1. පදුම ජාතකය (261)
යථා කෙසා ච මස්සූ ච යන දේශනාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන සේක් ආනන්ද බෝධියට මල්මාලා පූජාකරන භික්‍ෂූන් අරබයා දේශනා කළ සේක. කතා පුවත කාලිංග බෝධි ජාතකයෙහි මතු සඳහන් වන්නේය. එය වනාහි ආනන්ද තෙරුන් වහන්සේ විසින් රෝපණය කරන ලද බැවින් ආනන්ද බෝධි යයි නම් විය. තෙරුන් වහන්සේ විසින් ජේතවනාරාම දොරකොටුව අසල බෝධිය රෝපණය කළ බව සියලු දඹදිව පැතිරුණේය. ඉක්බිති එක්තරා ජනපදවාසී භික්‍ෂූහු ආනන්ද බෝධියට මල්මාලා පූජා කරන්නෙමුයි දෙව්රමට අවුත් බුදුරජාණන් වහන්සේට වැඳ දෙවන දවසේ සැවැත්නුවරට පිවිස උපුල් මල් ඇති වීදියට ගොස් මල් නොලබා ආපසු ඇවිත් ආනන්ද තෙරුන්ට සැල කළාහුය. ඇවැත්නි! අපි බෝධින් වහන්සේට මල්මාලා පූජා කරන්නෙමුයි උපුල් වීදියට ගොස් එක් මලක්වත් නොලැබුවෙමු. තෙරුන් වහන්සේ ඇවැත්නි! මම ඔබලාට මල් ගෙන එන්නෙමියි කියා උපුල් විකුණන වීදියට ගොස් බොහෝ නිලුපුල් මිටි ඔසවාගෙන අවුත් ඔවුන්ට දෙවූහ. උන්වහන්සේලා ඒවා රැගෙන බෝධපූජා කළාහුය. ඒ ප්‍රවෘත්තිය දැන දම්සභාවෙහි භික්‍ෂූහු ඇවැත්නි! ජනපදවාසී භික්‍ෂූහු පින්මදකමින් උපුල් විකුණන වීදියට ගොස් මල් නොලැබූහ. තෙරුන් වහන්සේ වැඩම කළ ගමන්ම ගෙන්වාගෙන වැඩියහ යනුවෙන් තෙරුන් වහන්සේගේ ගුණකථාවක් මතු කළහ. බුදුරජාණන් වහන්සේ වැඩම කර මහණෙනි! මා එන්නට පෙර කවර කථාවකින් යුතුව මෙහි සිටියාහුදැයි විචාරා මෙනම් කතාවෙන් යයි කී කල්හි, මහණෙනි! කිමෙහි, බිනීමෙහි දක්‍ෂ වූයෝ දැන් පමණක් මල් ලැබුවාහු නොවෙති. පෙරත් ලැබුවාහු යයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කරද්දී බෝසතාණන් වහන්සේ සිටුපුත්‍රයෙක් වූ සේක. ඇතුළු නුවරම එක් විලක නෙළුම් පිපේ. බිඳුණු නාසයක් ඇති එක් පුරුෂයෙක් විල රකී. ඉක්බිති එක්දිනක් බරණැස් නුවර උත්සව කාලය දැනුම් දුන් කල්හි මල් පැළඳ සැනකෙළි කෙලිනු කැමති සිටුපුත්‍රයෝ තිදෙනෙක් නාසය සිඳුණු අයට බොරු වර්ණනා කියා මල් ඉල්ලන්නෙමුයි ඔහු නෙළුම් මල් කඩන කාලයේ විල අසලට ගොස් එකත්පසෙක සිටියාහුය.
ඔවුන්ගෙන් එකෙක් ඔහු අමතා -
යථා කෙසා ච මස්සූච ජින්නං ජින්නං විරූහති,
එවං රූහතු තෙ නාසා පදුමං දෙහි යාචිතො
යන පළමු ගාථාව කිවේය.
යම්සේ හිසකෙස්ද, දැලිරැවුල්ද කපන්න කපන්න යළි වැඩේද, එලෙස තොපගේ නාසය නැවත වැඩේවා. මවිසින් ඔබෙන් ඉල්ලන ලදි. පියුමක් දෙන්න.
හෙතෙම ඔහු කෙරෙහි කිපී මලක් නුදුන්නේය.
ඉක්බිති ඔහුට දෙවැන්නා -
යථා සාර දිකං බීජං ඛෙත්තෙ වුත්තං විරූහති,
එවං රූහතු තෙ නාසා පදුමං දෙහි යාචිතො
යන දෙවන ගාථාව කීය.
යම්සේ කෙතෙහි වැපිරූ සරත් සමයෙහි රැගෙන තැන්පත් කල බිත්තර වී මනාසේ වැඩේද එපරිදි ඔබේ නාසය නැවත වැඩේවා. මවිසින් ඔබෙන් ඉල්ලන ලදී. පියුමක් දෙන්න.
එහි, සාරදිකං යනු සරත් සෘතුවෙහි ගෙන තබන ලද සාරවත් බිත්තර වී හෙතෙම ඔහුටද කිපී නෙළුමක් නුදුන්නේය.
ඉක්බිති ඔහුට තෙවැන්නා -
උහොපි පලපන්තෙතෙ අපි පදමානි දස්සති,
වජ්ජුං වා නවා වජ්ජුං නත්‍ථි නාසාය රූහනා,
දෙහි සම්ම පදුමානි අහං යාචාමි යාචිතො
යන තෙවන ගාථාව කීවේය.
මුල් දෙදෙනාම මල් දෙන්නේ යැයි බොරු කියති. ඔවුහු ඔබේ නාසය වැඩේවායි කීවත් නොකීවත් නාසය වැඩීමක් නැත. මිතුර! ඉල්ලන ලද්දෙහි පියුම් දෙන්න.
එහි, උභොපි පලපන්තෙතෙ යනු මොවුන් දෙදෙනාම බොරු කියති. අපි පද්මානි යනු අපට නෙළුම් දෙතියි සිතා මෙසේ කියති. වජ්ජුං වා තෙ නවා වජ්ජුං යනු නුඹේ නාසය වැඩේයයි සිතා මෙසේ කීවත් නොකීවත් ඔවුන්ගේ වචනය ප්‍රමාණයක් නොවේ. කෙසේවත් නාසය වැඩීමක් නැත. අහං මම නුඹේ නාසය උදෙසා කිසිවක් නොකියමි. හුදෙක්, යාචාමි ඉල්ලමි. ඒ මට දෙහි සම්ම පදුමානි යාචිතො යනු ඉල්ලන ලද්දේ යහළුව, නෙළුම් දෙන්න.
ඒ අසා නෙළුම් විල රකින්නා මේ දෙදෙනා විසින් බොරුවක් කරන ලදි. තොප විසින් ඇත්ත ස්වභාවය කියන ලදි. නුඹට නෙළුම් මල් සුදුසුයැයි කියා ලොකු නෙළුම් මිටියක් ගෙනවුත් ඔහුගේ ගෙදරට දී තමන්ගේ නෙළුම් විලටම ගියේය.
බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතක කථාව ගලපා නිමවා වදාළ සේක. එකල නෙළුම් මල් ලැබූ සිටුපුත්‍රයා මම ම වූයෙමි යි වදාළ සේක.
2. මුදුපාණි ජාතකය (262)
පාණී චෙ මුදුකොචස්සා යන මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරන සේක් එක්තරා කලකිරුණු භික්‍ෂුවක් අරබයා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ, දම්සභාවට කැඳවන ලද ඒ භික්‍ෂුවගෙන් ඇත්තද මහණ! ඔබ කළකිරුණේදැයි විචාරා ස්වාමීනි! ඇත්තයි කී කල්හි මහණ! ස්ත්‍රීහු වනාහි කෙළෙස් වසඟයට යාමෙන් ආරක්‍ෂා කළ නොහැකිය. පෙර පඬිවරු පවා තමන්ගේ දුව රැකීමට නොහැකි වූහ. පියා විසින් අතින් අල්ලාගෙන සිටියදීත් දුව පියාට නොදන්වාම කෙලෙස් වසඟව පුරුෂයෙකු සමග පලා ගියේයයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.