3. අලම්බුසා ජාතකය (523)
අථබ්රවී යනු මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සේක් පුරාණ බිරිඳකගේ පෙළඹවීමක් අරබයා වදාළ සේක. කථා වස්තුව ඉන්ද්රිය ජාතකයෙහි විස්තර වේ ම ය. ශාස්තෲන් වහන්සේ වනාහි ඒ භික්ෂුවගෙන් මහණෙනි, ඔබ උකටලී වූයෙහිදැයි විචාරා, ස්වාමීනි, එය සත්යය යයි කී කල්හි, කවර දෙයකින් උකටලී වූයේ දැයි කියා පුරාණ බිරිඳ නිසා යයි කී කල්හි, මේ ස්ත්රිය නුඹට අනර්ථකාරී වූවා, නුඹ මැය නිසා ධ්යානය ද නසා, ආත්මභාව තුනක් මුළාවට පත්ව, සිහිවිකල් ව හිඳ, උපන්නා වූ හැඟීමෙන් මහා වැලපීමෙන්, හඬා වැලපුනේ යයි කියා අතීතය ගෙනහැර පෑ සේක.
අතීතයේ බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරවන්නේ බෝධිසත්ත්වයෝ කාසිරට බ්රාහ්මණ කුලයේ ඉපිද, වියපත් වූයේ සියලු ශිල්ප ශාස්ත්රවල කෙළවරට පැමිණ සෘෂි ප්රව්රජ්යාවෙන් පැවිදිව, අරණ්යායතනයක වනමුල් ගෙඩි ආහාර කොට ජීවත් වූහ. ඉක්බිති එක් මුවදෙනක් තාපසයා මුත්රා කෘත්යය කළා වූ ස්ථානයේ සම්භවයෙන් මිශ්ර වූ තණ කා ජලය පානය කළාය. එකෙණෙහිම, ඔහු කෙරෙහි බැඳුණු සිත් ඇත්තී ගර්භණී බව ලැබ එතැන් පටන් කිසිතැන නොගොස් තාපසයා සමීපයෙහි ම ඒ ඔබිමොබ හැසිරෙයි. බෝධිසත්ත්වයෝ පරීක්ෂා කරන්නේ ඒ කාරණය දැනගත්හ. ඇය කල්යාමෙන් මිනිස් කුමාරයකු වැදුවාය. බෝසත්හු ඔහු පුත්ර සෙනෙහසින් පෝෂණය කළහ. ඉසිසිංගතිස්ස යයි නම් කෙළේය. ඉක්බිති බෝසත් තෙම දැනුමෙන් වැඩිවිය පැමිණි ඔහු පැවිදි කරවා තමා මහලු කාලයේ ඔහු රැගෙන නාරිවන නම් තැනට ගොස් දරුව, මේ හිමවතෙහි මේ මල් හා සමාන ස්ත්රීහු වෙති. ඈලා තමන් වසඟයට ගිය කල්හි මහා විනාශයකට පැමිණෙත්. ඈලාගේ වසඟයට යාම නොවටී යයි අවවාද කොට, පසුකාලයේ බ්රහ්මලෝකගත විය.
ඉසිසිංගද ධ්යාන ක්රීඩා කරන්නේ ම හිමවත් පෙදෙසෙහි වාසය කෙළේය. දැඩිසේ තපස්කම් කොට මනා ලෙස දිනන ලද ඉන්ද්රිය ඇත්තේ විය. ඉක්බිති ඔහුගේ ශීල තේජසින් ශක්ර භවන ද කම්පා කෙළේය. ශක්රයා ආවර්ජනා කරන්නේ, ඒ කරුණ දැන මේ මා සකසා විචාරන්නේ එක් දෙවඟනක යවා ඔහුගේ සිල් බිඳවන්නෙමි. මුළු දෙව්ලොව ම පරීක්ෂා කරන්නේ තමාගේ අඩ කෙළක් පමණ පිරිවර දෙවඟනන් මැද, එක් අලම්බුසානම් දෙවඟන හැර, අන් තැනැත්තියක ඔහුගේ සිල් බිඳීමට සමර්ථ නොවන බව දැන, ඈ කැඳවා ඔහුගේ සිල් බිඳීම කිරීමට අණ කෙළේය. ඒ අර්ථය සිහිපත් කරමින් ශාස්තෲන් වහන්සේ පළමු ගාථාව වදාළ සේක.
වක්ත්ර නම් අසුරයා මැඩපැවැත්වූ, ජයප්රාප්ත වූ දෙවියන්ගේ පිය තනතුරෙහි වැජඹෙන්නා වූ, මහත් ආනුභාව ඇති ශක්ර තෙමේ, සුධර්මා නම් දිව්ය සභාවෙහි පරීක්ෂාකොට අලම්බුසා නම් දෙවඟනට මෙසේ කීයේය.
එහි, බ්රහා යනු මහා යනුයි. වත්රභූ යනු වත්රභූ නම් අසුරයා ඉක්මවා මැඩ පැවැත්වීමයි. ජයතං පිතා යනු ජයගන්නා වූ ජයපතන්නා වූ සෙස්සන් අතර තිස්තුනක් දේව පුත්රයන් ගේ පිය කෘත්ය සම්පාදනය කරන්නා වූ, පරාභෙත්වා යනු හදවත බිඳ බලන්නාක් මෙන්, මැය එය ඉතා සමත් යයි දැනගෙන යන අර්ථයයි. සුධම්මායං යනු, සුධර්මා නම් දිව්ය සභාවෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයේ හුන්නා වූ ඒ ශක්රයා අලම්බුසා කැඳවා මෙසේ කීවේය.
පුරුෂයන් කෙලෙස් මිශ්රණයෙන් මිශ්ර කරන හෙයින් මිස්සා නම් වූ සෘෂීන් පොළඹවාලීමේ දක්ෂ අලම්බුසාවෙනි! ශක්රයා සහිත තාවතිංසයේ දෙවිවරු ඉසිසිංග තාපසයා පෙළඹවීමට තිට යාඥා කෙරෙත්, එහි යව.
එහි මිස්සෙ යනු ඇයව ආමන්ත්රණය කර මෙය ද ඇගේ නමයි. සියළු ස්ත්රීහු පුරුෂයන් කෙලෙස් මිශ්රණයෙන් මිශ්ර කරන බැවින් මිස්සා යයි කියනු ලැබෙත්. එයින් සාධාරණ වූ ගුණ නාමයක් ලෙස ආමන්ත්රණය කරමින් මෙසේ කීවාහුය. ඉසිපලොභිකෙ යනු සෘෂිවරුන් කම්පා කිරීමෙහි කැලඹීමෙහි දක්ෂ වූ යන අර්ථයයි. ඉසිසිංගං යනු, ඔහුගේ හිස්මුදුනේ මුව අඟක ආකාරයෙන් උල් දෙකක් නැගී සිටියේය. එහෙයින් එසේ කියනු ලැබේ.
මෙසේ ශක්රයා, යව, සෘෂිසිංග වෙත එළඹ තම වසඟයට ගෙන ඔහුගේ සිල් බිඳුවවයි අලම්බුසාට අණ කෙළේය.
එම්බා අලම්බුසාවෙනි! බ්රහ්මචාරී වූ ව්රත රක්නා ඒ ඉසිසිංග තාපසයා ගුණයන්ගෙන් වැඩී සිටියි. නිවන්හි ඇලුනේය. මොහු අපගේ විෂය ඉක්මවා යන්නට පෙර ඔහුගේ දෙව්ලොව ගමන් මඟ ආවරණය කරව.
මේ වචන කීවේය.
එහි පුරායං යනු මේ තාපසයා ව්රත සම්පන්න වූයේ, බ්රහ්මචාරී ද වේ. ඔහු වනාහි දීර්ඝ ආයුෂ ඇති බැවින් නිර්වාණ සංඛ්යාත මාර්ගයෙහි මැනවින් ඇලුණේ, ගුණ වෘද්ධියෙන් වැඩුණේ, එහෙයින් මෙ තෙමේ යම්තාක් අප මැඩ මේ ස්ථානයෙන් චුත කෙරෙත්නම් ඊට පෙර එහි ගොස් යනුයි. තස්ස ඔහුගේ දෙව්ලොව ගමන, මග්ගානි ආවර යම්සේ මෙහි නො ඒ ද? එසේ කරවයි මග අහුරව යන අර්ථයයි.
ඒ අසා අලම්බුසා ගාථා දෙකක් කීවාය.