7. කක්කටක ජාතකය (267)
සිංගීමිගො යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා ස්ත්‍රියක මුල් කරගෙන වදාළ සේක. සැවැත්නුවර එක් කෙළඹි පුත්‍රයෙක් බිරිඳ සමග ණය ගෙවීම් පිණිස ජනපදයට ගොස් ණය ගෙවීම් කොට එන අතරමගදී සොරුන් විසින් අල්ලා ගන්නා ලද්දේය. මොහුගේ බිරිඳ වනාහි රූ ඇත්තීය. ප්‍රසන්නය. සොරදෙටුවා ඇය කෙරෙහි ඇල්මෙන් කෙළඹි පුත්‍රයාව මරන්නට සූදානම් විය. ඒ ස්ත්‍රිය සිල්වත්ය. හොඳ ගතිපැවතුම් ඇත්තීය. පතිවත රකින්නීය. ඈ සොර දෙටුවාගේ පාමුල වැටී ස්වාමීනි! ඉදින් මා කෙරෙහි ස්නේහයෙන් මාගේ සැමියා මරන්නෙහිනම් මමද වස කා හෝ හුස්ම හිරකරගෙන හෝ මැරෙන්නෙමි. නුඹ සමග නම් නොයන්නෙමි. නිකරුනේ මාගේ සැමියා නොමරවයි යාඥා කොට ඔහුව නිදහස් කරවා ගත්තාය. ඒ දෙදෙනාම සැප සේ සැවැත් නුවරට පැමිණ දෙව්රම් වෙහෙරට පිටතින් යමින් විහාරයට පිවිස ශාස්තෲන් වහන්සේට වැඳ යන්නෙමුයි කතාකොට ගඳකිළි මළුවට ගොස් වැඳ එකත්පසෙක හිඳ ගත්තාහුය. බුදුරජාණන් වහන්සේ විසින් කොහි ගියාහුදැයි විචාරණ ලද ඔවුහු ණය ගෙවීම් පිණිස යයි කීවාහුය. අතරමගදී සැපසේ ආවහුදැයි වදාළ කල්හි. ස්වාමීනි! අතරමගදී මා මරන්න සූදානම් වූ සොර නායකයාට යාඥාකොට මැය මා මුදාගත්තාය. මෑ නිසා මා විසින් දිවි ලබන ලදී යයි කීවේය. බුදුරජාණන් වහන්සේ උපාසකය! දැන් මේ තැනැත්තිය විසින් තොපගේ දිවි රැක දෙන ලදි. පෙරත් නුවණ ඇති අයටද දිවි රැක දුන්නා යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කතාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දි හිමාල වනයෙහි මහදිය විලක් විය. එහි රන්වන් මහා කකුළුවෙක් සිටියේය. ඒ විල කකුළුවාගේ වාසස්ථානය වූ බැවින් කුළිරදහ (කකුළු විල) යයි ප්‍රකට විය. කකුළුවා විශාල එකෙකි. කමතක් පමණ විය. ඇතුන් අල්ලාගෙන මරා කයි. ඇතුන් කකුළුවාට බියෙන් ඒ විලට බැස ආහාර ගන්නට නොහැකි වෙත්. එකල්හි බෝසතාණන් වහන්සේ කකුළු විල ඇසුරුකොට වාසය කරන්නා වූ රැලේ නායක ඇතාට දාව ඇතින්නකගේ කුසෙහි පිළිසිඳ ගත්හ. ඉක්බිති ඔහුගේ මව ගැබ ආරක්ෂා කර ගන්නෙමියි වෙනත් පර්වත ප්‍රදේශයකට ගොස් ගැබ රැක වැටවකු බිහි කළාය. ඒ ඇත් පැටවා පිළිවෙළින් ඇති දැඩි වී ලොකු සිරුරක් ඇතිව ශක්ති සම්පන්නව සෝභාවෙන් අගතැන්පත්ව අඳුන්පැහැ ඇති ගල් පර්වතයක් මෙන් විය. ඒ ඇතා එක් ඇතින්නක සමග සංවාසයේ යෙදී කකුළුවා ගන්නෙමියි තමන්ගේ බිරිඳද මවද රැගෙන ඒ ඇත් රැළ වෙත එළඹ පියා දැක, පියාණෙනි! නම කකුළුවා අල්ලා ගන්නෙමියි කීවේය. ඉක්බිති ඔහුගේ පියා දරුව! ඔබ එයට අසමත් වන්නෙහි යයි වළක්වා නැවත නැවතත් කියන නිසා එසේ නම් නුඹම දැන ගන්නෙහි යයි කීවේය.
හෙතෙම කකුළු විල ඇසුරු කොට වසන සියලු ඇතුන් රැස් කරවා සියල්ලන් සමග විල සමීපයට ගොස් ඒ කකුළුවා විලට බසිනවිට ඇතුන් අල්ලන්නේ ද නැතිනම් ගොඩට එන කාලයේදී දැයි විචාරා ගොඩට එන කාලයේදී යයි අසා, එසේනම් තෙපි කකුළු විලට බැස ඇති තාක් ගොදුරු ගෙන පළමුව ගොඩට එව්. මම පසුව ගොඩ එන්නෙමියි කීවේය. ඇත්තු එසේ කළාහුය. කකුළුවා පසුව ගොඩට එන බෝසතාණන් වහන්සේ, කම්මල්කරුවා අඬුවකින් යකඩ කූරක් අල්ලන්නාක් මෙන් අඬු දෙකින් පා දැඩිව අල්ලා ගත්තේය. ඇතින්න බෝසතාණන් වහන්සේ අතහැර නොගොසින් සමීපයෙහිම සිටියාය. බෝසතාණන් වහන්සේ කකුළුවා අදිමින් ඌ සොලවන්නට අසමත් වූහ. කකුළුවා වනාහි ඇතා අදිමින් තමන් ළඟට කරයි. ඇතා මර බියෙන් තැති ගෙන උගුලකට අසු වූ සතෙකු සේ නාද කළහ. සියලු ඇත්තු මර බියෙන් කුඤ්චනාද කොට මළ මුත්‍රා හළමින් පලාගියහ. ඔහුගේ ඇතින්නද නවතින්නට නොහැකි වන්නී පලා යන්නට සූදානම් වූවාය.
ඉක්බිති හෙතෙම තමන් බැඳුණු බව ඇයට දන්වා පලා නොයන ලෙස,
සිංගීමිගො ආයත චක්ඛුනෙත්තො, අට්ඨිත්තචො වාරිසයො අලොමො,
තෙනාභි භූතො කපණං රුදාමි, මාහෙව මං පාණසමං ජහෙය්ය
තෙනාභි භූතො කපණං රුදාමි, මාහෙව මං පාණසමං ජහෙය්ය
යන පළමු ගාථාව කීවේය.
දිග ඇස් ඇති කටුවම හම වශයෙන් ඇති දියෙහි වෙසෙන ලෝම රහිත වූ ‘සිංගීමිග’ නම් කකුළුවෙකු ඌ විසින් පීඩාවට පත් කරන ලද්දෙන් අසරණව හඬමි. පණ හා සම වූ මා හැර නොයන්න.
එහි, සිංගි මිගො යනු අං ඇති රන්වන් සතා. අංවලින් කරන ක්‍රියාව අඬු දෙකින් සිදුකර ගැනීමේ යුක්ති සහගත භාවයෙන් සිංගී යන අර්ථයෙන් ‘මිග’ යන වචනය සියලු සතුන් ඇතුළත් වන වචනයක් නිසා මෙහි කකුළුවා යයි කියන ලදි. ආයත චක්ඛු නෙත්තො යනු දැකීම් අර්ථයෙන් ‘චක්ඛු’ නම් වේ. (සත්ත්වයන් එහි මෙහි) ගෙන යන අර්ථයෙන් ‘නෙත්ත’ නම් වේ. දික් වූ චක්ඛු සංඛ්‍යාත වූ නේත්‍රයෝ ඔහුට ඇතැයි යන අරුතින් ‘ආයත චක්ඛු නෙත්තෙ’ නමි. දික් වූ ඇස් ඇත්තේය යන අර්ථයයි. මොහුගේ කටුවම හමෙන් කරන කටයුත්ත සිදුකරයි යන අර්ථයෙන් ‘අට්ඨිත්තචො’ නම් වේ. තෙනාභිභූතො යනු ඒ කකුළුවා විසින් මඩනා ලද්දේ යටපත් කරගන්නා ලද්දේ නිසලව ගන්නා ලද්දෙක් වී. කපණං රුදාමි යනු කරුණාවට පත්වී හඬමි. නාද කරමි. මාහෙව මං යනු මෙබඳු විපතකට පත්වූ තමන්ගේ පණ හා සමාන ප්‍රිය සැමියා වන මා නුඹ අත් නොහරින්න.