6. වාතග්ගසින්ධව ජාතකය (266)
යෙනාසි කිසියා පණ්ඩු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් සැවැත්නුවර කෙළඹි පුත්‍රයකු අරභයා වදාළ සේක. සැවැත්නුවර වනාහි මනා රූ ඇති ස්ත්‍රියක් එවැනිම රූමත් කෙළඹි පුත්‍රයකු දැක බැඳුනු සිත් ඇති වූවාය. මේ නිසා මුළු සිරුරම දවන්නාක් මෙන් ඇගේ අභ්‍යන්තරයෙහි කෙළෙස් ගින්නක් උපන්නේය. ඈ කයේ ආස්වාදයක් හෝ සිතේ ආස්වාදයක් හෝ නොලැබුවේය. ඇයට කෑම රුචි නොවීය. හුදෙක් ඇඳෙහි විට්ටම අල්ලාගෙන නිදයි. ඉක්බිති උපස්ථායිකාවෝද මිතුරියෝද කුමක් නිසා නුඹ සැලෙන සිතින් යුතුව ඇඳ විට්ටම අල්ලාගෙන නිදන්නෙහිද? ඔබේ අපහසුතාව කුමක්දැයි ඇගෙන් විචාළහ. ඈ වරක් දෙකක් කථා නැතුව සිට නැවත නැවත අසන නිසා ඒ කාරණාව සැලකළාය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඇය සනසා නුඹ ඒ ගැන නොසිතන්න. අපි ඔහුව ගෙන එන්නෙමුයි කියා ගොස් කෙළඹියා සමග සාකච්ඡා කළාහුය. ඔහු ප්‍රතික්ෂේප කොට නැවත නැවතත් කියනු ලබද්දී පිළිගත්තේය. ඒ ස්ත්‍රීහු අසවල් දවසේ අසවල් වේලාවට එන්නැයි ප්‍රතිඥා ගෙන වුත් ඈට කීවාහුය. ඈ තමන්ගේ යහන්ගැබ සකස්කර තමනුත් සැරසී ඈ මත සිටින්නී ඔහු අවුත් ඇඳේ කොණක සිටිවිට, ඉදින් මොහුට අගය නොපෙන්වා දැන්ම ඉඩ දෙන්නෙම් නම් මගේ සම්පත් පිරිහෙන්නේය. ආ දවසේදීම ඉඩදීම නම් නොකටයුතුයයි අද ඔහු ලජ්ජාවට පත්කොට වෙනත් දවසක ඉඩ ලබා දෙන්නෙමියි සිතුවාය. ඉක්බිති ඈ ඔහුගේ අතින් ගැනීම් ආදී වශයෙන් විනෝදවීමට පටන්ගෙන අත් අල්ලාගෙන, ඉවත්ව යන්න, මට නුඹෙන් ප්‍රයෝජනයක් නැතැයි අත ගසා දැමුවාය. හෙතෙම පසුබැස ලැජ්ජාවෙන් නැගිට තමන්ගේ ගෙදරටම ගියේය.
අනික් ස්ත්‍රීහු ඇය විසින් එසේ කළ බැව් දැන කෙළඹියා නික්මෙන කල්හි ඇය වෙත එළඹ නුඹ මොහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ආහාර ප්‍රතික්ෂේප කොට වැතිර සිටියාය. ඉක්බිති අපි ඔහුට නැවත නැවතත් යාඥාකොට කැඳවාගෙන ආවෙමු. කුමක් නිසා ඹහුට ඉඩ නුදුන්නේදැයි මෙසේ කීහ. ඈ ඊට හේතු කීවාය. සෙසු ස්ත්‍රීහු එසේනම් ඔහු නොසලකා හැරීමේ විපාක පෙනේවියයි කියා ඉවත්ව ගියාහුය. කෙළඹියා නැවත හැරී බැලුවේවත් නැත. ඈ නොලබන්නී ආහාර නොගෙන එහිම මරණයට පැමිණියාය. කෙළඹියා ඇය මළ බව දැන බොහෝ මල් ගඳ සුවද විලවුන් ගෙන ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට පූජාකොට වැඳ එකත්පසෙක හිඳ බුදුරජාණන් වහන්සේ විසින් මේ දිනවල පෙනෙන්නට නොසිටියේ කුමක් නිසාදැයි විමසූ කල්හි ඒ කරුණ පහදා ස්වාමීනි, ඒ මම මෙතෙක් දවසක් ලජ්ජාවෙන් බුද්ධ උපස්ථානයට නාවෙමියි කීවේය. බුදුරජාණන් වහන්සේ උපාසකය, දැන් ඈ කෙලෙස් හැඟීමෙන් නුඹ කැඳවාගෙන ආකල්හි නුඹට ඉඩ නොදී ලජ්ජාවට පත් කළාය. පෙර වනාහි නුවණැත්තන් කෙරෙහි පවා පිළිබඳ සිත් ඇතිව කැඳවාගෙන ආ කල්හි ඉඩක් නොදී වෙහෙසා යැව්වා යයි වදාරා ඔහු විසින් අයදින ලද්දාහු අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප බෝසතාණන් වහන්සේ සෛන්ධව නම් අශ්ව කුලයෙහි ඉපදී වාතග්ග සින්ධව යන නම් ඇතිව ඔහුගේ මගුල් අශ්වයා විය. අස්ගොව්වෝ ඌ ගෙන ගොස් ගඟෙහි නාවද්දී කුන්දලී නම් කොටළු දෙනක් අෟ පිළිබඳ සිත් ඇතිව කෙළෙස් අදහසින් සැළෙමින් තණ කෑවේ නැත. දිය බීවේ නැත. මැළවී කෙට්ටු වී ඇටත් සමත් ඉතිරිවන තරමට පත්වූවාය. ඉක්බිති කොටළු දෙනගේ පුත් වූ කොටළු පෝතකයා එසේ මව මළානිකව සිටිනු දැක මෑණියනි, නුඹ කුමක් නිසා තණ නොකා, දිය නොබී මළානික වී ඒ ඒ තැන කම්පා වෙමින් වැතිර සිටින්නෙහිද? ඔබට ඇති අපහසුතාවය කුමක්දැයි විචාළේය. ඈ කථා නැතිව සිට නැවත නැවතත් අසනවිට ඒ කරුණ කීවාය. ඉක්බිති පුත්‍රයා ඇය සනසා මෑණියනි! නොසිතුව මැනවි. මම ඔහු රැගෙන එන්නෙමියි කියා වාතග්ග අශ්වයා නෑමට ගිය කල්හි අසුවෙත එළඹ පියාණනි, මගේ මව නුඹ කෙරෙහි පිළිබද සිත් ඇතිව ආහාර නොගෙන මැළවී මැරෙන්නීය. ඇයගේ දිවි බේරා දෙන්නයි කීවේය. හොඳයි දරුව, දෙන්නෙමි. අස් ගොව්වෝ මාව නහවා ටික වේලාවක් ගංතෙර ඇවිදීමට මුදා හරිති. නුඹ මව රැගෙන ඒ ප්‍රදේශයට එන්නැයි කීවේය.