4. සංඛපාල ජාතකය (524)
අරියසාවකොසි යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක්, පෙහෙවස් විසීමක් අරබයා වදාළ සේක. එකල ශාස්තෲන් වහන්සේ, පෙහෙවස් විසූ උපාසකයන් සතුටට පත්කොට, පුරාණ පඬිවරු මහත් වූ නාග සම්පත්තිය හැරදමා පෙහෙවස් සමාදන් වූවාහු යයි වදාරා, ඔවුන් විසින් ඉල්වන ලද්දේ අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයේ රජගහනුවර මගධ නම් රජු රාජ්යය කරවීය. එකල බෝධිසත්ත්වයෝ එම රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නෝය. දුර්යෝධන තිස්ස කුමාරයෝ යයි නම් කළහ. ඔහු නිසිවියට පත්වූයේ තක්ෂිලාවේ සියළු ශිල්ප ශාස්ත්ර හදාරා පැමිණ, පියාට ශිල්ප දැක්වීය. ඉක්බිති පියා ඔහුව රාජ්යයේ අභිෂේක කරවා, සෘෂි ප්රව්රජ්යාවෙන් පැවිදිව උද්යානයේ විසීය. බෝධිසත්ත්වයෝ දිනකට තුන්වරක් පියා සමීපයට පැමිණියහ. මහත් ලාභ සත්කාර ද උපදවූහ. හෙතෙම, එම උවදුර නිසාවෙන් කසිණ කමටහන් මාත්රයක්වත් ඉටුකර ගැනීමට නොහැකිවන්නේ මෙසේ සිතුවේය. මට ලාභසත්කාර ඉපදවීම නොකළ හැකිය. මා විසින් මෙහි වාසය කිරීමෙන් මේ කෙළෙස් ජටාව සිඳ දැමීමට නම්, පුත්රයාට නොදන්වා ම අන් තැනකට යන්නෙමියි ඔහු කිසිවෙකුට නො දන්වා උයනින් නික්ම මගධ රාජ්යය ඉක්මවා මහිංසක රටෙහි සංඛපාල නම් විලින් ගලා බසින්නා වූ කණ්ණවේන නදිය සමීපයේ චන්දක පර්වතය ඇසුරු කොට පන්සලක් කරවා, එහි වාසය කරමින් කසිණ පරිකර්මය කර ධ්යාන අභිඥා උපදවා පිඬු පිණිස හැසිරෙමින් කල්ගත කෙළේය. එවිට මේ සංඛපාල නම් නාගරාජයා මහත් වූ පිරිවර සහිතව කර්ණවේණු නදියෙන් නික්ම අතරතුර පිවිසෙයි. රජු නා රජුට ධර්මය දේශනා කළේය. ඉක්බිති ඔහුගේ පුතා පියා දකිනු කැමැත්තේ ගිය ස්ථානයක් නොදන්නේ ඒ අනුව විචාරා, අසවල් තැන වාසය කරයි යනුවෙන් දැන ඔහු දැකීම පිණිස මහත් වූ පිරිවරින් එතැනට ගොස් එක් පැත්තක කඳවුරු බැඳ ඇමතියන් කීප දෙනෙකු සමග ආශ්රමයට අභිමුඛව පිටත් විය.
ඒ මොහොතේ සංඛපාල මහත් පිරිවරින් බණ අසමින් හුන්නේය. ඔහු ඒ රජදරුවන් එනු දැක සෘෂිවරයාට වැඳ අසුනින් නැගිට ඉවතට ගියේය. රජු පියාට වැඳ පිළිසඳර කථා කොට හිඳ, විචාළේය. ස්වාමීනි, මේ කවර නම් ඇති රජකු ඔබගේ සමීපයට ආවේද? දරුව; සංඛපාල නම් නාග රජුය, ඔහු ඔහුගේ සම්පත් නිසා, නාගභවනය කෙරෙහි ආශාව උපදවා දින කීපයක් වාසය කර පියාට භික්ෂාගාරයට ඇරයුම් කර, මුළු දඹදිව් තලය නින්නාද කොට දන් දී සිල්රැක පෙහෙවස් සමාදන්ව නාග භවනය ප්රාර්ථනා කොට ආයුෂ කෙළවර නාග භවනේ උපත ලබා සංඛපාල නාග රාජයා නම් විය. හෙතෙම එසේ කාලය ගත කරන සමයේ ඔහුගේ සම්පත් අවසන් වී, එතැන් පටන් මිනිස් උපතක් ප්රාර්ථනා කරමින්, පෙහෙවස් සමාදන්ව වාසය කෙළේය. ඉක්බිති ඔහුගේ නාග භවනයේ වාසය කරන්නහුට උපෝසථ වාසය සම්පූර්ණ නොවේ. ශීල විනාශයට ද පත්වෙයි. ඔහු එතැන් පටන් නාග භවනයෙන් නික්ම, කර්ණවේණි නදිය ආසන්නයේ මහා මාර්ගයට ද පථික මාර්ගයට ද අතර, එක් තුඹසක් වටකාට, උපෝෂථය අධිෂ්ඨාන කොට ශීලය සමාදන් වූයේ මගේ හම් මස් ආදිය අවශ්ය ඇත්තාහු, සම් මස් ආදිය පැහැර ගනිත්වායි, තමන්ගේ දානාභිලාසයන් දක්වමින් තුඹස මත්තෙහි හුන්නේ ශ්රමණ ධර්මය පුරමින් දින දාහතරක් පහළොවක් වාසයකොට පිළිවෙලින් පසුව නාග භවනයට යයි.