2. මුදුපාණි ජාතකය (262)
පාණී චෙ මුදුකොචස්සා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා කලකිරුණු භික්ෂුවක් අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ, දම්සභාවට කැඳවන ලද ඒ භික්ෂුවගෙන් ඇත්තද මහණ! ඔබ කළකිරුණේදැයි විචාරා ස්වාමීනි! ඇත්තයි කී කල්හි මහණ! ස්ත්‍රීහු වනාහි කෙළෙස් වසඟයට යාමෙන් ආරක්ෂා කළ නොහැකිය. පෙර පඬිවරු පවා තමන්ගේ දුව රැකීමට නොහැකි වූහ. පියා විසින් අතින් අල්ලාගෙන සිටියදීත් දුව පියාට නොදන්වාම කෙලෙස් වසඟව පුරුෂයෙකු සමග පලා ගියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී අප මහ බෝසතාණන් වහන්සේ ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳගෙන බිහිව වැඩිවියට පත්ව තක්සලා නුවරින් ශිල්ප ඉගෙන ගෙන අවුත් පියාගේ ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා දැහැමින් රජය කරවූහ. හෙතෙම දුවද බෑණාද දෙදෙනාම ඇතුළු ගෙයි පෝෂණය කරමින් එක් දවසක් ඇමතියන් සමග හුන්නේ මගේ ඇවෑමෙන් මගේ බෑණා රජ වන්නේය. මගේ දුව ඔහුගේම අග මෙහෙසිය වන්නේ යයි කියා පසුකලෙක ඔවුන් වැඩි වයසට පත් කාලයේ නැවත ඇමතියන් සමග සිටින්නේ මගේ බෑණාට අනිකෙකුගේ දුවක ගෙනෙන්නෙමි. මගේ දුවද අන් රජ කුලයකට දෙන්නෙමි. මෙසේ අපට නෑයෝ බොහෝ වන්නාහුයයි කීහ. ඇමතිවරු එය පිළිගත්තාහුය.
ඉක්බිති රජතුමා බෑණාට පිටතින් ගෙයක් දෙවීය. ඇතුළට පිවිසීම වැළැක්වීය. ඔවුහු වනාහි ඔවුනොවුන් පිළිබඳ සිත් ඇත්තෝ වූහ. කුමාරයා කිසියම් උපායකින් රජදුව පිටතට පමුණුවා ගන්නෙමියි සිතමින් උපායක් ඇතැයි කිරිමවට අල්ලසක් දී, ආර්ය පුත්‍රය! කුමක් කළ යුතුදැයි කී කල්හි මෑණියනි! රජදුව පිටකර ගැනීමට අවකාශයක් කෙසේ ලබන්නෙමුදැයි කීය. රජදුව සමග කතාකොට දැනගන්නෙමියි කීවාය. හොඳයි මෑණියනියි කීය. ඈ ගොස් එව දරුව! ඔබේ ඔළුවේ උකුණන් ගන්නෙමියි කියා ඇය කුඩා පුටුවක වාඩිකරවා තමා උස් පුටුවක හිඳගෙන ඇගේ හිස තමන්ගේ කලවෙහි තබාගෙන උකුණන් ගනිමින් හිසට නියපොත්තෙන් ඇන්නාය. රජ දුව මැය තමන්ගේ නියෙන් නොඅනියි. නැන්දාගේ පුතා වන මගේ කුමාරයාගේ නියෙන් අනිතියි දැනගෙන මෑණියනි! නුඹ කුමාරයා සමීපයට ගියාදැයි විචාළාය. දරුව එසේ යයි කීවාය. ඔහු විසින් කුමන පණිවිඩයක් කියන ලදද? දරුව, නුඔ බැහැර කරගැනීමට උපායක් විමසයි යනුවෙන් කීවාය. රජදුව නුවණ ඇති තැනැත්තා දැනගන්නේ යයි සිතා පළමු ගාථාව කියා මෑණියනි! මෙය ඉගෙනගෙන කුමාරයාට කියන්නයි කීවාය.
පාණී චෙ මුදුකො චස්ස නාගො චස්ස සුකාරිතො,
අන්ධ කාරො ච වස්සෙය්ය අථ නූන තදා සියාති
අන්ධ කාරො ච වස්සෙය්ය අථ නූන තදා සියාති
“ඉතින් අත්තල මොළොක් වී නම්, ඇතා මනාව හික්මවා ඇතිනම්, රැය අඳුරු වී නම්, වැසිද වස්නේ වී නම් අපගේ අදහස ඒකාන්තයෙන් සඵල වන්නේය.”
ඇය එය ඉගෙනගෙන කුමාරයා සමීපයට ගොස් මෑණියනි, රජදුව කුමක් කීවාදැයි ඇසූ කල්හි ආර්ය පුත්‍රයනි! අන් කිසිවක් නොකියා මේ ගාථාව එවන ලදැයි කියා ඒ ගාථාව කීවාය. කුමාරයා එහි තේරුම දැන මෑණියනි! යවයි ඇය පිටත්කර හැරියේය.
ගාථාවෙහි අර්ථය: එදින් ඔබේ එක් සුළු උපස්ථායකයකුගේ අත මගේ අත මෙන් මුදු අස්ස මොළොක් වන්නේද, ඉදින් ඔබට නොසෙල්වී සිටිය හැකි අයුරින් පුහුණු කළ හෙයින්, සුකාරිතො සුකාරිත නම් වූ එක් ඇතෙක් සිටීද, ඉදින් අංග සතරකින් යුක්ත වූ අතිශයින් බහුල වු, අන්ධකාරො අන්ධකාරයක් පවතින යම් දිනයක් වේද එදින වැස්සද, වස්සෙය්ය වසින්නේ නම්, අථ නූන තදා සියා එබඳු කලක මේ කරුණු සතර පැමිණ ඒකාන්තයෙන් ඔබේ බලාපෛාරොත්තු මුදුන්පත් වන්නේය.