2. ව්යග්ඝ ජාතකය (272)
යෙන මිත්තේන සංසග්ගා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි කෝකාලික තෙරුන් අරබයා වදාළ සේක. කෝකාලික කථාවත්ථුව දහතුන්වන නිපාතයෙහි තක්කාරිය ික කථාවත්ථුව දහතුන්වන නිපාතයෙවජාතකයෙහි මතු සදහන් වන්නේය. කෝකාලික තෙරුන් වහන්සේ වනාහි, සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා දෙනම කැඳවාගෙන එන්නෙමියි කෝකාලික රටේ සිට ජේතවනාරාමයට වැඩමකර ශාස්තෲන් වහන්සේ වැඳ තෙරුන් වහන්සේලා දෙනම වෙත එළඔ ඇවැත්නි! කෝකාලික රටවැසි මිනිස්සු ඔබ වහන්සේලා දෙනම කැඳවන්නාහුය. වඩිනු මැනවි වඩිමුයි කීහ. ඇවැත්නි! ඔබ යන්න අපි නොඑන්නෙමුයි කීහ. තෙරුන් වහන්සේලා විසින් ප්රතික්ෂේප කළ කෝකාලික තමා ම ආපසු ගියේය. ඉක්බිති භික්ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි! කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඇතිවත් නැතිවත් සිටින්නට නොහැකිය. එක්වීමක් නො ඉවසයි. වෙන්වීමක් නොඉවසයි යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දැන් පමණක් නොව පෙරත් කෝකාලික සැරියුත් මුගලන් දෙදෙනා ඇතුවත් නැතුවත් සිටින්නට නොහැකි වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ එක්තරා කැළෑවක රුක් දෙවියෙකු වී උපන් සේක. ඔහුගේ විමානය අසල එක්තරා ලොකු වෘක්ෂයක වෙනත් රුක් දෙවියෙක් වාසය කරයි. ඒ වන රොදෙහි සිංහයෙක් ද ව්යාඝ්රයෙක්ද වාසය කරත්. උන් දෙදෙනාට බියෙන් කිසිවෙක් එහි කුඹුරක් නොකරයි. ගසක් නොකපයි. නැවතී බලන්නට සමතෙක්ද නැත. ඒ සිංහ ව්යාඝ්ර දෙදෙනා නොයෙක් ආකාර සිවුපාවුන් මරා කත්. කා ඉතිරි කොටස් එහිම දමා යත්. ඒ නිසා ඒ වනලැහැබ අසූචි කුණප ගඳ ඇත්තේ වෙයි. ඉක්බිති කළයුතු නොකළ යුතු දේ නොදන්නා අන්ධබාල වූ අනෙක් රුක් දෙවියා එක්දිනක් බෝසතාණන් වහන්සේට යහලුව! මේ සිංහ ව්යාඝ්රයන් නිසා වනරොද අසූචි කුණපගඳින් යුක්තයි. මම මුන් දෙදෙනා පලවා හරිමියි කීවේය. බෝසතාණන් වහන්සේ යහලුව! මේ දෙදෙනා නිසා අපගේ විමාන රැකේ මොවුන් පලා ගියවිට අපේ විමාන විනාශ වෙයි. සිංහ, ව්යාඝ්ර පා සලකුණ නොදකින මිනිස්සු සියලු වනය කපා එක මිදුලක් කොට කුඹුරු කරන්නාහ. ඒ ක්රියාවට කැමති නොවන්නැයි කියා
යෙන මිත්තෙන සංසග්ගා යොගක්ඛෙමො විහිංසති,
පුබ්බෙවජක්ධා භවන්තස්ස රක්ඛෙ අක්ඛීව පණ්ඩිතො
පුබ්බෙවජක්ධා භවන්තස්ස රක්ඛෙ අක්ඛීව පණ්ඩිතො
යෙන මිත්තේන සංසග්ගා යොගක්ඛෙමො පවඩ්ඪති,
කරෙය්යත්තසමං වුත්තිං සබ්බකිච්චෙසු පණ්ඩිතො
කරෙය්යත්තසමං වුත්තිං සබ්බකිච්චෙසු පණ්ඩිතො
යන පළමු ගාථා දෙක කීය.
යම් ආකාර පාපමිත්ර සේවනය හේතුකොට ගෙන සිතේ. කයේ සැනසීම පිරිහේද, නුවණ ඇති පුරුෂ තෙම ඒ පාපමිත්රයා විසින් අභිකාවනය කළයුතු දැය තමාගේ දෙඇස් මෙන් රැක ගත්තේමය.
යම් බඳු කල්යාණ මිත්රයකු සමග එක්වීම නිසා කාය චිත්ත සුවය වැඩේද ඒ කළණ මිතුරාගේ සියලු කටයුත්තෙහි පණ්ඩිත පුරුෂ තෙමේ පැවැත්ම තමා හා සම කරන්නේය.
එහි, යෙන මිත්තේන සංසග්ගා යනු යම් පවිටු මිතුරකු සමග ආශ්රය කිරීම හේතුවෙන්, ආශ්රය කිරීම, නමැති කරුණෙන් යමකු සමග දැකීමෙන් ඇතිවන ඇසුර, ඇසීමෙන් ඇතිවන ඇසුර, කය ඇල්ලීමාදියෙන් ඇතිවන ඇසුර, කතාබහ කිරීමෙන් ඇතිවන ඇසුර පරිභෝග කිරීමෙන් ඇතිවන ඇසුර යන මේ පස් ආකාර ඇසුර කරන ලද බැවින් යන අර්ථයයි. යොගක්ඛෙමො යනු කයේ හා සිතේ සැපයයි. එය වනාහි දුක්ඛ යෝගයෙන් ආරක්ෂා වන බැවින් මෙහි යොගක්ඛෙම යයි අදහස් කරන ලදි. විහිංසති යනු පිරිහීමට පත් වේ. පුබ්බේවජක්ධා භවන්තස්ස රක්ඛෙ අක්ඛීව පණ්ඩිතො යනු ඒ පාපමිත්රයා විසින් කරන මැඩපැවැත්වීම තමා විසින් වැළැක්විය යුතුය. පාප මිතුරා තමාගේ ලාභ, කීර්ති, ජීවිත යන මේවා මැඩ පවත්වන්නට පෙර කල් ඇතිවම තමාගේ ඇස මෙන් පණ්ඩිත පුරුෂයා රකින්නේය.
දෙවන ගාථාවෙහි යෙන යනු යම් කලණ මිතුරෙකු සමග එක්වීමේ කාරණයෙන්, යොගංක්ඛමො පවඩ්ඪති යනු කයේ සිතේ සැපය වැඩෙයි. කරෙය්යන්ත සමං වුත්තිං යනු ඒ කල්යාණ මිත්රයාගේ, සබ්බකිචේචසු පණ්ඩිතො යනු පුරුෂයා යම් සේ තමන්ගේ දිවි පැවැත්මද ගෙවල්, ඉඩම් ආදී උපභෝග පරිහරණයද ඇඳුම්, ආහාර ආදී පරිභෝග පරිහරණයද කරයි. මෙසේ මේ සියල්ල කරන්නේය. වැඩිපුරත් කරන්නේය. පහත් දෙයක් නම් නොකරන්නේය.