7. රෝමක ජාතකය (277)
වස්සානි පඤ්ඤාස යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ඝාතන උත්සාහයක් අරබයා වදාළ සේක. වර්තමාන කථාව පැහැදිලිය.
යටගිය දවස වනාහි බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ පරෙවියෙකු වී බොහෝ පරෙවියන් පිරිවරණ ලද්දේ වනයෙහි පර්වත ගුහාවක වාසය කළහ. සිල්වත් වූ එක්තරා තාපසයෙක්ද ඒ පරෙවියන් වසන ස්ථානයට නුදුරින්, එක් පිටිසර ගමක් ඇසුරු කොටගෙන, අසපුවක් තනාගෙන පර්වත ගුහාවක වාසය කළේය. බෝසතාණන් වහන්සේ අතරින් පතර ඔහු සමීපයට අවුත් ඇසිය යුතු දෙයක් අසයි. එහි තාපසයා කලක් වාසයකොට ගියේය. ඉක්බිති වෙනත් කපටි ජටිලයෙක් අවුත් එහි වාසය කළේය. බෝසතාණන් වහන්සේද පරෙවියන් විසින් පිරිවරණ ලද්දේ ඔහු වෙත එළඹ, වැඳ පිළිසඳර කථාකොට ආශ්රමයෙහි සැරිසරා ගිරිකඳුරක් සමීපයෙහි ගොදුරු ගෙන සවස තමන් තැනට යන සේක. කපටි තවුසාද පණස් වසරකට වැඩි කාලයක් වාසය කළේය.
ඉක්බිති මොහුට එක්දිනක් පිටිසර ගමිවැසියෝ පරෙවි මස් සකස්කොට දුන්නාහුය. ඔහු එහි රස තෘෂ්ණාවෙහි බැඳී මේ කිනම් මසක්දැයි විචාරා, පරෙවි මස් යැයි අසා මගේ අසපුව පෙදෙසට බොහෝ පරෙවියෝ එත්. ඔවුන් මරා මස් කෑම සුදුසුයයි සිතීය. ඔහු සහල්, ගිතෙල, දීකිරි, දුරු, මිරිස් ආදිය ගෙන්වාගෙන එකත්පසෙක තබා මුගුරක් වල්කලා සිවුර අස්සේ සඟවාගෙන පරෙවියන්ගේ පැමිණීම බලමින් පන්සල දොරටුවෙහි හුන්නේය. බෝසතාණන් වහන්සේ පරෙවියන් පිරිවරාගෙන අවුත් ඒ කපටි ජටිලයාගේ නපුරු ක්රියාව බලා, මේ දුෂ්ඨ තාපසයා අන් ආකාරයකින් සිටින්නේය. කිමෙක්ද අපගේ ජාතියට අයත් පරෙවියන්ගේ මස් කෑවේ? ඔහු පරීක්ෂා කරන්නෙමියි උඩු සුළගෙහි සිට ඔහුගේ සිරුරෙහි ගඳ ආඝ්රාණය කොට මේ තෙමේ අපිව මරා මස් කනු කැමැත්තේය. ඔහු සමීපයට යාම නොවටීයයි පරෙවියන් රැගෙන පිටව ගියහ. තාපසයා ඌ නොඑන බව දැක ඔවුන් සමග මිහිරි වචන කියා විශ්වාසයෙන් පැමිණි කල මරා මස් කන්නට වටී යැයි සිතා,
වස්සානි පඤ්ඤාස සමාධිකානි, වසිම්හ සෙලස්ස ගුහාය රෝමක,
අසංකමානා අභිනිබ්බුතත්තා, හත්ථමායන්ති මමණ්ඩජා පුරෙ
අසංකමානා අභිනිබ්බුතත්තා, හත්ථමායන්ති මමණ්ඩජා පුරෙ
තෙදානි වක්කංග කිමත්ථමුස්සුකා, භජන්ති අඤ්ඤං ගිරි කන්දරං දිජා,
නනූන මඤ්ඤන්ති මමං යථා පුරෙ, චිරප්පවුත්ථා අථවා න තෙ ඉමෙ
නනූන මඤ්ඤන්ති මමං යථා පුරෙ, චිරප්පවුත්ථා අථවා න තෙ ඉමෙ
යන පළමු ගාථා දෙක කීය.
පරෙවිය! අවුරුදු පනහකට වැඩි කාලයක් ගල් ගුහාවෙහි විසූවෙමු. සන්සුන් සිත් ඇති පක්ෂීහු මා සැක නොකරමින් පෙර මා ළගට එති.
පක්ෂිය! දැන් ඒ පක්ෂීහු කුමක් නිසා කළකිරී පර්වතයෙන් අන් ගිරි කඳුරකට යතිද පෙර පරිදි මේ පක්ෂීහු මට ගරු නොකෙරෙතියි සිතමි. නැතහොත් දිගුකල් මොවුහු පිටත වැස පැමිණි හෙයින් මේ ඔහුම යැයි නොහඳුනත්ද?
එහි, සමාධිතානි යනු අධික වූ, රොමක යනු රෝමයෙන් උපන් පිරිසිදු කරන ලද පබලුවලට සමාන වර්ණ ඇති ඇස් හා පා ඇති බැවින් බෝසත් පරෙවියාට අමතයි. අසංකමානා යනු මෙසේ පනස් වසරකට අධික කාලයක් මේ පර්වත ගුහාවෙහි වසන්නා වූ අප කෙරෙහි මේ කුරුල්ලෝ එක් දවසක්වත් මා කෙරෙහි සැක නොකොට නිවුණු සිත් ඇතිවම පෙර මගේ, හත්ථත්තං අත දික් කරන අවකාසයට (අතට අසුවන දුරට) එති යන අර්ථයයි.
තෙදානි යනු ඔවුහු දැන් වක්කංග යනු බෝසතාණන් වහන්සේට අමතයි. සියලු පක්ෂීහු උඩට ඉගිලෙන කාලයේ බෙල්ල වක්කොට උඩට ඉගිලෙන බැවින් වක්කංග යයි කියනු ලැබෙත්. කිමත්ථං කුමන කරුණක් බලමින්. උස්සුකා යනු කලකිරුණු ස්වරූප ඇතිව. ගිරිකන්දරං යනු පර්වතයෙන් අනිත් පර්වත කඳුරකට, යථාපුරෙ යනු යම් සේ පෙර මේ පක්ෂීහු මට ගරුකොට ප්රියකොට සිතත්, දැන් එසේ නොසිතත්. පෙර මෙහි වාසය කළ තාපසයා අනිකෙකි. මේ අනිකෙකි. මොවුහු මා ගැන එසේ සිතතියි දක්වයි. චිරප්පවුත්ථා අථවාන තෙ ඉමෙ යනු මොවුන් බොහෝ කලක් වෙන්ව වාසයකොට, දිගු කලක් ඇවෑමෙන් ආ බැවින් මේ ඔහුම යැයි මා නොහඳුනත්ද අප කෙරෙහි නිවුණු සිත් ඇති බැවින් මොවුහු අනිකක් ආගන්තුක පක්ෂීහු නොවෙති. මොවුහු මා වෙත කුමක් නිසා නොඑළඹෙත් දැයි විමසයි.