4. ලෝල ජාතකය (274)
කායං බලාකා සිඛිනි යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් එක්තරා බලවත් ආසා ඇති භික්‍ෂුවක අරබයා වදාළ සේක. දම්සභාවට පමුණුවන ලද ඒ භික්‍ෂුවට බුදුරජාණන් වහන්සේ මහණ ඔබ දැන් පමණක් නොව පෙරත් ලොල් බැවින්ම මරණයට පැමිණියේය. ඒ නිසා පැරණි පඬිවරුන්ද තමන්ගේ වාසස්ථානයෙන් බැහැර වූහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බරණැස් සිටුතුමාගේ මුළුතැන්ගෙයි බත් උයන්නා පිං පිණිස නිල් කූඩුවක් (නීලපච්ඡි) තැබුවේය. එකල බෝසතාණන් වහන්සේ පරෙවි යෝනියෙහි ඉපදී එහි වාසය කළහ. ඉක්බිති එක් ලොල් කපුටෙක් මුළුතැන්ගේ උඩින් පියාඹන්නේ නොයෙක් ආහාර මස් මාංශ වර්ග දැක ආසාවෙන් මඬනා ලද්දේ කවරෙක් නිසා ඉඩක් ලබන්නට හැකිවන්නේ දැයි සිතමින් බෝසතාණන් වහන්සේ දැක මොහු නිසා හැකි වන්නේ යයි සනිටුහන් කොට ඔහු ගොදුරු පිණිස කැලයට යන කල්හි පිටුපසින් පිටුපසින් ලුහුබැන්දේය. ඉක්බිති ඔහුට බෝධිසත්වයන් වහන්සේ කපුට! අපි වනාහි වෙනස් ගොදුරු ඇත්තෙමු. නුඹද වෙනස් ගොදුරු ඇත්තෙහි. ඒ නිසා කුමක් සදහා මාව පසුපස එන්නේදැයි ඇසූහ. ස්වාමීනි, නුඹවහන්සේගේ ක්‍රියාව මට රුචි වෙයි. මමද නුඹලාට සමාන ගොදුරු ගන්නෙකු වී නුඹවහන්සේට උපස්ථාන කරන්නට කැමැත්තෙමියි කීය. බෝසතාණන් වහන්සේ පිළිගත් සේක. ඒ කපුටා ඔහු සමග ගොදුරු බිමදී එකට ගොදුරු සඳහා හැසිරෙන්නෙකු මෙන් මගහැර ගොම ගොඩක් අවුස්සා පණුවන් කා පිරුණු කුස ඇතිව බෝසතාණන් වහන්සේ වෙත එළඹ, නුඹවහන්සේ මෙතෙක් වේලා හැසිරෙන්නේ භෝජනයෙහි ප්‍රමාණය දැනගැනීම සුදුසුය. එව සවස් වෙන්නට කලින්ම යමුයි කීවේය. බෝසතාණන් වහන්සේ කපුටා රැගෙන වාසස්ථානයට ගිය සේක. අරක්කැමියා අපගේ පරෙවියා යාළුවෙකු රැගෙන ආවේයයි කපුටාටද එක් දහයියා කූඩුවක් (ථුසපච්ඡි) තැබුවේය. කපුටා හතර පස් දවසක් ඒ ආකාරයෙන්ම වාසය කළේය.
ඉක්බිති එක් දිනක් සිටුතුමාට බොහෝ මස් මාංශ ගෙනාවාහුය. කවුඩා ඒ දැක ලෝභයෙන් මඩනා ලද්දේ උදේ කාලයේ පටන් කොඳුරමින් හොත්තේය. ඉක්බිති කපුටා දවසේ බෝසතතාණන් වහන්සේ යහලුව. ගොදුරු සඳහා එවයි කීහ. නුඹවහන්සේ යන්න මට කෑ දේ නොදිරවු සැකයක් ඇතැයි කීය. යහලුව, කපුටන් අතර කෑම නොදිරවන කපුටෙක් නැත. ගිලින ලද ගිතෙල් පාන්තිරයක් නම් නුඹේ කුසෙහි ටික වේලාවක් පවතියි. සෙස්ස උගුරෙන් පහලට වැටුණු ගමන් දිරවයි. මගේ කීම පිළිගන්න. මේ මස් මාංශ දැක, මෙසේ නොකරන්නැයි කීහ. ස්වාමීනි, මේ කුමක් කියව්ද? මට අජීර්ණය ගැන සැකය ඇත්තේමය. එසේ නම් නොපමා වුව මැනවයි අවවාද දී බෝසතාණන් වහන්සේ ගිය සේක.
අරක්කැමියාද නොයෙක් ආකාර මස් මාංශ වර්ග සම්පාදනය කොට සිරුරෙන් දහදිය ඉවත් කරමින් මුළුතැන්ගෙයි දොරටුව ළඟ සිටියේය. කපුටා මස් මාංශ කෑමට මේ සුදුසු කාලයයි. ගොස් මස් බඳුන වසා ඇති පියන මත හිඳගත්තේය. අරක්කැමියා ‘කිලී’ යන හඬ අසා ආපසු හැරී බලන්නේ කපුටා දැක පිවිස ඌ අල්ලාගෙන සියලු සිරුරෙහි පිහාටු ගලවා හිස මුදුනෙහි කොණ්ඩය තබා ඉඟුරු, දුරු මිරිස් ආදිය අඹරා මෝරු සමග කලවම් කර නුඹ අපගේ සිටුතුමාගේ මස් මාංශ ඉඳුල් කළෙහිදැයි කියා උගේ ශරීරය පුරාම තවරා විසිකොට නිල්කූඩුවට හෙලීය. බලවත් වේදනාවක් උපන්නේය. බෝසතාණන් වහන්සේ ගොදුරු බිමෙන් අවුත් කෙඳිරිගාන ඌ දැක විහිලු කරමින්,
කාය බලාකා සිඛිනී චොරී ලංගිපිතාමහා,
ඔරං බලාකෙ ආගච්ඡ චණ්ඩො මෙ වායසො සඛා
යන පළමු ගාථාව කීවේය.
සිළු (කොණ්ඩය) ඇති සෙර (සොර තැනැත්තියක්) වූ මේඝය සීයා කොට ඇති මේ කෙකිනි කවරෙක්ද? කෙකින්න මෙහි එව. මාගේ මිතුරු කවුඩා චණ්ඩය.
එහි, කායං බලාකා සිඛිනී යනු ගණ මෝරුවලින් තවරන ලද කාක්කාගේ ඒ ශරීරය සුදු බැවින් ද හිස මුදුනෙහි කොණ්ඩය තබා ඇති බැවින්ද මේ කවර තැනැත්තියක්ද? කෙකිනියක්ද? මොනරෙක්දැයි විමසමින් අමතයි. චොරී යනු (පරෙවි) කුලයෙන් අවසර නොලැබ (පරෙවියාගේ) කුලගෙට (කූඩුවට) (කපුටා) ඇතුල් වු බැවින් ද කපුටාගේ අකමැත්තෙන් (අරක්කැමියා විසින් දැමීම නිසා) කූඩුවට ඇතුල් වූ බැවින් ද චෝරී (සෙර) යනුවෙන් කියයි. ලංඝිපිතාමහා යනු අහසෙහි එල්ලෙන හෙයින් වැහි වළාකුළ ‘ලංඝී’ යයි කියනු ලැබේ. වැහි වළාකුලෙහි හඬින් (මේඝ ශබ්දයෙන්) කෙකිනියෝ ගැබ් ගනිති යන අර්ථයෙන් මේඝ ශබ්දය කෙකිනියන්ගේ පියාය. වැහිවළාකුළ (මේඝය) සීයා (පියාගේ පියා) වෙයි. එහෙයින් ‘ලංඝීපිතාමහා’ යයි කියනු ලැබේ. ඔරං බලාංක ආගච්ඡ යනු කෙකිනිය මෙහි එන්න. චණ්ඩො මෙ වාසසො සඛා යනු මගේ යහලුවා වූ කූඩුවෙහි අයිතිකරු වූ චණ්ඩ වූ, ඵරුෂ වූ ඒ කපුටා පැමිණ ඔබ දැක හෙල්ලක් වැනි හොටෙන් කොටා මරා දමන්නේය. එහෙයින් ඌ පැමිණීමට පෙර කූඩුවෙන් බැස මෙහි එන්න, ඉක්මණින් පැන යන්න යනුවෙන් කියයි.
ඒ අසා කපුටා,
නාහං බලාකා සිඛිනී අහං ලොලොස්මි වායසො,
අකත්‍ව වචනං තුය්හං පස්ස ලූ භොස්මි අගතො
යන දෙවන ගාථාව කීවේය.
මම සිළු ඇති කෙකිනි නොවෙමි. මම ලොල් වූ කපුටෙක්මි. තොපගේ වචනය නොකළ නිසා පියාපත් සිඳුනා ලද්දේ වෙමි. ගොදුරු බිම සිට පැමිණි ඔබ මා දෙස බලව.
එහි, ආගතො යනු ආහාර සොයාගන්නා තැනින් ආවා වූ ඔබ මට දැන් තටු සිඳින ලද මා දෙස බලන්න යන අර්ථයයි.
ඒ අසා බෝසතාණන් වහන්සේ
පුන පාපජ්ජසි සම්ම සීලං හිතව සාදිසං,
නහි මානුසකා භොගා සුභුඤ්ජා හොන්ති පක්ඛිනා
යන තෙවන ගාථාව කීහ.
යහළුව! නැවත (ඔබ) මෙබඳු දුකකට පත් වන්නෙහිය. තොපගේ ආචාර ශීලය එවැනිය. මිනිසුන්ගේ භෝග පක්ෂියා විසින් සුවසේ බුදින්නට යෝග්‍ය නොවේ.
එහි, පුනපාපජ්ජසි සම්ම යහළු කපුටාණෙනි! නැවතත් නුඹ මෙබඳු දුකක් ලබන්නෙහිමය. නුඹට මෙපමණකින් මිදීමක් නැත. කුමක් නිසාද? සීලං හි තව තාදිසං ඔබේ පහත් හැසිරීම එබඳු දුකක් ලැබීමට අනුරූපය (සුදුසුය) නහි මානුසකා යනු මිනිස්සු නම් මහ පින් ඇත්තෝය. තිරිසන්ගත සත්ත්වයන්ට එබඳු පිනක් නැත. ඒ නිසා මිනිසුන් විසින් පරිභෝග කළයුතු සම්පත් තිරිසන්ගත පක්‍ෂීන් විසින් අනුභව නොකළ යුතුය.