1. කුස ජාතකය (531)
ඉදං තෙ රට්ඨං යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් කලකිරුණු භික්‍ෂුවක් අරබයා වදාළ සේක. සැවැත්නුවර වැසි එක් කුලපුත්‍රයෙක් ශාසනයේ සෙනෙහස උපදවා (හෘදය-උරං) පැවිදි වූයේ, එක්දිනක් සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නේ එක් අලංකාර ස්ත්‍රියක දැක යහපත් නිමිති ගැනීම් වශයෙන් බලා, කෙළෙසින් මඩනා ලදුව ඇල්මෙන් තොරව වාසය කෙළේය. හේ දිගුවූ කෙස් නිය ඇත්තේ, වැහැරී ගිය සිවුරු දරන්නේ පඬුවන් පැහැයෙන් යුක්ත වුයේ, නහර ඉලුප්පුණු සිරුරක් ඇත්තේ විය. දේව ලෝකයෙන් චුතවන්නා වූ, දේවපුත්‍රයන්ගේ පූර්ව නිමිති පහක් ප්‍රකට වෙයි. මල්මාලාවෝ මිලාන වෙති වස්ත්‍ර කිළිටි වෙයි. ශරීරයේ දුර්නිමිති පහළ වෙයි. කිහිලි දෙකෙන් ඩහදිය වැගිරෙයි. දෙවියා දිව්‍ය ආසනයේ නො ඇලෙයි. එපරිද්දෙන් සසුනෙන් චුතවන ධර්මයක් මෙන් කලකිරුණු භික්‍ෂූන්ට පූර්ව නිමිති පහක් ප්‍රකට වෙයි. ශ්‍රද්ධා නැමැති පුෂ්පයෝ මිලාන වෙති. වස්ත්‍ර නැමැති ශීලය කිළිටි වෙයි. ශරීරයේ මකු බවින් නුගුණ පැතිරෙමින් විරූප බවට පැමිණෙයි. කෙළෙස් නැමැති ඩහදිය වැගිරෙයි. ආරණ්‍යයේ වෘක්‍ෂ මූලයේ ශූන්‍යාගාරයේ හිඳීමට සිත් නොඇලෙත්. ඔහුට ද එම නිමිති ප්‍රකට විය. ඉක්බිති භික්‍ෂූහු ඔහු ශාස්තෲන් සමීපයට පමුණුවා ස්වාමීනි, මේ භික්‍ෂුව කලකිරුණු ස්වභාව ඇත්තේ යයි දැක්වූහ. ශාස්තෲන් වහන්සේ, “මහණ, නුඹ කලකිරුණේ සත්‍යයදැ”යි විචාරා ස්වාමීනි, සත්‍යය යැයි කී කල්හි මහණ, කෙළෙස් වසඟයට නොයන්න. ස්ත්‍රිය නම් පව්කාරියකි. ඈ කෙරෙහි බඳනා ලද සිත දුරුකරව. ශාසනයේ ඇලෙන්න. ස්ත්‍රිය කෙරෙහි බැඳුනු සිත නිසා තේජස් වී වුන් තේජසින් පිරිහෙති. පෞරාණික පඬිවරු ස්ත්‍රිය කෙරෙන් තේජස් විරහිතව සිට නොයෙක් විපත්තියට පැමිණියාහු යයි වදාරා අතීතය ගෙනහැර පෙන්වීය.
අතීතයේ මල්ල රට කුසාවතී නම් රාජධානියේ ඔක්කාක නම් රජ දැහැමින් රාජ්‍යත්වය කෙළේය. ඔහුගේ දහසය දහසක් ස්ත්‍රීන්ගේ ජ්‍යෙෂ්ඨ තැනැත්තිය වූ සීලවතී නම් අගමෙහෙසියක් වූවාය. ඇය පුතකු හෝ දුවක නොලැබුවාය. ඉක්බිති ඒ නගර වැසියෝ ද, රට වැසියෝ ද, රජමිදුල දොරටුවේ රැස්ව රට නැසෙන්නේයයි රට විනාශ වන්නේයයි කියමින් උද්ඝෝෂණය කළහ. රජු සීමැදුරු කවුළුව විවර කොට, මා රාජ්‍යය කරවන කල්හි අධාර්මිකයෙක් නම් නැත. කුමක්හෙයින් උද්ඝෝෂණය කරන්නාහුදැයි විචාළේය. දේවයන් වහන්ස, සත්‍යයකි. අධාර්මිකයකු නැත. නමුත් වංශය රකින්නා වූ පුත්‍රයකු තොපට නොවේ. අන්‍යයන් රාජ්‍යය ගෙන විනාශ කරන්නාහුය. එහෙයින් දැහැමින් රාජ්‍යය කරන්නට සමත් පුතකු ප්‍රාර්ථනා කරන්නැයි පුතකු ප්‍රාර්ථනා කරන්නේ කුමක් කරම්ද? පළමුව එක් සතියක් කුඩා නාටකයක් ද, ධර්ම නාටකයක් ද කොට ඉදින් ඇය පුතකු ලබන්නේ නම් හොඳයි ඉදින් පුතකු නොලබන්නී නම් මධ්‍යම නාටකයකින් අනතුරුව ජ්‍යෙෂ්ඨ නාටකයක් ද, ඒකාන්තයෙන්ම මෙපමණ ස්ත්‍රීන් අතර එක් පින්වත් ස්ත්‍රියක් පුතකු ලබන්නීයැයි ඔවුන්ගේ වචනයෙන් රජු එසේ කොට සත්වන දවසේ සුවසේ සතුටුවී, පැමිණි පැමිණි අයගෙන් විචාළේය. කෙසේද? නුඹලා පුතකු ලැබුවේද, සියළු ස්ත්‍රීහු “නොලැබුවෙමු දේවයන් වහන්ස” යයි කීවාහුය. රජු ද මට පුතකු නො උපදී යයි නො සතුටු සිත් ඇත්තේ විය. නගරවැසියෝ නැවත එසේම උද්ඝෝෂණය කළහ. රජු; (නුඹලා) කුමක් නිසා උද්ඝෝෂණය කරවුද? මා විසින් ඔබලාගේ වචනයෙන් නාටක ද විසඳන ලදි. එක ස්ත්‍රියකවත් පුතකු නො ලබයි. දැන් කුමක් කරමුදැයි කීහ. දේවයන් වහන්ස, මෑලා දුශ්ශීල වන්නාහුය. පින් මදය. මෑලාට පුත්‍රලාභය පිණිස පින් නැත. නුඹලා මෑලා ඇතැමෙක් පුතකු නොලබන කල්හි උත්සාහයෙන් අඩු බවක් නොලබාවා. තොපගේ අග මෙහෙසිය වූ සීලවතී දේවිය සීල සම්පන්න වේ. ඇය විසඳවු. ඇය පුතකු ලබන්නීය.
ඔහු මැනවැයි පිළිගෙන ඉන් සත්වෙනි දවසෙහි රජු සීලවතී දේවියට ධර්ම නාට්‍යයක් කොට විසඳන්නේය. මිනිස්සු එක්රැස් වෙත්වා’යි බෙරහඬ නංවා සත්වෙනි දිනයේ දේවිය. අලංකාරයෙන් සරහා රාජ මන්දිරයෙන් බස්සවා, විසඳීය. ඇයගේ සිල් තේජසින් ශක්‍රයාගේ භවන උණු විය. ඔහු මේ කිමෙක්දැයි, ආවර්ජනය කරන්නේ, දේවියට පුතකු ප්‍රාර්ථනා කරන බව දැන මා විසින් මැයට පුතකු දෙන්නට වටී, දිව්‍යලෝකේ මැයට සුදුසු පුත්‍රයෙකු ඇත්තේදැ’යි සොයන්නේ බෝධිසත්ත්වයන් දිටීය. ඔහු වනාහි එදින තව්තිසා භවනයේ ආයුෂ ක්‍ෂය කොට යළිත් දෙව්ලොව උපදිනු කැමැත්තේ විය. ශක්‍රයා ඔහුගේ විමන් දොරටුව ළඟට ගොස්, ඔහු කැඳවා නිදුකාණෙනි, ඔබ මිනිස්ලොවට ගොස් ඔක්කාක රජුගේ අගමෙහෙසියගේ කුසයෙහි පිළිසිඳ ගන්නට වටී යයි කැමති කරවා අනෙක් දේවපුත්‍රයෙකු වෙත ගොස් ඔබද මැයගේ පුතා වන්නේ යයි පවසා කිසිලෙසකින් හෝ ඇගේ ශීලය නොබිඳවායි, මහලු බමුණකු විලාශයෙන් රජ මැදුරට ගියේය.
මහජනයා ද ස්නානය කර අලංකාර වූයේ ‘මම දේවිය ගෙන යන්නෙමි’යි ‘මම දේවිය ගෙන යන්නෙමි’යි රජදොරටුව වෙත රැස්වී, ශක්‍රයා ද දැක නුඹ කුමක් සඳහා ආවෙහිදැයි පරිභව කෙළේය. ශක්‍රයා; කුමක් නිසා නුඹ මට ගරහව්ද? ඉදින් මගේ සිරුර දිරාගිය නමුත් රාගය නොදිරයි. ඉදින් සීලවතිය ලබන්නෙම් නම් ඇය රැගෙන යෑමට ආවේ වෙමි යි පවසා තමන්ගේ ආනුභාවයෙන් සියළු දෙන ඉදිරියේ පෙනී සිටියේය. අන්‍යයෝ ඔහුගේ තේජසින් ඉදිරියේ සිටීමට නොහැකි විය. හෙතෙම සියළු අලංකාරයෙන් සැරසී රජ මැදුරෙන් නික්මෙන විට ම අතින් අල්ලාගෙන ගියේය. ඉක්බිති හේ ඒ ඒ තැන සිටියහු ගැරහීය. පින්වත් මහලු බමුණ, බලව් මෙබඳු උතුම් රූපශ්‍රීයෙන් යුතු දේවිය රැගෙන යයි. තමාගේ යුක්තිය නොදනියි. දේවියද මහල්ලා මා රැගෙන යයි යනු යයි පිළිකුල් නො කරයි. හැර නො යයි. රජු ද වාකවුළුවේ සිට කවරෙක් දේවිය ගෙන යයි දැයි බලන්නේ, එය දැක අසතුටට පත්විය.
ශක්‍රයා ඇය රැගෙන නගර දොරටුවෙන් නික්ම දොරටුව සමීපයේ එක් ගෘහයක් මැවීය. විවෘත වන දොරටුව ප්‍රකට වන අටැස් දොරටුවක් වී. ඉක්බිති ඔහුගෙන් ඇය “මේ ඔබේ නිවෙසදැයි” විචාළාය. හෙතෙම, “එසේය සොඳුර”, පෙර මම එක්කෙනෙක්මි. දැන් අපි දෙදෙනෙකි. “මම පිඬු පිණිස හැසිර සහල් ආදිය රැගෙන එන්නෙමි. නුඹ, මේ දරමැස්සේ වැදහොවැ (නිදාගනුවයි) කියා, ඇගේ හිස්මුදුන අතින් පිරිමදිමින් දිව්‍ය ස්පර්ශය පතුරුවා එහි හිඳුවීය. ඇය දිව්‍ය ස්පර්ශයෙන් සිහිය නැති විය. ඉක්බිති හේ තමන්ගේ ආනුභාවයෙන් තව්තිසා භවනට ගෙනගොස් අලංකාර වූ විමානයේ, දිව්‍ය යහනාවේ හෙවීය. ඇය සත්වෙනි දිනයේ අවදිව, ඒ සම්පත් දැක, හෙතෙම බ්‍රාහ්මණයකු මනුෂ්‍යයකු නොව, ශක්‍රයා යයි දැනගත්තාය. ශක්‍රයා ද, එසමයේ පරසතු ගසක් මුල දිව්‍ය නළුවන් පිරිවරා හුන්නේ විය. ඇය ඔහු දැක යහනෙන් නැගිට ඔහුගේ සමීපයට ගොස් වැඳ එකත්පස්ව සිටියාය. ඉක්බිති ශක්‍රයා, “තිට වරයක් දෙන්නෙමි, දේවයනි, එය ගනුවයි” කීවේය. “එසේ වීනම් දේවයන් වහන්ස, මට පුත්‍රයෙක් දෙනු මැනවි.” “දේවිය, ඔබට මම එක පුතකු නොව දෙදෙනෙක් දෙන්නෙමි. ඔවුනතර එකකු ප්‍රඥාවන්තයෙකු වන්නේය. රූප සම්පත් නොවන්නේය. එකකු රූපසම්පත් ඇත්තෙකි. ප්‍රඥාව නොවන්නේය. ඔවුනතර කවරෙකු පළමුව කැමැත්තෙහිද?” දේවයන් වහන්ස, ප්‍රඥාවන්තයා දේවයිනියි, ඔහු යහපතැයි පවසා, ඇයට, කුසතණ ද, දිව්‍යවස්ත්‍ර ද, දිව්‍ය සඳුන් ද, දිව්‍ය පරසතු මල් ද, “කෝකනද” නම් වීණාවද දී, එය රැගෙන රජුගේ යහන් ගෘහයට වැද, රජු සමග එකම යහනාවක හොවා ඇඟිලි අගින් ඇගේ නාභිය පිරිමැද්දේය. එකෙණෙහි බෝධිසත්ත්වයෝ, ඇගේ කුසෙහි, පිළිසිඳ ගත්තේය. ශක්‍රයාද සිය මන්දිරයටම ගියේය. නුවණැති දේවිය ගැබෙහි පිහිටි බව දැනගත්තීය.