10. පුටදූසක ජාතකය (280)
අද්ධාහි නූන මිග රාජා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක්, ගොටු කඩා දමන්නෙකු අරභයා වදාළ සේක. සැවැත්නුවර එක් ඇමතියෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්‍ෂු සංඝයාට ආරාධනාකොට උයනෙහි වඩාහිඳුවා දන් දෙමින් දානය අතරතුර උයනෙහි හැසිරෙනු කැමති භික්‍ෂූන් වහන්සේලා හැසිරෙත්වායි කීය. භික්‍ෂූහු උයන් චාරිකාවෙහි හැසිරුණාහ. ඒ අවස්ථාවෙහි උයන්පල්ලා මනාව වැඩුණු කොළවලින් යුක්ත ගසකට නැග ලොකු ලොකු කොළ ගෙන මේවා මල් සඳහාය. මේවා ගෙඩි සඳහායයි කියා ගොටු හදා ගස මුලට හෙළයි. ඔහුගේ ළදරු පුතා වැටුණු වැටුණු ගොටු විනාශ කරයි. භික්‍ෂූහු ඒ කරුණ බුදුරජාණන් වහන්සේට සැළ කළාහුය. බුදුරජාණන් වහන්සේට සැළ කළාහුය. බුදුරජාණන් වහන්සේ, මහණෙනි! දැන් පමණක් නොව පෙරත් මේ තෙමේ ගොටු විනාශ කරන්නෙකියි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක් කැලයක ඉපදී වැඩිවියට පත්ව ගිහිගේ වාසය කරමින් එක්දිනක් කිසියම් කටයුත්තක් සඳහා උයනට ගියහ. එහි බොහෝ වඳුරෝ වාසය කරත්, උයන්පල්ලා මේ ක්‍රමයටම ගොටු හෙළයි. දෙටු වඳුරා දැමූ දැමූ ගොටු විනාශ කරයි. බෝසතාණන් වහන්සේ වඳුරා අමතා උයන්පල්ලා විසින් දැමූ දැමූ ගොටු විනාශ කොට වඩා හොඳින් කරණු කැමැත්තේ යයි හඟින්නෙහියයි කියා
අද්ධාහි නූන මිගරාජා පුටකම්මස්ස කොවිදො,
තථාහි පුටං දූසෙති අඤ්ඤං නූන කරිස්සති
යන පළමු ගාථාව කීය.
ඒකාන්තයෙන් මෘගරාජයා මල්ගොටු සෑදීමට දක්ෂ යයි හඟිමි. ඒ එසේමය. බිමට දැමූ මල් ගොටු විනාශ කරයි. වඩා මනාප වෙනත් මල්ගොටු කරතියි හඟිමි.
එහි, මිගරාජා යනු වඳුරා වර්ණනා කරමින් කියයි. පුටකම්මස්ස යනු මල්ගොටු කරන්නාට, කොවිදො යනු දක්‍ෂයෙකි. මේ මෙහි කෙටි තේරුමයි. මේ වඳුරා රජා ඒකාන්තයෙන් ගොටු තැනීමේ ක්‍රියාවට දක්‍ෂයෙකැයි හඟිමි. එය එසේමය. බිමට දැමූ දැමූ ගොටු විනාශ කරයි. ඒකාන්තයෙන් ඊට වඩා හොඳ ගොටු කරන්නේ යයි හඟිමි.
ඒ අසා වඳුරා,
න මෙ පිතාවා මාතාවා පුට කම්මස්ස කොවිදො,
කතං කතං ඛො දූසෙම එවං ධම්මමිදං කුලං
යන දෙවන ගාථාව කීවේය.
මගේ පියා හෝ මව හෝ මල් ගොටු කිරීමට දක්‍ෂ නොවෙති. කළ කළ දේ නසමු. මේ වඳුරු කුලය මෙබඳු ස්වභාව ඇත්තේය.
ඒ අසා බෝසතාණන් වහන්සේ,
යෙසං වො එදිසො ධම්මො අධම්මො පන කීදිසො,
මා වො ධම්මං අධම්මංවා අද්දසාම කුදාචනං
යන තුන්වන ගාථාව කීහ.
යම් කෙනෙකුගේ ධර්මය මෙසේ නම් (ඔවුන්ගේ) අධර්මය කෙසේ විය හැකිද? තොපගේ ධර්මය හෝ අධර්මය අපි කිසිදිනක නොදකිමු.
මෙසේ කියා වඳුරාට නින්දාකොට ගියහ.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව නිමවා වදාළ සේක. එකල වඳුරා ගොටු විනාශ කළ ළමයා විය. නුවණ ඇති පුරුෂයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
තෙවැනි අරඤ්ඤ වර්ගය නිමියේය.
4. අබ්භන්තර වර්‍ගය
1. අබ්භන්තර ජාතකය (281)
අබ්භන්තරං නාම දුමො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් සැරියුත් තෙරුන් වහන්සේ විසින් බිම්බා දේවි තෙරණියට දෙන ලද අඹරස දානයක් අරබයා වදාළ සේක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් දම්සක් දෙසුම පවත්වා විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවාසය කරද්දී මහා ප්‍රජාපතී ගෝතමිය ශාක්‍ය කුමාරිකාවන් පන්සියයක් රැගෙන බුදුරදුන් වෙත ගොස් පැවිද්ද ඉල්ලා පැවිද්ද හා උපසම්පදාව ලැබුවාය. පසුකලෙක ඒ පන්සියයක් භික්‍ෂුණීහු නන්දකෝවාද සූත්‍රයෙන් බණ අසා රහත් ඵලයට පත්වූහ. ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර ඇසුරුකොට වැඩවාසය කරන කල්හි යශෝධරා දේවිය “මගේ ස්වාමියා පැවිදිව සර්වඥ බවට පත්විය. මගේ පුතාද පැවිදි වී උන්වහන්සේ සමීපයේ වාසය කරයි. මම නිවසේ සිට කුමක් කරම්ද? මමද පැවිදිව සැවැත් නුවරට ගොස් සම්බුදුරජාණන් වහන්සේද පුත්‍රයන් වහන්සේද නිතර නිතර බලමින් වාසය කරන්නෙමි” යි සිතා භික්‍ෂූණි අසපුවට ගොස් පැවිදිව ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සමග සැවැත්නුවරට ගොස් බුදුරජාණන් වහන්සේද ප්‍රිය පුතණුවන්ද දකිමින් එක්තරා භික්‍ෂූණී ආරාමයක වාසය කළහ. රාහුල සාමණේරයන් වහන්සේ එහි වැඩමකොට මව දකින සේක.