5. ඛුරප්ප ජාතකය (265)
දිස්වා ඛුරප්පෙ යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් වීර්ය අත්හල එක් භික්‍ෂූන් වහන්සේ නමක අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂුවගෙන් ඇත්තද මහණ, ඔබ වීර්ය අත්හලෙහිදැයි විචාරා එසේය, ස්වාමීනියි කී කල්හි මහණ, කුමක් නිසා නුඹ නිවනට පමුණුවන සසුනෙහි පැවිදි වී මෙසේ වීර්ය අත්හළෙහිද? පැරණි නුවණ ඇති අය නෛර්යාණික නොවන ස්ථානයෙහිත් වීර්යය කළාහුයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ වන ආරක්ෂක කුලයක ඉපදී වැඩිවියට පත්වූයේ පන්සියයක් පුරුෂයන් පිරිවරණ ලද්දේ වන ආරක්ෂකයන් අතරෙහි සියල්ලන්ට නායකව කැලෑව මායිමෙහි එක් ගමක වාසය කළහ. හෙතෙම කුලිය ගෙන මිනිසුන් කැලයෙන් එතෙර කරයි. ඉක්බිති එක්දිනක් බරණැස් නුවර වාසී ගැල් මගින් වෙළදාම් කරන වෙළෙන්දෙක් පන්සියයක් ගැල් රැගෙන ඒ ගමට පැමිණ ඔහු කැඳවා යහළුව! දහසක් රැගෙන මාව වනයෙන් එතෙර කරවයි කීවේය. හෙතෙම යහපතැයි කියා ඔහුගේ අතින් දහසක් ගත්තේය. කුලිය ගනිමින්ම ඔහු වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයද කළේය. හෙතෙම ඔහු රැගෙන කැලයට පිවිසියේය. කැලය මැදදී සොරු පන්සියයක් නැගී සිටියහ. සොරුන් දුටු ගමන්ම සෙසු මිනිස්සු පපුව යට කරගෙන (මුනින් අතට) වැතිරුණාහ. ආරක්ෂක ප්‍රධානියා තනියම කෑගසමින් කොටස් වශයෙන් සොරු පන්සියය පලවාහැර ගැල් වෙළෙන්දා නිරුපද්‍රිතව (හොඳින්) කාන්තාරයෙන් එතෙර කළේය.
ගැල් වෙළෙන්දා කාන්තාරයෙන් පිටත ආරක්ෂක ප්‍රධානියාට නොයෙක් රස බොජුන් වළඳවා, තමාද උදේ කෑම ගෙන සැපසේ හිඳ ඔහු සමග කථා කරන්නේ යහලුව, එසේ දරුණු සොරුන් ආයුධ ගෙන මැඩගෙන එන කල්හි කුමන කරුණක් නිසා සිතේ තැති ගැන්මක් නොඋපන්නේදැයි විමසමින්
දිස්වා ඛුරප්පෙ ධනුවෙග නූන්නෙ, ඛග්ගෙ ගහීතෙ තිඛිණෙ තෙල ධොතෙ,
තස්මිං භයස්මිං මරණෙ වියුළ්හෙ, කස්මානු තෙ නාහු ඡම්භිතත්තං
යන පළමු ගාථාව කීවේය.
දුන්නෙහි වේගයෙන් යවන ලද මහා ඊතලද. ගලෙහි ගා මුවහත් කළ කඩුද දැක මරණය නිසා පැමිණි එම භයෙහි තොපට කුමක් හෙයින් තැති ගැන්මක් නොවීමද?
එහි, ධනුවෙග නූන්නෙ යනු දුන්නෙහි වේගයෙන් යවන ලද. ඛග්ගෙ ගහිකෙ යනු කඩු මිටෙන් මනාව අල්ලා ගන්නා ලද කඩු ඇති. මරණෙ වියුළ්හෙ මරණය එළැඹි කල්හි කස්මානු තෙ නාහු යනු කුමන කරුණකින් ඡම්භි නොවීද? ඡම්භිනත්තං යනු සිරුරු වෙව්ලීම.
ඒ අසා ආරක්ෂක ප්‍රධානියා අනිත් ගාථා දෙක කීවේය.
දිස්වා බුරප්පෙ ධනුවෙග නූන්නෙ, ඛග්ගෙ ගහීතෙ තිඛිණෙ තෙල ධොතෙ,
තස්මිං භයස්මිං මරණෙ වියුළ්හෙ, වෙදං අලත්‍ථං විපුලං උළාරං
සො වෙදජාතො අජ්ක්‍ධභවිං අමිත්තෙ, පුබ්බෙව මේ ජීවිතමාසි චත්තං,
නහි ජීවිතෙ ආලයං කුබ්බ මානො, සූරො කයිරා සූරකිච්චං කදාවි
යන ඉතිරි ගාථා දෙක කීවේය.
දුන්නෙහි වේගයෙන් යවන ලද ඊතලද, තෙල් ගලෙහි ගා මුවහත් කල කඩුද දැක මරණය සමීපව සිටි ඒ භයෙහි උදාර වූ මහත් සතුටක් ලදිමි.
ප්‍රීති වූ ඒ මම සතුරන් යටපත් කළෙමි. පළමුව මගේ ජීවිතය අත්හළේය. ජීවිතයෙහි ආලය කරන ශූරයා කිසිකලෙක ශූර ක්‍රියා නො කරන්නේ ය.
එහි, වෙදං අලත්‍ථං යනු සතුට හා සොම්නසද ලැබූවෙමි. විපුලං යනු බොහෝ, උළාරං යනු උතුම් වූ, අජ්ක්‍ධභවිං යනු ජීවිතය පරිත්‍යාගකොට මැඩලන ලදිමි. පුබ්බෙව මෙ ජීවිතමාසී චත්තං යනු මා විසින් කල් ඇතිවම නුඔ අතින් කුලිය ගනිද්දීම ජීවිතය පරිත්‍යාග කරන ලදි. නහි ජීවිතෙ ආලයං කුබ්බමානො යනු ජීවිතයෙහි ආසා කරමින් පුරුෂ ක්‍රියාවක් කිසිදිනක නොකරයි.
මෙසේ හෙතෙම ඊතල වැස්සක් වස්සවමින් ජීවිතාශාව අත්හළ බැවින් තමා විසින් දක්ෂ ක්‍රියාවක් කළ බව දන්වා වෙළෙන්දා යවා සිය ගමට ආපසු පැමිණ දානාදි පිංකම්කොට කම් වු පරිද්දෙන් මිය පරලොව ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙනහැර දක්වා චතුරාර්ය සත්‍යය දේශනාකොට ජාතක කථාව ගලපා නිමවා වදාළ සේක. සත්‍ය දේශනා කෙළවර වීර්යය අත්හළ භික්‍ෂුව රහත් ඵලයෙහි පිහිටියේය. එකල ආරක්ෂක ප්‍රධානියා මම ම වූයෙමි යි වදාළ සේක.
6. වාතග්ගසින්‍ධව ජාතකය (266)
යෙනාසි කිසියා පණ්ඩු යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් සැවැත්නුවර කෙළඹි පුත්‍රයකු අරභයා වදාළ සේක. සැවැත්නුවර වනාහි මනා රූ ඇති ස්ත්‍රියක් එවැනිම රූමත් කෙළඹි පුත්‍රයකු දැක බැඳුනු සිත් ඇති වූවාය. මේ නිසා මුළු සිරුරම දවන්නාක් මෙන් ඇගේ අභ්‍යන්තරයෙහි කෙළෙස් ගින්නක් උපන්නේය. ඈ කයේ ආස්වාදයක් හෝ සිතේ ආස්වාදයක් හෝ නොලැබුවේය. ඇයට කෑම රුචි නොවීය. හුදෙක් ඇඳෙහි විට්ටම අල්ලාගෙන නිදයි. ඉක්බිති උපස්ථායිකාවෝද මිතුරියෝද කුමක් නිසා නුඹ සැලෙන සිතින් යුතුව ඇඳ විට්ටම අල්ලාගෙන නිදන්නෙහිද? ඔබේ අපහසුතාව කුමක්දැයි ඇගෙන් විචාළහ. ඈ වරක් දෙකක් කථා නැතුව සිට නැවත නැවත අසන නිසා ඒ කාරණාව සැලකළාය. ඉක්බිති ඒ ස්ත්‍රීහු ඇය සනසා නුඹ ඒ ගැන නොසිතන්න. අපි ඔහුව ගෙන එන්නෙමුයි කියා ගොස් කෙළඹියා සමග සාකච්ඡා කළාහුය. ඔහු ප්‍රතික්‍ෂේප කොට නැවත නැවතත් කියනු ලබද්දී පිළිගත්තේය. ඒ ස්ත්‍රීහු අසවල් දවසේ අසවල් වේලාවට එන්නැයි ප්‍රතිඥා ගෙන වුත් ඈට කීවාහුය. ඈ තමන්ගේ යහන්ගැබ සකස්කර තමනුත් සැරසී ඈ මත සිටින්නී ඔහු අවුත් ඇඳේ කොණක සිටිවිට, ඉදින් මොහුට අගය නොපෙන්වා දැන්ම ඉඩ දෙන්නෙම් නම් මගේ සම්පත් පිරිහෙන්නේය. ආ දවසේදීම ඉඩදීම නම් නොකටයුතුයයි අද ඔහු ලජ්ජාවට පත්කොට වෙනත් දවසක ඉඩ ලබා දෙන්නෙමියි සිතුවාය. ඉක්බිති ඈ ඔහුගේ අතින් ගැනීම් ආදී වශයෙන් විනෝදවීමට පටන්ගෙන අත් අල්ලාගෙන, ඉවත්ව යන්න, මට නුඹෙන් ප්‍රයෝජනයක් නැතැයි අත ගසා දැමුවාය. හෙතෙම පසුබැස ලැජ්ජාවෙන් නැගිට තමන්ගේ ගෙදරටම ගියේය.