් සැරියුත් තෙරුන් වහන්සේ විසින් බිම්බා දේවි තෙරණියට දෙන ලද අඹරස දානයක් අරබයා වදාළ සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් දම්සක් දෙසුම පවත්වා විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවාසය කරද්දී මහා ප්රජාපතී ගෝතමිය ශාක්ය කුමාරිකාවන් පන්සියයක් රැගෙන බුදුරදුන් වෙත ගොස් පැවිද්ද ඉල්ලා පැවිද්ද හා උපසම්පදාව ලැබුවාය. පසුකලෙක ඒ පන්සියයක් භික්ෂුණීහු නන්දකෝවාද සූත්රයෙන් බණ අසා රහත් ඵලයට පත්වූහ. ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට වැඩවාසය කරන කල්හි යශෝධරා දේවිය “මගේ ස්වාමියා පැවිදිව සර්වඥ බවට පත්විය. මගේ පුතාද පැවිදි වී උන්වහන්සේ සමීපයේ වාසය කරයි. මම නිවසේ සිට කුමක් කරම්ද? මමද පැවිදිව සැවැත් නුවරට ගොස් සම්බුදුරජාණන් වහන්සේද පුත්රයන් වහන්සේද නිතර නිතර බලමින් වාසය කරන්නෙමි” යි සිතා භික්ෂූණි අසපුවට ගොස් පැවිදිව ආචාර්ය උපාධ්යායන් වහන්සේලා සමග සැවැත්නුවරට ගොස් බුදුරජාණන් වහන්සේද ප්රිය පුතණුවන්ද දකිමින් එක්තරා භික්ෂූණී ආරාමයක වාසය කළහ. රාහුල සාමණේරයන් වහන්සේ එහි වැඩමකොට මව දකින සේක.
ඉක්බිති එක්දිනක් තෙරණියගේ බඩෙහි වාතය කිපුණේය. පුතා තමා දකින්නට ආ කල්හි උන්වහන්සේ දැකීමට නික්මෙන්නට නොහැකි වූහ. සෙසු මෙහෙණිවරු අවුත් අපහසු බව කීවාහුය. පුත් සාමණේරයන් වහන්සේ මව ළඟට ගොස් නුඹවහන්සේට කුමක් ලැබීම සුදුසුදැයි විචාළහ. දරුව; ගෙදරදී නම් හකුරු යෙදූ අඹ පැන් බිව් කල්හි බඩේ වාතය සංසිඳෙයි. දැන් වනාහි පිඬු පිණිස හැසිර දිවි ගෙවමු. එය කොතැනකින් ලබන්නෙම්දැයි කීවාය. සාමණේරයන් වහන්සේ ලැබුණොත් ගෙන එන්නෙමියි කියා නික්මුණු සේක. උන්වහන්සේගේ උපාධ්යායන් වහන්සේ ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේය. ගුරුවරයා මහමුගලන් තෙරුන් වහන්සේය. සුළු පියා වූ (බාප්පා) ආනන්ද තෙරුන් වහන්සේය. පියා සම්මා සම්බුදුරජාණන් වහන්සේය. මේ මහා සම්පත්තියකි. මෙසේ ඇති කල්හිද අනිකෙකුගේ සමීපයට නොගොස් උපාධ්යායන් සමීපයට ගොස් වැඳ අසතුටු සිතින් සිටි සේක. ඉක්බිති ඔහුට තෙරුන් වහන්සේ, රාහුල කුමක් නිසා අසතුටෙන් මෙන් සිටිහිදැයි විමසූහ. ස්වාමීනි, මගේ මව් තෙරණියගේ බඩේ වාතය කිපියේය. කුමක් ලැබීම යහපත්ද? හකුරු යෙදූ අඹ රසයෙන් සුවවෙතියි කීහ. එය එසේ වේවා. අපි එය ලබන්නෙමු. ඒ ගැන නොසිතන්නැයි කීහ.
උන්වහන්සේ පසුදින උන්වහන්සේ රැගෙන සැවැත්නුවරට වැඩ සාමණේරයන් වහන්සේ ආසන ශාලාවෙහි නවත්වා රජගෙට වැඩි සේක. කොසොල් රජතුමා තෙරුන් වහන්සේ වඩා හිඳවූ සේක. ඒ අවස්ථාවෙහි උයන්පල්ලා ඉදුණු මිහිරි අඹවලින් යුත් ගොටුවක් ගෙනාවේය. රජතුමා අඹවල ලෙලි ඉවත්කොට හකුරු දමා තමන්ම කලවම් කර තෙරුන් වහන්සේගේ පාත්රය පුරවා දුන්නේය. තෙරුන් වහන්සේ රජගෙදරින් නික්ම ආසන ශාලාවට ගොස් මෙය රැගෙන ගොස් මවට දෙන්න කියා සාමණේරයන් වහන්සේට දුන්හ. උන්වහන්සේ ගෙනගොස් දුන්හ. වැළදූ අවස්ථාවෙහිම තෙරණියගේ බඩේ අමාරුව සංසිඳුනේය. රජතුමාද තෙරුන් වහන්සේ මෙහි හිඳ අඹ පැන් නොවැළඳූ සේක. යන්න, කිසිවකුට දුන්නොත් ඒ බව දැනගන්නැයි කියා මිනිසකු යැවීය. ඔහු තෙරුන් වහන්සේ සමගම ගොස් ඒ පුවත දැන අවුත් රජතුමාට කීවේය. රජතුමා සිතුවේය. ඉදින් බුදුරජාණන් වහන්සේ ගිහිගෙයි සිටියාහු නම් සක්විති රජ වන්නෝය. රාහුල සාමණේරයන් වහන්සේ පරිනායක රත්නයයි. තෙරණිය ස්ත්රී රත්නයයි. සියලු සක්වල රාජ්යයන් මුන්වහන්සේටම වන්නේය. අප විසින් මොවුන්ට සේවය කරමින් හැසිරිය යුතු වෙයි. දැන් පැවිදි වී අප ඇසුරුකොට වසන කල්හි මුන්වහන්සේලා කෙරෙහි ප්රමාදවීමට අපට යුක්තියක් නැත. හෙතෙම එතැන් පටන් දිනපතා අඹපැන් දෙවීය. තෙරුන් වහන්සේ විසින් බිම්බා තෙරණියට අඹ පැන් දුන් බව භික්ෂු සංඝයා අතර ප්රකට විය. ඉක්බිති එක්දිනක් දම්සභාවෙහිදී ඇවැත්නි, සැරියුත් තෙරුන් වහන්සේ බිම්බා තෙරණිය අඹ රසයෙන් සුවපත් කළහ යනුවෙන් කථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි, සැරියුත් විසින් අඹපැන් දී රාහුල මාතාව සුවපත් කරන ලද්දේ දැන් පමණක් නොවේ. පෙරත් ඇය සුවපත් කළෙහි යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.