3. චුල්ලපලෝභන ජාතකය (263)
අභිජ්ජමානෙ වාරස්මිං යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරනසේක් එක් උකටලී වූ භික්ෂුවක අරබයා දේශනා කළ සේක. දම්සභාවට කැඳවාගෙන එනු ලැබූ ඒ භික්ෂුව ඇමතූ බුදුරජාණන් වහන්සේ ඇත්තද මහණ නුඹ කළකිරුණාදැයි විචාරා ඇත්තයි ස්වාමීනියි කි කල්හි මහණ, මේ ස්ත්‍රීහු නම් පෙර පිරිසිදු සත්ත්වයන්ද කෙලෙසූහයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජතුමා දරුවන් නැතිව තමන්ගේ ස්ත්‍රින්ට පුතෙකු ප්‍රාර්ථනා කරන ලෙස කීවේය. ඒ ස්ත්‍රීහු පුතුන් පතත්, මෙසේ දිගුකාලයක් ගියකල්හි බෝසතාණන් වහන්සේ බඹලොවින් චුතවී අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳගත් සේක. ඒ කුමරුවා උපන් හැටියේම නාවා කිරි පෙවීම පිණිස කිරිමවට දුන්නාහුය. හෙතෙම කිරි බොමින් හඬයි. ඉක්බිති කුමරු අන් ස්ත්‍රියකට දුන්නේය. ස්ත්‍රියකගේ අතට ගිය කුමරා නිහඬ නොවීය. ඉක්බිති කුමරු සේවකයෙකුට දුන්හ. ඔහු ගත් පමණින් නිහඬ විය. එතැන් පටන් පුරුෂයෝම ඔහුව ගෙන හැසිරෙත්. කිරි පොවන විට දොවා පොවත්. තිරයක් අතරින් තන පුඩුව කටෙහි තබත්. වැඩෙන්නා වූ ඔහුට පසුකලෙකත් ස්ත්‍රීන් දැකීමට නම් නොහැකිය. ඒ නිසා රජතුමා ඔහුට වෙන් වෙන්ව හිඳිනා තැන් ආදියද ධ්‍යාන වැඩීමට සුදුසු ගෙයක්ද කරවීය.
රජතුමා කුමරු සොළොස් වස් කාලයේදී මට වෙනත් පුතෙක් නැත. මේ තෙමේ කම් සුව නොවළඳයි. රාජ්‍යයද කැමති නොවන්නේය. මගේ පුතා ඉතා අපහසුවෙන් ලබා ගත් කෙනෙකි යනුවෙන් සිතුවේය. ඉක්බිති නැටුම්, ගැයුම්, වැයුම්වල දක්ෂ පුරුෂයින්ට සේවයකොට තමන් වසඟයට පොළඹවා ගැනීමට හැකියාව ඇති එක් තරුණ නිළියක් රජු වෙත එළඹ, දේවයන් වහන්ස! කුමක් සිතන්නාහුදැයි ඇසුවාය. රජතුමා ඒ කාරණාව කීවේය. දේවයන් වහන්ස! එසේ වේවා! මම ඔහුව පොළඹවා කම් රසය දන්වන්නෙමියි කීවාය. ඉදින් මගේ පුත් අනිත්ථිගන්ධ කුමාරයාව පොළඹවා ගන්නට හැකිවන්නෙහි නම් ඔහු රජ වන්නේය. නුඹ අගමෙහෙසිය වන්නේ යැයි කීවේය. ඈ, දේවයන් වහන්ස! එය මට බාරයි. නුඹවහන්සේ ඒ ගැන නොසිතනු මැනවයි කියා ආරක්ෂක මිනිසුන් කරා එළඹ මම අළුයම් කාලයෙහි අවුත් රාජපුත්‍රයා නිදන ධ්යානාගාරයෙන් පිටත සිට ගායනා කරන්නෙමි. ඉදින් කිපෙයි නම් මට කියව. මම බැහැර වන්නෙමි. ඉදින් අසා සිටියි නම් මා ගැන වර්ණනා කරවයි කීවාය. ඔවුහු යහපතැයි පිළිගත්තාහුය.
ඈ ද අලුයම් කාලයෙහි ඒ ප්‍රදේශයෙහි සිට වීණා හඬින් ගි හඬද ගී හඬින් වීණා හඬද නොඉක්මවා මිහිරි ස්වරයෙන් ගායනා කළාය. කුමරා එය අසමින්ම නිදා ගත්තේය. දෙවන දවසේද ආසන්නයේ සිට ගායනා කරන්නට අණ කළේය. ඊළඟ දවසේ ධ්යානාගාරයෙහි සිට ගයන්නට අණ කළේය. පසුදින තමන් ළග සිට ගයන්නට දැයි මෙසේ ක්‍රම ක්‍රමයෙන් තෘෂ්ණාව උපදවා මෛථුන සේවනයෙහි යෙදී පංචකාමයෙහි රසය දැන ස්ත්‍රියක නම් අන් අයට නොදෙන්නෙමියි කඩුව ගෙන ඇතුල් වීථියට බැස පුරුෂයින් ලුහුබඳිමින් හැසිරේ. ඉක්බිති රජතුමා කුමාරයා අල්ලවාගෙන, ඒ කුමාරිකාව සමග නගරයෙන් නෙරපා හැරියේය. දෙදෙනාම කැලයට පිවිස, ගඟ පහළට ගොස් එක් පැත්තකින් ගඟත්, එක් පැත්තකින් මුහුදත් සිටින ලෙස ඒ දෙක අතරෙහි අසපුවක් තනාගෙන වාසය කළාහුය. කුමාරිකාව අසපුවේ හිඳ අල, මුල් ආදිය උයයි. බෝසතාණන් වහන්සේ වනයෙන් පලාඵල ගෙනඑයි.