6. කුරුධම්ම ජාතකය (276)
තව සද්ධඤ්ච සීලඤ්ච යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරමින් හංසයෙකු ඝාතනය කළ එක් භික්ෂුවක් අරබයා වදාළ සේක. සැවැත් නුවරවාසී යහලු භික්ෂු දෙනමක් පැවිදිව ලබන ලද උපසම්පදාව ඇතිව බොහෝවිට එකට හැසිරෙත්. උන්වහන්සේලා එක් දවසක් අචිරවතී ගඟට ගොස් නා වැලිතලාවෙහි අව්ව තපිමින්, සිහි කටයුතු කථා කියමින් සිටියාහුය. ඒ අවස්ථාවෙහි හංසයෝ දෙදෙනෙක් අහසින් යති. ඉක්බිති එක් භික්ෂුවක් ගල් කැටයක් ගෙන එක් හංස පෝතකයෙකුගේ ඇසට පහර දෙමියි කීවේය. අනෙක් භික්ෂුව ඔබ නොහැකි වන්නෙහි යයි කීවේය. මේ පැත්තේ ඇස තිබේවා! අනෙක් පැත්තේ ඇසට ගසන්නෙමියි කීය. එය නොහැක්කේම යයි කීය. එසේනම් සලකා බලවයි කියා තුන්මුල් ගල්කැටයක් ගෙන හංසයාගේ පිටිපසට දමා ගැසීය. හංසා ගල්කැටයේ ශබ්දය අසා හැරී බැලුවේය. ඉක්බිති වෙනත් ඒ භික්ෂුව රවුම් ගල්කැටයක් ගෙන උගේ අනිත් පැත්තේ ඇසට පහර දී මෙහා පැත්තේ ඇසින් නික්මවීය. හංසයා කෑගසමින් පෙරළී ඔවුන්ගේ පාමුල වැටුනේය. ඒ ඒ තැන සිටි භික්ෂූහු මෙය දැක අවුත් ඇවැත්නි, බුදුසසුනෙහි පැවිදිව සතෙකු මැරීමෙන් තොප විසින් නුසුදුස්සක් කරන ලදීයයි කියා උන්වහන්සේ කැඳවාගෙන තථාගතයන් වහන්සේට දැක්වූහ. බුදුරජාණන් වහන්සේ ඇත්තද මහණ? ඔබ විසින් ප්‍රාණඝාතයක් කරන ලද්දේදැයි විචාරා, ඇත්තයි ස්වාමීනියි කී කල්හි, මහණ! කුමක් නිසා සසරින් එතෙර කරන මෙබඳු සසුනෙහි පැවිදිව මෙසේ කළේද? පැරණි නුවණ ඇත්තෝ බුදුවරුන් ලොව නොමැති කාලයේත් අඹුදරුවන් සමග මුළු ජීවිතයම ගිහිගෙයි වසමින් ස්වල්පමාත්‍ර වූ තැනදීත් සැක කළාහුය. ඔබ වනාහි එබඳු වූ ශාසනයෙහි පැවිදි වී කුකුස් මාත්‍රයක් පමණවත් නොකළෙහිය. භික්ෂුව විසින් කය, වචනය, හිත යන තිදොරින් සංවර විය යුතුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස කුරු රට ඉඳිපත් නුවර ධනඤ්ජය රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ ඒ රජුගේ අගමෙහෙසිය කුස පිළිසිඳ ගෙන පිළිවෙළින් වැඩිවියට පැමිණියේ තක්සලා නුවරින් ශිල්ප හදාරා පියරජු විසින් යුවරජ තනතුරෙහි පිහිටුවන ලද්දේ මෑත භාගයේදී පියරජුගේ ඇවෑමෙන් රජකමට පැමිණ දසරාජ ධර්මය විනාශ නොකර කුරු ධර්මයෙහි පිහිටියහ. කුරු ධර්මය නම් පඤ්ච ශීලයයි. බෝසතාණන් වහන්සේ ඒවා පිරිසිදුව රැක්කාහ. බෝසතාණන් වහන්සේ මෙන්ම ඔහුගේ මවද, අගමෙහෙසියද, බාල සහෝදරයා (මල්ලී) ද, යුවරජද, පෙරවි බමුණාද, ඉඩම් මනින ඇමතියාද, රථාචාරියාද, සිටුතුමාද, ධාන්‍ය ආදිය මනින ඇමතියාද, දොරටුාලයාද නර සෝභිනී වර්ණදාසියද එසේම වූහ.
රාජා - මාතා - මහෙසීච උපරාජා - පුරොහිතො,
රජ්ජුකො - සාරථි - සෙට්ඨි - දොණො - දොවාරිකො තථා,
ගණිකා - එකාදස ජනා කුරුධම්මෙ පතිට්ඨිතා
රජ්ජුකො - සාරථි - සෙට්ඨි - දොණො - දොවාරිකො තථා,
ගණිකා - එකාදස ජනා කුරුධම්මෙ පතිට්ඨිතා
යනු ඒ එකොළොස් දෙනාය.
මෙසේ මේ සියල්ලෝම පිරිසිදුව පන්සිල් රැක්කාහ. රජතුමා නුවර දොරටු සතරෙහිද, නගර මධ්‍යයෙහිද නිවාස දොරටුව ළඟදැයි දාන ශාලා හයක් කරවා දිනපතා හයලක්ෂය බැගින් ධනය වියදම් කරමින් සියලු දඹදිව නඟුල් උඩ තබා (ගොවිතැන් නවතා, උත්සව ශ්‍රීයෙන්) දන් දුන්නේය. ඹහුගේ දානානධ්යාශයත්, දානයෙහි ඇල්මත් දඹදිව පුරා පැතුරුනේය. එකල කලිඟුරට දන්තපුර නගරයේ කලිඟු රජ රජකරවයි. ඔහුගේ රටෙහි වැස්ස නොවැස්සේය. වැසි නොවසින කල මුළු රටෙහිම සාගතයක් හටගත්තේය. ආහාර අහේනියෙන් මිනිසුන්ට රෝග උපන්නේය. වැස්ස නැති බියද, දුර්භික්ෂ බියද, රෝගබියද යන තුන්බිය උපන්නේය. මිනිස්සු ජීවත්වීමට මගක් නැතිව දරුවන් අතින් අල්ලාගෙන ඒ ඒ තැන සැරිසරත්.
සියලු රටවැසියෝ එක්ව දන්තපුරයට ගොස් රජ දොරටුව ළඟ උද්ඝෝෂණය කළාහුය. රජතුමා වාකවුළුව ළඟ සිටියේ ඝෝෂා හඬ අසා කුමකු නිසා මොවුන් කෑගසත්දැයි විචාළේය. මහරජතුමනි! මුළු රටෙහිම තුන්බිය උපන්නේය. වැස්ස නොවසියි. ගොවිතැන් විනාශ විය. දුර්භික්ෂය හටගත්තේය. මිනිස්සු ආහාර අහේනියෙන් රෝගවලින් මඩනා ලද්දෝය. පිහිටක් නැත්තාහු දරුවන් අතින් අල්ලාගෙන හැසිරෙත්. මහරජතුමනි, වැසි වස්වනු මැනවියි කීහ. පැරණි රජවරු, වැසි නොවසිනා කල්හි කුමක් කරත්දැයි ඇසූවිට මහරජතුමනි, පෙර රජවරු නොවසිනා කල්හි දන් දී පෙහෙවස් අධිෂ්ඨාන කොට සිල් සමාදන්ව සිරියහනට පිවිස හීතණ ඇතිරියෙහි සතියක් වැතිරෙති. එකල වැසි වසිතියි කීහ. රජතුමා යහපතැයි පිළිගෙන එසේ කළේය. මෙසේ ඇතිකල්හිදු වැසි නොවැසීය.