4. මහාපණාද ජාතකය (264)
පණාදො නාම සො රාජා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ගංතෙර වැඩසිටියා වූ භද්දජී තෙරුන්ගේ ආනුභාවය අරබයා වදාළ සේක. එක් සමයෙක්හි බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වස් වැස භද්දිය කුමාරයාට සංග්‍රහ කරන්නෙමියි භික්‍ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවෙහි හැසිරෙමින් භද්දියනුවරට වැඩමකොට ජාතියා වනයෙහි කුමාරයාගේ නුවණ මුහුකුරා යාම බලාපොරොත්තු වෙමින් තෙමසක් විසූ සේක. භද්දිය කුමාරයා මහත් සම්පත් ඇති අසූකෝටියක් ධනය ඇති භද්දිය සිටුතුමාගේ එකම පුත්‍රයාය. ඔහුට තුන් සෘතුවට ප්‍රාසාද තුනක් විය. එක එක නිවසක හාර මාසයක් වාසය කරයි. එකක වාසයකොට නාටක ස්ත්‍රීන් පිරිවරණ ලද්දේ මහත් සම්පත් ඇතිව අනෙක් ප්‍රාසාදයට යයි. ඒ අවස්ථාවෙහි කුමාරයාගේ සම්පත් බලන්නෙමුයි මුළු නුවරම කැළඹෙයි. ප්‍රාසාද අතරෙහි චක්‍ර වට චක්‍ර මැසි පිට මැසි බඳිත්.
බුදුරජාණන් වහන්සේ තුන් මසක් වාසයකොට, අපි යමුයි නුවරවාසීන්ට දැන්වූ සේක. නුවර වැසියෝ හෙට වඩිනු මැනවයි බුදුරජාණන් වහන්සේට ආරාධනාකොට, දෙවන දින බුදුන් ප්‍රමුඛ සංඝයාට මහා දානයක් සකස්කොට, නුවර මැද මණ්ඩපයක් තනා සරසා අසුන් පනවා කල් දැන්වූහ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරාගෙන එහි වැඩමවා වැඩහුන් සේක. මිනිසුන් මහ දන් දුන්නාහුය. බුදුරජාණන් වහන්සේ දන් වළදා අවසානයෙහි මිහිරි ස්වරයෙන් අනුමෝදනාව ආරම්භ කළ සේක. ඒ අවස්ථාවෙහි භද්දජී කුමාරයා ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යයි. ඔහුගේ සම්පත් දැකගැනීමට එදින කිසිවෙක් නොපැමිණියේය. තමන්ගේ මිනිස්සු ම පිරිවරා ගත්තාහුය. හෙතෙම මිනිසුන්ගෙන් වෙනදා මා ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යනවිට මුළු නුවරම කැළඹෙයි. චක්‍ර පිට චක්‍ර මැසි පිට මැසි බඳිත්. අද මගේ මිනිසුන් හැර අනික් කිසිවෙක් නැත. කාරණය කුමක්දැයි විමසීය. ස්වාමීනි! සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ නගරය ඇසුරුකොට තුන්මාසයක් වාසයකොට අද වඩින සේත. උන්වහන්සේ දන් වළදා නිමවා මහජනයාට දම්දෙසන සේක. සියලු නගරවාසීන් උන්වහන්සේගේ දහම් කථාව අසතියි කීහ. එසේනම් එව් අපිද බණ අසන්නේමුයි සියලු ආභරණවලින් සැරසී මහත් පිරිවර සමග එළඹ පිරිස් කෙළවර සිට බණ අසමින් සියලු කෙලෙස් නසා අග්‍රඵලය වූ රහත් භාවයට පැමිණියේය.
බුදුරජාණන් වහන්සේ භද්දිය සිටුතුමා අමතා මහ සිටුවරය, ඔබේ පුතා අලංකාරයෙන් සැරසීගෙනම ධර්මකථා අසමින් රහත් ඵලයෙහි පිහිටියේය. ඒ නිසා මොහුට අදම පැවිදිවීම හෝ නැතිනම් පිරිනිවන්පෑම හෝ වටීයයි වදාළ සේක. ස්වාමීනි! මගේ පුතාට පිරිනිවන්පෑමට හේතුවක් නැත. ඔහුව පැවිදිකරනු මැනවි. පැවිදිකර වනාහි උන්වහන්සේ සමග හෙට අපගේ නිවසට වඩිනු මැනවියි කීය. භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව ඉවසා වදාරා කුල පුත්‍රයා සමග විහාරයට වැඩමවා පැවිදි කරවා උපසම්පදාව දුන් සේක. උන්වහන්සේගේ මව්පිය දෙදෙනා සතියක් මහත් සත්කාර කළාහුය. බුදුරජාණන් වහන්සේ සතියක් වැඩවාසය කොට කුලපුත්‍රයා (භික්‍ෂුව) රැගෙන චාරිකාවේ හැසිරෙමින් ‘කෝටි’ නම් ගමට වැඩම කළ සේක. කෝටි ගම්වැසියෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයාට මහ දන් දුන්නාහ. උන්වහන්සේ දන් වළඳා අවසානයේ අනුමෝදනාව ඇරඹූ සේක. කුලපුත්‍රයා (භද්දජී තෙරුන් වහන්සේ) භුක්තානුමෝදනාව පවත්වන වේලාවෙහි ගමෙන් බැහැරට වැඩමවා බුදුරජාණන් වහන්සේ වැඩම කළවිටක නැගී සිටින්නෙමියි සිතා ගංතෙර සමීපයෙහි එක් ගසක් මුල ධ්‍යානයට සමවැද වැඩහුන් සේක. මහලු තෙරුන් වහන්සේලා ආ කල්හිද නොනැගිට බුදුරජාණන් වහන්සේ වැඩමකළ කාලයෙහිම නැගී සිටි සේක. පුහුදුන් භික්‍ෂූහු මොහු පෙරදී මෙන් පැවිදිව මහතෙරුන් වහන්සේලා එන කල්හි දුටුවත් නොනැගිටියි කියා කිපියාහුය.
කෝටි ගම්වාසීහු නැව් අඟුලක් බැන්දාහුය. බුදුරජාණන් වහන්සේ අඟුලෙහි වැඩසිට භද්දජී කොහිදැයි විචාළ සේක. ස්වාමීනි! ඒ භික්‍ෂුව මෙහිම සිටියි කීහ. භද්දජී! එන්න අප සමග එක නැවකට නැගෙවයි වදාළහ. තෙරුන් වහන්සේද ඉහළට නැගී (සෘද්ධියෙන්) එකම නැවෙහි සිටි සේක. ඉක්බිති ගඟ මැදට ගියකල්හි බුදුරජාණන් වහන්සේ භද්දිය! නුඹ විසින් මහාපනාද රජ කල්හි විසූ ප්‍රාසාදය කොහිදැයි භද්දජී තෙරුන්ගෙන් ඇසූහ. ස්වාමීනි! මේ ස්ථානයේ ගිලුනේය. පුහුදුන් භික්‍ෂූහු භද්දජී තෙරුන් වහන්සේ අනිකක් කියතියි කීහ. බුදුරජාණන් වහන්සේ එසේනම් භද්දජී! සබ්‍රහ්මචාරීන්ගේ සැකය සිඳලවයි වදාළ සේක. ඒ අවස්ථාවෙහි තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඳ සෘද්ධි බලයෙන් ගොස් ප්‍රාසාදයෙහි කොත් කැරැල්ල ඇඟිල්ලෙන් අල්ලාගෙන විසිපස් යොදුනක් පමණ වූ ප්‍රාසාදය ගෙන අහසට පැන නැගුණාහ. ඉහළට පැන නැගුනත් ප්‍රාසාදය යට සිටියවුන්ට ප්‍රාසාදය (කොටසක් දිය යට නිසා) බිඳී පෙනුනේය. උන්වහන්සේ එතැන් සිට තවත් එක් යොදුනක් දෙකක් තුනක් වශයෙන් විසි යොදුනක් දක්වා දියෙන් ප්‍රාසාදය එසෙව් සේක. ඉක්බිති උන්වහන්සේගේ පෙර ආත්මයේ ඤාතිවරු ප්‍රාසාදයට ලෝභයෙන් මසුන්, ඉබ්බන්, නයි, මැඩියන් වී ඒ ප්‍රාසාදයෙහිම උන්නාහු ප්‍රාසාදය ඔසවද්දී පෙරළි පෙරළී දියටම වැටුනාහ. බුදුරජාණන් වහන්සේ වැටෙන්නා වූ ඒ ඤාතීන් දැක භද්දිය! තොපගේ ඤාතීන් ව්‍යසනයට පත්තෙියි වදාළහ. තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ වචන අසා ප්‍රාසාදය හළ සේක. ප්‍රාසාදය පළමු තිබූ තැනම පිහිටියේය. බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතෙරට වැඩි සේක. ඉක්බිති උන්වහන්සේට ගංතෙරට අසුනක් පැනවූහ. උන්වහන්සේ පනවන ලද උතුම් බුද්ධාසනයේ තරුණ සූර්යයෙකු මෙන් රැස් විහිදුවමින් වැඩසිටි සේක. ඉක්බිති භික්‍ෂූහු බුදුරජාණන් වහන්සේ අමතා ස්වාමීනි! මේ ප්‍රාසාදය භද්දිය තෙරුන් වහන්සේ විසින් කවර කාලයක වසන ලද්දක්දැයි විචාළහ. බුදුරජාණන් වහන්සේ මහාපනාද රජ කාලයෙහි යයි වදාරා අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක.