3. කච්ඡප ජාතකය (273)
කො නු උද්දිනභත්තො වා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරද්දී කොසොල් රජතුමාගේ මහ ඇමතියන් දෙදෙනෙකුගේ කලහයක් සංසිඳවීම අරබයා වදාළ සේක. වර්තමාන කථාව දුක නිපාතයෙහි කියන ලද පිරිදිමය.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ කසීරට බම්ණු කුලයක ඉපදී වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙනගෙන පස්කම් සැප හැරදමා තවුස් පැවිද්දෙන් පැවිදිව හිමාල වන ප්‍රදේශයේ ගංතෙරක අසපුවක් තනාගෙන එහිදී අභිඥාවන්ද සමාපත්ති උපදවාගෙන ධ්‍යාන සුවයෙන් කල් ගෙවමින් වාසය කළ සේක. මේ ජාතකයෙහි බෝසතාණන් වහන්සේ ඉහළට මැදහත් බවෙන් යුක්ත වූහ. උපේක්‍ෂා පාරමිතාව පිරූ සේක. එක් කාය වාග් සංවරයක් නැති දුසිල් වඳුරෙක් අවුත් පන්සල් දොරකඩ වාඩිවී සිටින උන්වහන්සේගේ කන් සිදුරුවල කෝටුකෑලි ඇතුල් කිරීමේ ක්‍රියාව අංගජාතයෙන් කරයි. (වඳුරාගේ ලිංගය බෝසතුන්ගේ කන්සිදුරුවල ඇතුල් කරයි) බෝසතාණන් වහන්සේ එය නොවළක්වා මැදහත්ව හිඳිති. ඉක්බිති එක්දිනක එක් ඉබ්බෙක් දියෙන් ගොඩට අවුත් ගංතෙරට වී කට ඇරගෙන අව්ව තපිමින් නිදයි. ඒ දැක ඒ කෑදර වඳුරා උගේ කට තුළට කෝටුකෑලි ඇතුල් කිරීමේ ක්‍රියාව (තම ලිංගය ඇතුල් කිරීම) කළේය. ඉක්බිති ඉබ්බා පිබිදී වඳුරාගේ රහසඟ මල්ලක දමන්නාක් මෙන් කටින් ඩැහැ ගත්තේය. බලවත් වේදනාවක් උපන්නේය. වේදනාව ඉවසිය නොහැකිව කවරෙක් නම් මා මේ දුකෙන් මුදවත්ද කා ළඟට යම්දැයි සිතා තාපසතුමා හැර මේ දුකෙන් මා මුදවන්නට වෙන කෙනෙක් නැත. මා උන්වහන්සේ සමීපයටම යාම සුදුසුයයි සිතා තම දෑතින් ඉබ්බා උස්සාගෙන බෝසතාණන් වහන්සේ සමීපයට ගියේය. බෝසතාණන් වහන්සේ ඒ දුස්සීල වඳුරා සමග කෙළිකවටකම් කරමින්,
කොනු උද්දිත භත්තෝව පුරහත්‍ථොව බ්‍රාහ්මණො,
කහන්නු භික්ඛං අචරි කං සද්ධං උපසංකමි
යන පළමු ගාථාව කීහ.
පිරුණු බත් පාත්‍රයක් ගත්තෙකු මෙන් (මේ කවරෙක්ද? කාර්තික පූජාවෙහි ලද) පිරුණු පාත්‍රයක් අතැති බමුණෙකු මෙන් (මේ) කවරෙක්ද? කවර පෙදෙසක පිඬු සිඟා හැසිරුණේද? කවර සැදැහැතියෙකු කරා එළැඹියේද?
එහි කොනු උද්දිතභත්තො වා යනු පිරුණු බත් ඇත්තෙකු මෙන් එන මොහු කවුද? බතින් පිරුණු එක් පාත්‍රයක් අත් දෙකෙන් ගෙන එන්නාක් මෙන් මේ එන තැනැත්තා කවරෙක්ද යන අර්ථයයි. පුරහත්‍ථොව බ්‍රාහ්මණො යනු ඉල් මාසයේ ඉගෙනීමක් ලැබ පිරුණු අත් ඇති බමුණෙකු මෙන් එන මොහු කවුද යන්න වඳුරා සදහා කියයි. කහන්නු භික්ඛං අචරි එම්බා වඳුර! කුමන පෙදෙසක අද නුඹ පිඬු සිඟා හැසිරුණෙහිද? කං සද්ධං උපසංකමි යනු මියගිය කවරෙකු උදෙසා කළ මල බතක්ද? කවර සැදැහැතියෙකු වෙත එළඹ මේ දානය ලැබුවේදැයි දක්වයි.
ඒ අසා දුසිල් වඳුරා,
අහං කපිස්මි දුම්‍මෙධො අනාමාසානති ආමසිං,
ත්‍වං මං මෝචය භද්දන්තෙ මුත්තො ගච්ඡෙය්‍ය පබ්බතන්ති
යන දෙවන ගාථාව කීවේය.
මම මෝඩ වඳුරෙක්මි. ස්පර්ශ නොකළ යුතු තැන් ස්පර්ශ කළෙමි. තෙපි මා මුදනු මැනවි. මිදුනාට පසු පර්වතයට යමි. තොපට යහපතක් වේවා.
එහි, අහං කපස්මි දුම්මෙධො යනු ස්වාමීනි! මම මෝඩ චපල සිත් ඇති වඳුරෙක් වෙමි. අනාමාසානි ආමසිං යනු ස්පර්ශ නොකළ යුතු තැන් ස්පර්ශ කළෙමි. ත්‍වං මං මෝචය භද්දන්තෙ යනු දයාවෙන් පිරුණු අනුකම්පාවෙන් යුතු ඔබවහන්සේ මාව මේ දුකින් මුදවන්න. ස්වාමීනි ඔබවහන්සේට යහපතක් වේවා! මුත්තො ගච්ඡෙය්‍ය පබ්බතං යනු ඒ මම නුඹවහන්සේගේ අනුහසින් මේ විපතින් මිදුනේ පර්වතයටම යන්නෙමි. නැවත ඔබේ ඇස් ඉදිරියේ මාව නො දක්නේය. (ඔබ වහන්සේට පෙනෙන්නට මම නැවත නොඑන්නෙමි.)
බෝසතාණන් වහන්සේ වඳුරා කෙරෙහි කරුණාවෙන් ඉබ්බා සමග කථා කරමින්,
කච්ඡසා කස්සපා හොන්ති කොණ්ඩඤ්ඤා හොන්ති මක්කටා,
මුඤ්ච කස්සප කොණ්ඩඤ්ඤං කථං මෙථුනකං තයා.
යන තුන්වන ගාථාව කීහ.
ඉබ්බෝ කාශ්‍යප ගෝත්‍ර ඇත්තෝ වෙති. වඳුරෝ කොණ්ඩඤ්ඤ ගෝත්‍ර ඇත්තෝ වෙති. කාශ්‍යපය! කොණ්ඩඤ්ඤයා මුදවන්න! ඹබ (ඉබ්බා) විසින් (වඳුරා සමග) මෛථුන සේවනය (ලිංගික සේවනය) කරන ලදි.
එහි අර්ථය කච්ඡපා වඳුරෝ නම් කාශ්‍යප ගෝත්‍රයෙහි වෙත්. මක්කටා වඳුරෝ කොණ්ඩඤ්ඤ ගෝත්‍රයේ වෙත්. කාශ්‍යප කොණ්ඩඤ්ඤ ගෝත්‍රවලට අයත් වූවන්ට ඔවුනොවුන් අතර ආවාහ විවාහ සම්බන්ධයක් ඇත. ඒ මේ ආවාහ විවාහ ලොල් වූ දුසිල් වූ මේ වඳුරා විසින් තයා ඔබ සමගද ඔබ විසින් මේ දුසිල් වඳුරා සමග ගෝත්‍රයට සමානකම් ඇති මෛථුන ධර්මයට සුදුසු වූ දුසිල් ක්‍රියාවක් වූ මෛථුනකං කහං මෛථුනය කරන ලදි. එහෙයින් මුඤ්ච කස්සප කොණ්ඩඤ්ඤ කාශ්‍යපය කොණ්ඩඤ්ඤ නිදහස් කරන්න.
ඉබ්බා බෝසතාණන් වහන්සේගේ වචනය අසා කාරණයෙහි පැහැදී වඳුරාගේ රහසඟ නිදහස් කළේය. වඳුරා මිදුණු සැණින් බෝසතාණන් වහන්සේ වැඳ පලා ගියේය. නැවත ඒ ස්ථානය දෙස නැවතීවත් නොබැලුවේය. ඉබ්බාද බෝසතාණන් වහන්සේට වැඳ තම වාසස්ථානයට ගියේය. බෝසතාණන් වහන්සේ ද නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බඹලොව උපන් සේක.