2. සංකිච්ච ජාතකය (530)
දිස්වා නිසින්නං රාජානං යන මෙය ශාස්තෲන් වහන්සේ, ජීවක අඹ වනයේ වැඩවසන සේක්, අජාසත්තගේ පීතෘඝාතක කර්මය අරභයා වදාළ සේක. එය වනාහි දේවදත්ත නිසා ඔහුගේ වචනයෙන් පියා මරවා, දේවදත්ත ගේ සංඝභේදය අවසානයේ සඟ පිරිසෙන් වෙන් වී රෝග උපන් කල්හි, තථාගතයන් ක්ෂමා කරන්නෙමි යි, ඇඳ දෝළාවෙන් සැවැත්නුවරට යන්නාහු ජේතවන දොරටුවේදී, පොළොවට පිවිසි බව අසා, දෙව්දත් සම්මා සම්බුදුරදුන්ට විරුද්ධව සිට, පොළොවට පිවිස, අවීචිමහ නරකයෙහි උපන්නේය. මා විසින් ද හේ නිසා, ධාර්මික වූ දැහැමි රජ වූ පියා ඝාතනය කරන ලද්දේ, මම ද, පොළොවට පිවිසෙන්නෙමි යි බියට පත්ව, රාජ්‍යශ්‍රීයෙහි සිත් පැහැදීමක් නො ලැබුවේය. ටිකක් නිදාගන්නෙමියි, නිද්‍රාවට වැටුණු මොහොතේ ම යොදුන් නවයක් බොල ඇති යකඩ පොළොවට හෙළා යකඩ හුල්වලින් අනින්නාක් මෙන් බල්ලන් විසින් ලෙවකා පහුරු ගා කරන්නාක් මෙන්, බියකරු හඬ නංවාලමින් නැගිටියි.
ඉක්බිති, සඳරැසින් බැබළෙන, ඉල් මස පුණු පොහෝ දවස ඇමති මඩුල්ල පිරිවරා තමන්ගේ යසස බලමින්, මගේ පියා, මීට වඩා අතිශයින් කීර්තිමත් වූයේ, එබඳු ආකාර වූ ධාර්මික රජ කෙනකු “මම, දේවදත්ත නිසා ඝාතනය කළේ වෙමි” යයි සිතුවේය. ඔහු එසේ සිතද්දී ම ඔහුගේ ශරීරයෙන් දාහයක් හටගත්තේය. මුළු සිරුර ම ඩහදියෙන් තෙත් විය. කවරෙක් මගේ මේ බිය පහකිරීමට හැකිවන්නෙහිදැයි සිතා දසබලධාරීන් වහන්සේ හැර අනෙකෙක් නැතැයි දැන, මම මහ අපරාධ කරුවෙක් වෙමි. තථාගතයන් වහන්සේට, කවරෙක් මා ගෙන ගොස් දක්වන්නේදැයි සිතන්නේ, ජීවක හැර අන් කිසිවෙක් නැතැයි සලකා, ඔහු ගෙන්වා ගෙන, ගමනට උපායක් පිළියෙල කරන්නේ සඳරැසින් බබළන මේ රාත්‍රිය ඒකාන්තයෙන් රමණීය යයි උදම් අනා, අද කවර හෝ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු ඇසුරු කරන්නෙමුයි කියා, පූරණ කස්සප ආදීන්ගේ ශ්‍රාවකයන් විසින් පුරණාදීන්ගේ ගුණ වැනූ කල්හි, ඔවුන්ගේ වචන නොසලකා, ජීවකගෙන් විචාරා ඔහු විසින් තථාගත ගුණ පවසන ලද්දේ හේ, රජතුමනි, භාග්‍යවතුන් ඇසුරු කරාවායි කී කල්හි, ඇත් යානා ගෙන්වාගෙන, ජීවක අඹවනයට ගොස් තථාගතයන් බැහැදැක, වැඳ, තථාගතයන් විසින් කරන ලද පිළිසඳර කථා ඇත්තේ, මෙලොව දැකිය හැකි මහණකමේ ප්‍රතිඵල විචාරා, තථාගතයන් වහන්සේගේ මිහිරි වූ, ශ්‍රමණ ඵලය ගැන ධර්මදේශනාව අසා සූත්‍රාවසානයේ උපාසකයකු ලෙස දැනුම් දී, තථාගතයන් ක්ෂමා කරවා ගියේය. ඔහු එතැන් පටන් දන් දෙමින්, සිල් රකිමින්, තථාගතයන් වහන්සේ සමග සම්බන්ධ වී මිහිරි බණකථා අසමින් කල්‍යාණ ඇසුර නිසා, පහවූ බිය ඇත්තේ පහවූ ලොමු ඩැහැගැනීම් ඇත්තේ සිත් පැහැදීම ලබා සැපසේ සතර ඉරියවු පවත්වාගෙන ගියේය.
ඉක්බිති එක් දවසක් ධර්ම සභාවේ කථාවක් උපන්නේ ඇවැත්නි, අජාසත්ත පීතෘඝාතක කර්මය කොට බියට පත්වූයේ විය. රාජ්‍යශ්‍රීය නිසා චිත්තප්‍රසාදයක් නොලබන්නේ සියළු ඉරියව්වල දුක් අනුභව කෙළේය. දැන් ඔහු තථාගතයන් වෙත එළඹ යහපත් ඇසුරින් පහවූ බිය ඇත්තේ, ඉසුරු සම්පත් අනුභව කරයි යනුවෙනි. ශාස්තෲන් වහන්සේ එහි වැඩමවා මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුදැයි විචාරා, මෙනම් කථාවකැයි කී කල්හි දැන් පමණක් නොව මහණෙනි, පෙර ද, ඔහු පීතෘඝාතක කම්කොට, මා නිසා සැපසේ නිදාගත්තේ යයි වදාරා අතීත පුවත ගෙනහැර වදාළ සේක.
අතීතයේ බරණැස බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන්නේ බ්‍රහ්මදත්ත කුමාර නම් පුතෙක් ලැබුවේය. එකල බෝසත් තෙම පුරෝහිතගේ ගෙදර දී පිළිසිඳ ගත්තේය. උපන් දිනයේ සංකිච්ච කුමාර යයි නම් කළහ. ඔවුහු දෙදෙනා ම රාජ මන්දිරයේ එකට වැඩුණෝය. ඔවුනොවුන් ප්‍රිය සහායකව සිට වැඩිවිය පැමිණියෝ තක්ෂිලාවට ගොස්, සියලු ශිල්ප උගෙන පෙරළා පැමිණියහ. ඉක්බිති රජ පුතුට යුවරජ පදවිය දුන්නේය. බෝසත්හු ද, යුවරජු සමීපයේම විසූහ. ඉක්බිති එක් දිනක්, පියරජු උයන් ක්‍රීඩාවට යන්නේ මහත් යසස් දැක, ඒ කෙරෙහි ලෝභ උපදවා, මගේ පියා, මගේ සොයුරකු හා සමානය. ඉදින් මොහු ගැන බලන්නේ නම්, මහළු කාලයේ රජකම ලබන්නෙමි. මහළුවැ රජකම ලැබුණත් කවර අර්ථයක් ද, පියා මරා රාජ්‍යය ගන්නෙමියි සිතා, බෝසතුන්ට ඒ අදහස දැන්වීය. බෝසත්හු, මිත්‍රය, පියා මැරීම නම් ඒකාන්තයෙන් අපායට යන කාර්යයකි. එය නොකළ යුත්තකි. එය කරනු එපායැයි වැළැක්වීය. ඔහු යළි යළිත් කියා තෙවෙනිවර ද, ඔහු විසින් වළක්වන ලද්දේ, සේවකයන් සමග සාකච්ඡා කෙළේය. ඔවුහු පිළිගෙන, රජු මැරීමේ උපාය සැලසුම් කළහ. බෝසත්හු ඒ පුවත දැන “මම මොවුන් සමග එක්ව වාසය නොකරන්නෙමි”යි මව්පියන් නො විචාරා ම කුස්සියෙන් නික්ම හිමාලයට පිවිස, සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව ධ්‍යාන අභිඥා උපදවා, වනමුල් ගෙඩි ආහාර කොට කල් ගෙවීය.