9. සතපත්ත ජාතකය (279)
යථා මානවකො පන්‍ථෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් පණ්ඩුක, ලෝහිතක භික්‍ෂූන් අරබයා වදාළ සේක. ජබ්බග්ගිය භික්‍ෂූන් වහන්සේලා අතුරෙන් මෙත්තිය, භුම්මජක දෙනම රජගහ නුවර ඇසුරුකොට වාසය කළහ. අස්සජී, පුනබ්බසුක දෙනම කීටාගිරිය ඇසුරුකොට වාසය කළහ. පණ්ඩුක, ලෝහිතකම දෙනම සැවැත්නුවර ජේතවනාරාමයෙහි විසූහ. ඔවුහු දැහැමින් සංසිඳවූ අධිකරණයක් අභියාචනයට ලක් කරති. පණ්ඩිත ලෝහිතක දෙදෙනා තමන්ට හිතවත් භික්‍ෂූන් වෙත එළඹ උපකාර කරන්නන් බවට පත්ව “ඇවැත්නි. ඔබවහන්සේලා (මෙම අධිකරණය විසඳූ) භික්‍ෂූන්ට වඩා ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ සීලයෙන් හෝ පහත් නොවෙති. (ඒ නඩුව) ඔබවහන්සේලා තම තමන්ගේ මතයට (අදහසට) අනුව විසඳනු මැනවි. එය ඔබවහන්සේලාට වඩාත් යහපත්ය. එයින් ඒ භික්‍ෂූන් මැඩපවත්වන්නාහුද වෙති” යනාදිය කියමින් එම භික්‍ෂූන්ට (මුලින් දෙන ලද තීන්දුව නොපිළිගැනීම් වශයෙන් ගෙන ගෙන ඇති) මතය ඉවත දැමීමට ඉඩ නොදෙති. එහෙයින් භණ්ඩන (දබර = තම පාක්‍ෂිකයන් අතර කෙරෙන කතාබහ) කලහ (ගහබැණ ගැනීම්) විග්ගහ (විවිධ මතවලට බැසගැනීම්) විවාද (කලහයක් ඇතිවීමට අදාළ විවිධ කතා) ඇතිවෙයි. භික්‍ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළකළාහුය. උන්වහන්සේ මේ කාරණාවෙහි මේ සිද්ධියෙහි භික්‍ෂූන් රැස්කරවා පණ්ඩුක ලෝහිතක භික්‍ෂු දෙනම කැඳවා මහණෙනි! ඇත්තද? තෙපි තමන් විසින් දැහැමි නඩු තීන්දු වෙනස් කරව්ද? අන් අයට තම මතය ඉවත් කිරීමට නොදෙන්නාහුදැයි විමසා ස්වාමීනි! ඇත්තයි කී කල්හි, එසේනම් මහණෙනි! තොපගේ මේ ක්‍රියාවත් හරියට කෑරලාගේ බස් අසා ක්‍රියා කළ මානවකයාගේ ක්‍රියාවට සමානයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ගොවිතැන් කරන එක් ගමෙක එක් කුලයක ඉපදි වැඩිවියට පැමිණියේ ගොවිතැන් වෙළහෙළදාම් ආදියෙන් ජීවිතය නොගෙවා පන්සියයක් පමණ සොරුන් ගෙන ඔවුන්ගේ නායකයා වී මංපැහැරීම්, ගෙවල් බිදීම් ආදිය කරමින් දිවි ගෙව්වේය. එකල බරණැස් නුවර එක් කෙළඹි පුත්‍රයෙක් එක්තරා ජනපදවැසියෙකුට කහවණු දහසක් දී නැවත ලබා නොගෙනම කලුරිය කළේය. ඉක්බිති ඔහුගේ බිරිඳ පසුකලෙක ගිලන් වී මරණාසන්නව ඇඳෙහි සිටිමින් පුතා අමතා දරුව! නුඹේ පියා එක් අයෙකුට කහවණු දහසක් දී ආපසු ගෙන්වා නොගෙනම මළේය. ඉදින් මමද මැරුණෙම් නම් ඔහු ඔබට නොදෙයි. ඔහු වෙතට යන්න. මම ජීවත්ව සිටියදීම ඒ කහවණු ගෙන්වා ගන්නැයි කීවාය. ඔහු යහපතැයි එහි ගොස් ඒ කහවණු දහස ලබාගත්තේය. ඉක්බිති මොහුගේ මව මියගොස් දරු සෙනෙහසින්ම ඔහු එන මාර්ගයෙහි ඕපපාතිකව හිවලියක් වී උපන්නාය.
එකල ඒ සොරදෙටුවා මගට පිළිපන් අය පැහැර ගනිමින් (නසමින්) පිරිවර සහිතව ඒ මග සිටියේය. ඉක්බිති ඒ හිවල් දෙන පුතා කැලෑව අසලට පැමිණි කල්හි දරුව! කැලෑවට ඇතුළු නොවන්න. මෙහි සොරු සිටින්නාහ. ඔවුන් නුඔ මරා කහවණු ගන්නාහුයයි කියා නැවත නැවතත් මග අවුරමින් වලක්වන්නීය. හෙතෙම ඒ කරුණ නොදන්නේ මේ කාලකන්නි හිවල් දෙන මාගේ මාර්ගය හරස් කරන්නේ යයි දණ්ඩක් ගෙන මව පලවා හැර කැලයට පිළිපන්නේය. ඉක්බිති එක් කෑරලෙක් මේ පුරුෂයාගේ අතෙහි කහවණු දහසක් ඇත. මොහු මරා ඒ කහවණු ගනිව් යයි කෑගසමින් සොරු ඉදිරියට පියාඹා ගියේය. මානවකයා කෑරලා කළ ක්‍රියාව නොදන්නේ මේ මංගල (යහපත්) කුරුල්ලා දැන් මට යහපතක් වන්නේ යයි සිතා තවත් හඬව තවත් හඬවයි ස්වාමීනි! දෑත් එක්කොට නළලෙහි තබා ගත්තේය.
බෝසතාණන් වහන්සේ හැම සතුන්ගේ හඬ දන්නේ ඒ දෙන්නාගේ (හිවලී සහ කෑරලා) ක්‍රියා දැක සිතූහ. මේ හිවලිය මොහුගේ මව විය යුතුයි. හිවලී සොරු විසින් මොහු මරා කහවණු ගනිත් යයි බියෙන් වැළැක්වූවාය. මේ කෑරලා මොහුගේ සතුරා විය යුතුයි. ඒ නිසා හෙතෙම මොහු මරා කහවණු ගනිව් යයි සැලකළේය. මානවකයා වනාහි ඒ බව නොදන්නේ අභිවෘද්ධිය කැමති මවට තර්ජනය කොට පලවා හැරියේය. අනර්ථය කාමිත කෑරලාගේ කීමට අභිවෘද්ධිදායක යයි හැඟීමෙන් දොහොත් මුදුනේ තබා ගත්තේය. අනේ! මේ තෙමේ ඒකාන්තයෙන් බාලයෙකි. මෙසේ සත්පුරුෂ, මහාපුරුෂ බෝසත්වරුන් විසින් අන්සතු දේ ගැනිම විසම (අයහපත්) ප්‍රතිසන්ධි වශයෙන් සිදුවෙයි. නැකැත් දෝෂයෙන් සිදුවෙතියිද කියති.
මානවකයා අවුත් සොරුන් අතරට පැමිණියේය. බෝසතාණෝ ඔහු අල්ලාගෙන කොහි වසන කෙනෙක්දැයි විචාළහ. මම බරණැස් නුවර වැසියෙක්මි. කොහි සිට මෙහි ආවෙහිද? එක් ගමකින් ලැබිය යුතු කහවණු දහසක් ඇත. එහි ගියෙමියි කීය. ඔබ විසින් අප ලබන ලද්දේද එසේය ලබන ලදි. කවරෙකු විසින් ඔබ යවන ලද්දෙහිද? ස්වාමීනි! මගේ පියා මළේය. මවද ගිලන්ය. ඈ “මා මැරුණු කල්හි මේ ණය මුදල් ආපසු නොලැබෙන්නේ ය”යි සිතමින් මා යැව්වායි කීය. දැන් නුඹේ මවගේ පැවැත්ම දන්නෙහිද? නොදනිමි ස්වාමීනි! නුඹේ මව නුඹ නික්මුණු කල්හි කලුරිය කොට පුත් සෙනෙහසින් හිවලියක් වී ඉපිද නුඹ මරාවි යන බියෙන් නුඹ එන මග අවුරා වැළැක්වූවාය. නුඹ ඇයට තර්ජනය කොට පලවා හැරියෙහිය. කෑරලා වනාහි නුඹේ සතුරාය. ඌ නුඹ මරා කහවණු ගනිව් යයි අපට කීවේය. නුඹ තමන්ගේ මෝඩකම නිසා, අභිවෘද්ධිය කැමති මව මගේ අභිවෘද්ධිය අනර්ථකාරියයි සිතුවෙහිය. අනර්ථය කැමති කෑරලා මගේ අභිවෘද්ධිය කැමැත්තෙකැයි සිතුවෙහිය. කෑරලා විසින් ඹබට කළ ගුණයක් නම් නැත. නුඹේ මව වනාහි මහා ගුණ ඇත්තීය. කහවණු රැගෙන යවයි අතහැරියේය.