8. මහිස ජාතකය (278)
කමත්ථ මහිසන්ධාය යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක් කෑදර වඳුරෙකු අරබයා වදාළ සේක. සැවැත් නුවර එක් කුල ගෙදරක හදාවඩා ගන්නා එක් කෙලිලොල් වඳුරෙක් ඇත්හළට ගොස් එක් හීලෑ ඇතෙකුගේ පිටෙහි හිඳගෙන මලමුත්රා පහකරයි. පිටෙහි සක්මන් කරයි. ඇතා තමන්ගේ සිල්වත් බැවින්ද ඉවසිලිවන්ත බැවින් කිසිවක් නොකරයි. ඉක්බිති එක්දිනක් ඒ ඇතා සිටි තැන වෙනත් නපුරු ඇත් පැටවෙක් සිටියේය. වඳුරා මේ ඒ (පළමු) ඇතාමයයි යන හැඟීමෙන් නපුරු ඇතාගේ පිටට නැග්ගේය. එවිට ඇතා වඳුරා හොඬවැලෙන් ගෙන බිම තබා පයින් පාගා පොඩි කළේය. ඒ පුවත භික්ෂු සංඝයා අතර ප්රකට විය. පසුව එක්දිනක භික්ෂූහුද දම්සභාවෙහිදී “ඇවැත්නි! කෑදර වඳුරා වනාහි හික්මුණු ඇතාය යන හැඟීමෙන් දුෂ්ට ඇතු පිටට නැග්ගේය. ඉක්බිති ඇතා වඳුරා මරණයට පත් කළේය යනුවෙන් කථාව මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා, මහණෙනි! මෙහි දැන් කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවෙන් යැයි කී කල්හි මහණෙනි! කෑදර වඳුරා මෙබඳු ස්වභාව ඇත්තේ දැන් පමණක් නොව පෙර පටන්ම මෙබඳු ස්වභාව ඇත්තේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ හිමාලය වන පෙදෙසෙහි මී ගව යෝනියෙහි ඉපදී වැඩිවියට පත්ව ශක්තිමත්ව මහ සිරුරක් ඇතිව පර්වත බෑවුම්, පර්වත ගුහා, ගිරි දුර්ග (ගමන දුෂ්කර) දුර්ග වන ලැහැබ්වල හැසිරෙමින් එක් සුවපහසු ගසක් මුල දැක ආහාර ගෙන දවල් ඒ ගස මුල සිටියහ. ඉක්බිති එක් කෑදර වඳුරෙක් ගසෙන් බැස ඌගේ පිටට නැගී මල මුත්රාකොට අඟින් අල්ලාගෙන එල්ලෙමින් වලිගය ගෙන පැද්දෙමින් ක්රීඩා කළේය. බෝසතාණන් වහන්සේ ඉවසීමෙන්, මෛත්රියෙන්, දයාවෙන් යුක්තව වඳුරාගේ ඒ නරක හැසිරීම් මෙනෙහි නොකළේය. වඳුරා නැවත නැවතත් එසේම කරයි. ඉක්බිති එක්දිනක් ඒ ගසෙහි අධිගෘහිත දේවතාවා රුක් කඳෙහි සිට මීගවයාට “මීගවරජුනි” කුමක් නිසා මේ දුෂ්ට වඳුරාගේ අවමන් ඉවසන්නෙහිද? ඌ වළක්වන්නැයි කියා මේ අදහස ප්රකාශ කරමින්,
කමත්ථ මභිසන්ධාය ලහුචිත්තස්ස දූභිනෙ,
සබ්බකාම දුහස්සෙව ඉමං දුක්ඛං තිතික්ඛසි
සබ්බකාම දුහස්සෙව ඉමං දුක්ඛං තිතික්ඛසි
සිංගෙන නිහනාහෙතං පදසා ච අධිට්ඨහ,
භීයො බාලා පකුජ්ඣෙය්යුං නොචස්ස පටිසෙධ කො
භීයො බාලා පකුජ්ඣෙය්යුං නොචස්ස පටිසෙධ කො
යන පළමු ගාථා දෙක කීවේය.
සැහැල්ලු සිතැති මිත්ර ද්රෝහියාගේ මේ දුක් කරදර කැමති හැමදේ දෙන ස්වාමියෙකු කරන දෙයක් සේ සිතා කවර හෙයින් ඉවසා සිටින්නෙහිද?
මොහු අඟින් ඇන නසන්න. පාදයෙන් පාගා දමන්න වැළකීමට කෙනෙක් නැත්නම් මෝඩයෝ බොහෝ කිපෙන්නාහ.
එහි, කමත්ථම්භි සන්ධාය යනු කුමක කාරණාවක් හේතුකොටගෙන කුමක් දකිමින්, දූභිනො යනු මිත්රද්රෝහියාට, සබ්බකාම දුහස්සෙව යනු සියලු කාම සම්පත් දෙන්නා වූ ස්වාමියෙකුගේ (හිරිහැර කිරීමක්) මෙන්. තිතික්ඛසි යනු ඉවසුවෙහිය. පදසාච අධිටඨහ යනු පාදයෙන් ද ඌට තියුණු කුර අගින්ද මෙතැනම මැරෙන ලෙස ඌ පාගා දමන්න. භීයෝ බාලා යනු ඉදින් වළක්වන්නෙක් නොවන්නේ නම් මෝඩ අඥාන සත්ත්වයෝ නැවත නැවතත් කිපෙන්නාහුය. ගැටෙන්නාහුය. වෙහෙසට පමුණුවන්නාහුම යයි දක්වයි.
ඒ අසා බෝසතාණන් වහන්සේ රුක් දෙවිය! ඉදින් මම මේ ජාති, ගෝත්ර, බල ආදියෙන් වැඩි වූ කෙනෙක් වී මොහුගේ දොස් නොඉවසන්නෙම්ද, කෙසේ මගේ මනදොළ නිමාවට යන්නේද, මේ වඳුරා වනාහි මා වගේ අනිත් අය ගැනත් සිතමින් මෙසේ නරක හැසිරීම් කරන්නේද, නපුරු මීගවයන්ට මූ මෙසේ කරන්නේද, ඒ මීගවයෝම මූ මරා දමයි. මූට අන්යයන් කෙරෙන් ඒ මරණය වන්නේය. දුකෙන්ද, ප්රාණ ඝාතයෙන්ද මගේ මිදීම වන්නේයයි කියා
මමෙවායං මඤ්ඤමානො අඤ්ඤම්පෙවං කරිස්සති,
තෙ තං තත්ථ වධිස්සන්ති සාමෙ මුත්ති භවිස්සති
තෙ තං තත්ථ වධිස්සන්ති සාමෙ මුත්ති භවිස්සති
යන තෙවන ගාථාව කිහ.
මේ තෙමේ (සෙස්සන්) මා මෙන් යයි සිතමින් සෙස්සන්ටද මෙසේ කරන්නේය. ඔවුහු එහිදී ඒ වඳුරා මරන්නෝය. මට ඒ පවින් මිදීම වන්නේය.
කීප දිනකින් බෝසතාණන් වහන්සේ අන් තැනකට ගිය සේක. වෙනත් නපුරු මී ගවයෙක් එතනට අවුත් සිටියේය. දුෂ්ට වඳුරා මේ ඔහුම ය යන හැඟීමෙන් ඌ පිටට පැන එසේම අනාචාරීව හැසුරුණේය. ඉක්බිති ඒ ගවයා ඇඟ සොලවා වඳුරා බිම දමා අඟින් ඇන පපුව හිල්කර පයින් මැඩ පොඩිකර දැමුවේය.