5. චුල්ලසුතසෝම ජාතකය (525)
ආමන්තයාමි නිගමං යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව අරභයා වදාළ සේක. වර්තමාන කථා වස්තුව මහා නාරද කස්සප ජාතකය හා සමාන වේ. අතීතයේ බරණැස් නුවර සුදර්ශන නම් නගරයක් විය. එහි බ්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කෙළේය. බෝධිසත්ත්වයෝ ඔහුගේ අග මෙහෙසියගේ කුසෙහි ඉපදුණෝ දස මාසයක් ඇවෑමෙන් ඔහු මව්කුසින් නික්මිණි. ඔහුට පූර්ණ චන්ද්‍රයා හා සමාන ශ්‍රියාවෙන් යුත් මුහුණක් විය. ඒ නිසා ඔහුට සෝමකුමාර යයි නම් කළහ. ඔහු බුද්ධි ප්‍රභාවයට පත්වූයේ මැනවින් අසන ලද්දෙක් වීමටත්, ඇසීමේ මැනවින් රුචි කරන්නෙක් ද විය. ඒ නිසා ඔහු සුතසෝම යයි හැඳින්වීය. ඔහු සුදුසු වයසේ තක්ෂිලාවේ ශිල්ප හදාරා පැමිණියේ පියා සතු සුදුකුඩ සේසත් ලැබ දැහැමින් රාජ්‍යය කෙළේය. මහත් ඉසුරු සම්පත් ද විය. ඔහුට චන්ද්රදේවිය ප්රමුඛ දහසය දහසක ස්ත්‍රීහු වූහ. හෙතෙම පසුකාලයේ දූ පුතුන් වඩන්නේ ගෘහවාසයේ නොඇලුනේ, වනයට පිවිස පැවිදිවනු කැමැත්තේ විය.
ඔහු එක දවසක් කැපකරවා අමතා මිත්‍රය; යම්කලෙක මගේ හිසෙහි නරකෙස් දකින්නේ නම්, එකල මට දැනුම් දෙන්නැයි කීවේය. කැපකරු ඔහුගේ වචන පිළිගෙන පසුකාලයේ නරකෙස් දැක දන්වා, මිත්‍රය එසේ වී නම් ඒ කෙස් උදුරා මගේ අතේ තබන්නැයි කී කල්හි, ඒ වර්ණැති කෙස් රොද පිටින් උදුරා අතේ තැබීය. ඒ දැක බෝසත්, ජරාව විසින් මගේ ශරීරය මඩනා ලද්දේ යයි බියට පත්ව ඒ නරකෙස් ගෙන, ප්‍රාසාදයෙන් බැස, මහජනයාට වටහා දුන් කල්හි, පනවන ලද රාජ පළඟේ හිඳ සේනාපති ප්රමුඛ අසූ දහසක් ඇමති සේනාව ද පුරෝහිතයා ප්රමුඛ සැටදහසක් බමුණු පිරිස ද, වෙනත් රටවාසින් ආදිහු ද බොහෝ දෙනෙකු කැඳවා මගේ හිසෙහි නරකෙස් හටගත්තේය. මම මහළු වීමි. මා පැවිදිවන බව දැනගනිව් යයි කියා පළමු ගාථාව කීවේය.
නිගම් වැසි ජනතාව ද, මැති ඇමතියන් ද, පිරිස් වැසියන් ද අමතා දන්වමි. මගේ හිසෙහි (පැසුණු) නරකෙස් හටගත්තේය. දැන් මම පැවිදිවීමට කැමැත්තෙමි.
එහි ආමන්තයාමි යනු දැනගනිමි යනුයි. රොචහං යනු මම රුචි කරමි. පින්වතුන් සැම මා පැවිදිවන බව දැනගනිව් යයි,
ඒ අසා ඔවුන් අතර සිටි එක් විශාරද පුරුෂයෙක් මේ ගාථාව කීවේය.
දේවයන් වහන්ස! කෙසේනම් නො කළයුත්තක් කියන්නෙහිද? මා ගේ ළයෙහි හුලක් ඇන්නාක් වැනිය. තමුන්නාන්සේගේ සත්සියයක් භාර්යාවරු සිටිති. තමුන්නාන්සේ පැවිදි වූ කල්හි ඒ භාර්යාවරු කෙසේ ජීවත් වන්නහුද?
එහි අභුං යනු වෘද්ධියට නොපැමිණි යනුයි. උරසි කප්පෙසි යනු අපගේ හදවත් තුළට මනා සේ මුවහත ඇති හුලකින් ඇන්නා සේ ය. සත්තසතා යනු සමාන ජාතික වූ ක්ෂත්රිය කන්‍යාවන්ගේ සමූහයයි කියන ලදි. කථං නූතෙ තා භවිස්සන්ති යනු, ඔබ පැවිදි වූ කල්හි ඔබගේ බිරින්දෑවරු අනාථ වූවෝ පිළිසරණක් නොමැතිව කෙසේ වන්නාහුද? ඈලා අනාථ කොට, ඔබගේ පැවිදිවීම නම් නුසුදුසු ය.
ඉක්බිති බෝසත් තෙම තෙවෙනි ගාථාවක් ද කීය.
මේ තරුණ භාර්යාවරු තම තමන්ගේ කටයුතුවලින් ප්‍රකට වෙති. ඔවුහු අන් සැමියන් වෙත යනු ඇත. මම ස්වර්ගය පතමින් පැවිදි වන්නෙමි.
එහි, පඤ්ඤායිහින්ති යනු, තමන්ගේ ක්‍රියාවන්ගෙන් ප්‍රඥාවන්ත වන්නාහ. මම ඒ නිසා කුමක් කරම් ද, සියළු ළදරු කන්‍යාවෝ වෙනත් රජකු ලදුව පිහිටන්නාහ. ඔහු වෙත ඈලා යන්නාහ.
ඇමතිවරු ආදීහු බෝසතුන්ට ප්‍රතිඋත්තර දීමට නොහැකි වන්නේ ඔහුගේ මව් සමීපයට ගොස්, ඒ කාරණය දැන්වූහ. ඇය ඉක්මණින් ඉක්මණින් අවුත් දරුව, සත්‍යයක් ද? ඔබ පැවිදි වනු කැමැත්තේ දැයි කියා ගාථා දෙකක් කීවාය.
රජතුමනි! වැළපෙන්නා වූ මා කෙරෙහි කිසිදු බලාපොරොත්තුවක් නැතිව ඔබ පැවිදි වන්නේ නම්, සුතසෝමය! මම තොපගේ මව වීම් ද, එය මා විසින් නපුරු කොට ලබන ලද්දකි.
රජතුමනි! යම් හෙයකින් වැළපෙන්නා වූ මා ගැන බලාපොරොත්තු රහිතව ඔබ පැවිදිවන්නේ නම් සුතසෝමය! මම යම්බඳු වූ තොප ප්‍රසූත කළෙම් ද එය මා විසින් නපුරු කොට ලබන ලද්දක්මි මව කීවාය.
එහි දුල්ලද්ධං යනු මවිසින් මෙවැනි පුත්‍රයෙක් ලබන්නේ නම් එම උපත නපුරු ලැබීමෙක් විය. යං මෙ යනු යම් කාරණයකින් මා කෙරෙහි නොයෙක් ආකාරයෙන් විලාප දෙන්නිව ඔබ පැවිදිවීමට කැමැති වෙහි. ඒ කාරණයෙන් ඔබ වැනි පුතකුගේ ලැබීම මා ලද නපුරු ක්‍රියාවකි.
බෝසත්, එසේ විලාප දෙන්නා වූ මව සමග කිසිවක් නො කීවේය. ඇය හඬා, වැලපී, එකත්පසක සිටියාය. අනතුරුව ඔහුගේ පියාට දැනුම් දුන්හ. ඔහු පැමිණ හුදකලාව ම ගාථාවක් කීවේය.
රජතුමනි! ජරා ජීර්ණ වූ අප ගැන බලාපොරොත්තු නැතිව නුඹ පැවිදි වන්නේ නම් එය කිනම් පැවිද්දක් ද? මෙය කවර නම් මනුෂ්‍ය ධර්මයක් ද පියා ඇසීය.
එහි, යංතො අම්හෙ යනු යම් බඳු වූ ඔබ අපගේ පුත්‍රයෙකු සමාන වුයේ, අප වයසට දිරා ගිය කල පෝෂණය කළ යුතු කාලයේ පෝෂණය නොකර ප්‍රපාතයකට ගල් වැටෙන්නාක් මෙන් අත්හැර අපේක්ෂා රහිතව පැවිදිවන්නෙහි නම් ඒ නිසා එය කියමි. කොනාමෙසොතව ධම්මො යන බලාපොරොත්තුවයි.