2. සෝණනන්ද ජාතකය (532)
දේවතානුසී යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, එක් මවක් පෝෂණය කරන භික්ෂුවක් අරභයා වදාළ සේක. කථා වස්තුව සාම ජාතකයේ කථා වස්තුව හා සමාන වේ ම ය. එකල ශාස්තෲන් වහන්සේ මහණෙනි, මේ භික්ෂුවට දොස් නොකියව්. වරද නො ගන්වවු. පෞරාණික පණ්ඩිතයෝ මුළු දඹදිව රාජ්යය ලබන්නේ නමුදු, එය ගණන් නො ගෙන, මව්පියවරු පෝෂණය කළෝම යය පවසා අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතයේ බරණැස් නුවර බ්රහ්මවර්ධන නම් නගරයක් විය. එහි මනෝජ නම් රජෙක් රාජ්යය කරවීය. එහි එක්තරා අසූකෙළක් සම්පත් ඇති, බ්රාහ්මණ මහසල් කුලයෙක අධිපති හෙතෙම පුතුන් නැත්තෙක් විය. ඔහුගේ බැමිණිය ඔහු කෙරෙන් ම පින්වත් පුතකු ප්රාර්ථනා කරවයි කියා, ප්රාර්ථනා කළාය. ඉක්බිති බෝසත් තෙම බ්රහ්මලෝකයෙන් චුතව ඇගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. උපන් ඔහුට සෝණ කුමාරයායි නම් කළහ. ඔහු පියවරෙන් වැඩෙන කල්හි, වෙනත් සත්ත්වයෙක් බ්රහ්මලෝකයෙන් චුතව ඇගේ කුසේම පිළිසිඳ ගත්තේය. ඔහුට නන්ද කුමාරයායි නම් කළහ. ඔවුන්ට උගන්වන ලද වේද ශාස්ත්ර ඇත්තේ සියලු ශිල්පයෙහි කෙළවරට පැමිණියේ, වියපත් කල රූප සම්පත් දැක, බ්රාහ්මණයා බැමිණිය අමතා “පින්වතිය, පුත්ර සෝණ කුමාරයා ගෘහ බන්ධනයෙන් බඳින්නෙමුයි” කීවේය. ඇය යහපතැයි පිළිාගෙන පුත්රයාට ඒ අදහස කීවාය. ඔහු “මෑණියනි, මට ගෘහවාසයෙන් කම් නැත. මම දිවි ඇතිතෙක් නුඹලාව පෝෂණය කරවා නුඹලාගේ ඇවෑමෙන් හිමාලයට පිවිස, පැවිදිවන්නෙමි”යි කීවේය. බැමිණිය, බ්රාහ්මණයාට ඒ අදහස දැනුම් දුන්නාය.
ඔවුහු යළි යළිත් කියන ලද්දේ නමුත් ඔහුට සිත් නොලැබ, නන්ද කුමාර අමතා “දරුව, එසේ වීනම් නුඹ දරු පවුලක් පෝෂණය කරන්නැයි” කියා කීය. “මම සොයුරා ඉවතලන කෙළපිඩක් හිසින් නොපිළිගන්නෙමි. මම වනාහි නුඹලාගේ ඇවෑමෙන් සොයුරා සමග පැවිදිවන්නෙමි”යි කී කල්හි ඔවුන්ගේ වචන අසා, මේ දෙදෙනාම මෙසේ තරුණ කාලයේම කාමයන් දුරු කරති. කිමෙක් ද? අපි සියල්ලෝම පැවිදි වන්නෙමුයි සිතා, දරුවනි, කිමෙක්ද තොප අපගේ ඇවෑමෙන් පැවිදි වන්නේ? දැන්මම අපි සියල්ලෝම පැවිදි වන්නෙමුයි රජුට දන්වා සියලු ධනය පරිත්යාග විෂයෙහි වියදම් කොට දාස ජනයාට ප්රමාණවත් ධනය දී, නෑදෑයන්ට දියයුතු දේවල් දී සතර දෙනා බ්රහ්මවර්ධන නගරයෙන් නික්ම හිමාලය ප්රදේශයේ පස්පියුමින් ගැවසී ගත් විලක් ඇසුරු කොට රමණීය වන ලැහැබක අසපුවක් නිර්මාණය කොට පැවිදිවී එහි වාසය කළහ. දෙදෙනා ම දෙමව්පියන් පෝෂණය කළහ. උදෑසනම ඔවුන්ට දැහැටි දඬු ද, මුව සේදීමට ජලය ද දී පන්සල ද පිරිවෙණ ද ඇමද, පැන් එලවා තබා, වනයෙන් මිහිරි ගෙඩි කුඩා ගෙඩි ගෙනවිත් දෙමව්පියන්ට කවති. උණුසුම් හා සිසිල් ජලයෙන් නහවති. ජටා සේදීම් පාද පරිකර්ම ආදිය ද ඔවුන්ට කරදෙති.
මෙසේ මාර්ගයට පිළිපන් කල්හි නන්ද පණ්ඩිතයා මා විසින් ගෙන එන ලද ගෙඩි කුඩා ගෙඩි පළමුව මව්පියන්ට කවන්නේ යයි සිතීය. ඔහු පළමුව ගොස් ඊයේ ද පෙරේදා ද ගෙන එන ලද මේ දෑ උදෑසනම ගෙනවුත් මව්පියන්ට කවයි. ඔවුහු ඒවා කා මුව විකා, පෙහෙවස් රකිත්. සෝණ පණ්ඩිතයා දුර ගොස් මිහිරි ගෙඩි වර්ග පැසුණු ඒවා ගෙනවිත් පිරිනමයි. ඉක්බිති ඔහුට දරුව, බාල සොයුරා විසින් ඒවා ගෙන එන ලදි. අපි අද ම අනුභව කොට පෙහෙවස් සමාදන් වූවෝ. දැන් අපට වැඩක් නැතැයි කියති. මෙසේ ඔහුගේ වටිනා ගෙඩි කුඩා ගෙඩි පරිහරණයට නොලැබ විනාශ වන්නේය. දෙවන දවස්හි ද, එසේ ම වේ. මෙසේ හෙතෙම පංචාභිඥාවෙන් දුර ගොස් ගෙනාවද, ඔවුහු නො කති.
ඉක්බිති බෝසත් තෙමේ මෙසේ සිතීය. මගේ මව්පියවරු සියුමැලිය. නන්ද ඒ මේ පැසුණු-නොපැසුණු ගෙඩි කුඩා ගෙඩි ගෙනවිත් කවවයි. මෙසේ ඇතිකල්හි මොවුහු චිරාත් කාලයක් නොපවතින්නාහ. එය වළක්වන්නෙමි. ඉක්බිති ඔහු අමතා, “නන්දය, මෙතැන් පටන් ගෙඩි වර්ග ගෙනවුත් මගේ ගමන නොවළක්වව. දෙදෙනා ම එකට ම කවන්නෙමු”යි කීවේය. ඔහු එසේ කී කල්හි ද, තමන්ගේ පින වළක්වන්නේ යයි සිතන්නේ ඔහුගේ වචනය නොකළේය. ඉක්බිති බෝධිසත්ත්ව තෙම, නන්ද මගේ වචනය නොකරන්නේ අයුක්තියක් කරයි. ඔහුව පලවා හරින්නෙමි. හුදකලාව ම මව්පියන් පෝෂණය කරන්නෙමියි සිතා නන්ද, නුඹ අවවාද නොපිළිගන්නෙකි. උගතුන්ගේ බස් නොකරයි. මම ජ්යෙෂ්ඨයා වෙමි. මව්පියන් මට ම බාර වේ. මම ම ඔවුන් පෝෂණය කරන්නෙමි. නුඹ මෙහි වාසය කිරීමට නොවටී. වෙන තැනකට යන්නැයි අසුර ගැසී ය.