1. උදපානදූසක ජාතකය (271)
ආරඤ්ඤකස්ස ඉසිනො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ඉසිපතනාරාමයේ වැඩවාසය කරන සේක් ළිඳ අපිරිසිදු කරන එක් හිවලෙකු අරබයා වදාළ සේක. එක්තරා හිවලෙක් වනාහි භික්‍ෂූ සංඝයා පැන් වළදන ළිඳ මල, මුත්‍රා කිරීමෙන් අපවිත්‍ර කොට ගියේය. ඉක්බිති ඌට එක් දිනක් ළිඳ ළගට පැමිණි සාමණේර හිමිවරු ගල්කැටවලින් පහර දී ඌ පීඩාවට පත්කළහ. ඒ නරියා එතැන් පටන් ඒ ස්ථානය ආපසු හැරීවත් නොබැලුවේය. භික්‍ෂූහු ඒ කරුණ දැන දම්සභාවෙහිදී කථාව ඉපදවූහ. ඇවැත්නි! ළිඳ ළඟ අපවිත්‍ර කළ හිවලා සාමණේරයන් වහන්සේලා විසින් පීඩාවට පත්කළ දවසේ පටන් නැවත ආපසු හැරි බැලුවේවත් නැතැයි කථාව මතුකළහ. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි! කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොව පෙරත් මේ හිවලා ළිඳ අපිරිසිදු කරන්නෙකු වූයේයයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.
යටගිය දවස බරණැස් නුවර මේ ඉසිපතනයත් මේ ළිඳත් විය. එකල බෝසතාණන් වහන්සේ බරණැස් නුවර කුලගෙයක ඉපදී තාපස පැවිද්දෙන් පැවිදිව තාපස පිරිස පිරිවරාගෙන ඉසිපතනයේ වාසය කළ සේක. එකල මේ හිවලාම මේ ළිඳම අපිරිසිදුකොට යයි. ඉක්බිති එක්දිනක් තාපසවරු ඒ හිවලා වටකොට එක් උපායකින් අල්ලාගෙන බෝසතාණන් වහන්සේ ළඟට ගෙන ගියාහුය. බෝසතාණන් වහන්සේ හිවලා සමග කථා කරමින්
ආරඤ්ඤතස්ස ඉසිනො චිරරත්ත තපස්සිනො,
කිච්ඡා කතං උදපානං කථං සම්ම අවාහයි
යන පළමු ගාථාව කීහ.
හිවල් යහලුව! වනවාසී වූ බොහෝ කල් තපස් රකින්නා වූ සෘෂීන් විසින් දුකසේ තනන ලද ළිඳ කුමක් නිසා මළ මුත්‍රයෙන් දූෂණය කළෙහිද?
එහි අර්ථය, වනයෙහි වසන බැවින්, ආරඤ්ඤකස්ස සොයා ගත් ගුණ ඇති බැවින්, ඉසිනො බොහෝ කාලයක් තපස් රැකීම නිසා කියන ලද චිරරත්ත තපස්සිනො කිච්ඡා කතං මහන්සියෙන් දුකෙන් තනන ලද, උද්‍යාකං ළිඳ, තථං කුමක් නිසා සම්ම හිවල් යහලුව නුඹ, අවාහයි මළ මුත්‍රා වලින් දූෂණය කළෙහිද? ඒ මළ මුත්‍රා මෙතැන කෙලෙසීය. හෙලීය යනුයි.
ඒ අසා හිවලා,
එස ධම්මො සිගාලානං යමපීත්‍වා ඔහදාමසෙ,
පිතුපිතාමහං ධම්මො න නං උපක්‍ධාතුමරහසී
යන දෙවන ගාථාව කීය.
යම්තැනෙක දිය බී එහි එළ මුත්‍රා කරනවා නම් ඒ හිවලුන්ගේ ගතියයි. පියාගේ සීයාගේද ගතියයි. එයට දොස් නගන්නට ඔබ සුදුසු නොවෙහි.
එහි, එස ධම්මෙ යනු එය ස්වභාවයයි. යමපීත්‍වා ඔහදාමසෙ යනු යහලුව අපි යම්තැනක පැන් බොමුද එතැන මළපහ කරමු. මුත්‍රා පහකරමු. එය හිවලුන් වන අපගේ ධර්මතාවයි දක්වයි. පිතුපිතා මහං යනු අපගේ පියවරුන්ගේද සීයලාගේද එය ස්වභාවයයි. නං නං උජක්‍ධාතුමරහසි යනු එය මෙයට අපට පරපුරෙන් ආවාවූ ධර්මතාවයකි. ස්වභාවයකි. නුඹ දොස් කීමට නුසුදුසු වෙහි, මෙහිලා කිපෙන්නට යුක්තියක් නැත.
ඉක්බිති බෝසතාණන් වහන්සේ හිවලාට,
යෙසං වො එදිසො ධම්මො අධම්මො පනු කීදිසො,
මා වො ධම්මං අධම්මං වා අද්දසාව කුදාවනං
යන තුන්වන ගාථාව කීහ.
ඒ තොපගේ දහම මෙබඳු වීනම්, අදහම කෙබඳු වේද? තොපගේ දහමක් හෝ අදහමක් හෝ කිසිකලෙක අපි නොදුටුවෙමු.
එහි, මා වො යනු තොපගේ ධර්මය හෝ අධර්මය හෝ අපි කිසිදිනක නොදුටුවෙමු.
මෙසේ මහා සත්ත්වයන් වහන්සේ හිවලාට අවවාද දී නැවත නොඑන්නැයි කීහ. හිවලා එතැන් පටන් නැවතී හෝ නොබැලුවේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතකය නිමවා වදාළ සේක. එකල ළිඳ අපවිත්‍ර කළ හිවලා හෙවත් උද්‍යාන දූෂකයා මේ හිවලාම විය. පිරිස් අනුශාසකයා වනාහි මම ම වූයෙමි යි වදාළ සේක.
2. ව්‍යග්ඝ ජාතකය (272)
යෙන මිත්තේන සංසග්ගා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සමයෙහි කෝකාලික තෙරුන් අරබයා වදාළ සේක. කෝකාලික කථාවත්‍ථුව දහතුන්වන නිපාතයෙහි තක්කාරිය ික කථාවත්‍ථුව දහතුන්වන නිපාතයෙව‍ජාතකයෙහි මතු සදහන් වන්නේය. කෝකාලික තෙරුන් වහන්සේ වනාහි, සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා දෙනම කැඳවාගෙන එන්නෙමියි කෝකාලික රටේ සිට ජේතවනාරාමයට වැඩමකර ශාස්තෲන් වහන්සේ වැඳ තෙරුන් වහන්සේලා දෙනම වෙත එළඔ ඇවැත්නි! කෝකාලික රටවැසි මිනිස්සු ඔබ වහන්සේලා දෙනම කැඳවන්නාහුය. වඩිනු මැනවි වඩිමුයි කීහ. ඇවැත්නි! ඔබ යන්න අපි නොඑන්නෙමුයි කීහ. තෙරුන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප කළ කෝකාලික තමා ම ආපසු ගියේය. ඉක්බිති භික්‍ෂූන් වහන්සේලා දම්සභාවෙහිදී ඇවැත්නි! කෝකාලික භික්‍ෂුව සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඇතිවත් නැතිවත් සිටින්නට නොහැකිය. එක්වීමක් නො ඉවසයි. වෙන්වීමක් නොඉවසයි යනුවෙන් කථාවක් මතුකළහ. බුදුරජාණන් වහන්සේ වැඩමවා මහණෙනි! මෙහි කවර කථාවකින් යුතුව සිටියාහුදැයි විචාරා මෙනම් කථාවෙන් යයි කී කල්හි, මහණෙනි! දැන් පමණක් නොව පෙරත් කෝකාලික සැරියුත් මුගලන් දෙදෙනා ඇතුවත් නැතුවත් සිටින්නට නොහැකි වූයේ යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.