2. සරභංග ජාතකය (522)
අලඞ්කතා කුණ්ඩලිනො සුවත්‍ථා යන මෙය ශාස්තෲන් වහන්සේ, ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, මහා මුගලන් තෙරුන් වහන්සේගේ පරිනිර්වාණය අරබයා වදාළ සේක. සාරිපුත්ත තෙරුන් වහන්සේ, දෙව්රම් වෙහෙර වැඩවසන තථාගතයන් වහන්සේගෙන් සිය පිරිනිවීම අනුදන්නවා ගෙන ගොස් නාලක ගමෙහි උපන්ගෙහි දී ම පිරිනිවන් පෑ සේක. උන්වහන්සේගේ පිරිනිවන් පෑ බව අසා, ශාස්තෲන් වහන්සේ රජගහනුවරට වැඩ, වේළුවනයේ වැඩ වාසය කළ සේක. එකල්හි, මහමුගලන් තෙරුන් වහන්සේ ඉසිගිලි පර්වත ආසන්නයේ කාළසිලාවෙහි වැඩ වාසය කරති. උන්වහන්සේ සෘද්ධි බලයෙන් කෙළවර පැමිණි නිසාවෙන්, අහස් තලයේ ද පොළෝ තලයේ ද සැරිසරති. දිව්‍ය ලෝකයෙහි බුද්ධ ශ්‍රාවකයන්ගේ මහත් වූ ඉසුරු සම්පත් දැක කෙලෙස් පිරුණු අපායවල, තීර්ථක ශ්‍රාවකයන්ගේ ඉමහත් දුක් දැක, මිනිස් ලොවට වැඩමකට අසවල් උපාසකයා අසවල් උපාසිකාව ද අසවල් නම් ඇති දිව්‍ය ලෝකයේ උපත ලබන මහත් ඉසුරු සම්පත් අනුභව කරති. තීර්ථක ශ්‍රාවකයන් අතර අසවලා ද, අසවල් තැනැත්තිය ද, අපායවල අසවල් නම් අපායෙහි උපත ලද්දේ යයි මිනිසුන්ට වදාළ සේක. මිනිස්සු, ශාසනයේ පහදිත්, තීර්ථකයන් දුරු කරත්. බුද්ධ ශ්‍රාවකයන්ට ඉමහත් සත්කාර ලැබුණේ විය. තීර්ථකයන්ට ලැබෙන සත්කාර පිරිහෙයි.
ඔවුහු තෙරුන් කෙරෙහි වෛර බැඳ, මොහු ජීවත් වනතාක් කල් අපගේ උපස්ථායකයෝ බිඳෙත්. සත්කාර සම්මාන ද පිරිහෙයි. මොහුව (මුගලන් තෙරුන්ව) මරන්නෙමුයි තෙරුන්ගේ මරණය සිදුකිරීමට ශ්‍රමණගුප්ත නම් සොරාට දහසක් දුන්හ. ඔහු තෙරුන් මරන්නෙමියි මහත් පිරිවර සහිතව කාළසිලා පර්වතයට ගියේය. තෙරුන් වහන්සේ ඔහු පැමිණෙනවා දැකම සෘද්ධියෙන් උඩට නැගී පලා ගිය සේක. සොරා එදවස, තෙරුන් නොදැක, නැවතී, ඊළඟ දිනයේ දී, හයවෙනි දින ආවේය. තෙරුන් වහන්සේ එ පරිදි සෘද්ධි බලයෙන් වැඩි සේක. සත්වෙනි දිනයේ නම් තෙරුන්ගේ, පෙර කරන ලද අපරාපරියවේදනිය කර්මයකට අවස්ථාව එළඹුණි. උන්වහන්සේ වනාහී පෙරැ සසර දී, බිරිඳගේ බස් ගෙන මව්පියන් මරනු කැමැත්තේ යහනාවෙන් ම කැලයට ගෙන ගොස් සොරුන්ගේ ආකාරය හඟවා මව්පියන් දෙදෙනාට තලා පෙළා පහර දුන්නේය. ඔවුහු දෑස් දුබල නිසා, රූප දැකීම් රහිත වූවෝ ඒ තමන්ගේ පුතු බව නො අදහන්නෝ මේ සොරුන් යයි යන හැඟීමෙන්, දරුව, අසවල් නම් ඇති සොරු අපව ඝාතනය කරති. නුඹ ඉවත්ව යවයි කී. ඔහුට අවස්ථාව සලසමින් හඬා වැලපුනහ. ඔහු මෙසේ සිතීය. මොවුහු, මා විසින් තලනු ලබන්නේ ද, මගේ අර්ථ සිද්ධිය ගැන ම සිතා වැලපෙති. අයුතු වැඩක් කරමි. ඉක්බිති ඔවුන් අස්වසා සොරුන් පලායන බව හඟවා, ඔවුන්ගේ අතපය මිරිකා අම්මේ, තාත්තේ බිය නොවන්න. සොරු පලාගියෝ යයි කියා නැවත තමන්ගේ ගෙදරටම පැමිණ වීය. එම පාප කර්මය මෙ පමණ කලක් ඵල නොදී අළුයට සැඟවුණු ගිනිගුලියක් මෙන් සිට, මේ අවසන් භවයේ දී ආසන්නයට පැමිණ සිටියේය. යම්සේ බලු වැද්දකු විසින් මුවකු දැක බල්ලා පසුපස නොගොස් මුවා ලුහුබැඳ යම්තැනකට එළඹේද? එහිදී ම අල්ලා ගනියි. එසේ මේ කර්මය යම්කිසි අවස්ථාවක ඉඩක් ලබයිද? එහි දී විපාක දෙයි. ඉන් මිදුණෙක් නම් නැත.
තෙරුන් වහන්සේ, තමන් කළ කර්මය පසුපස එන බව දැන තෙරුන් වහන්සේ ඉවත්ව නොගිය සේක. උන්වහන්සේට, කර්මය පසුපස ගලා එන බැවින්, අහස උඩට නැගීමට නොහැකි විය. නන්දෝපනන්ද දමනයෙන් වෛජයන්ත ප්‍රාසාදය කම්පනය කළ උන්වහන්සේට සෘද්ධිය, කර්ම විපාක බලයෙන් දුර්වලත්වයට පත්විය. සොරා, තෙරුන්ව අල්ලාගෙන, තෙරුන්ගේ ඇට, සුන් සහල් පමණට කුඩු කරන්නේ, සිඳ කුඩුකර, පඳුරු ගොඩක් මත බහා වධ දී, මැරුනාය යන හැඟීමෙන් පඳුරු ගොඩක් මත දමා පිරිවර සහිතව නික්ම ගියහ. තෙරුන් ද, සිහිය ලැබ ශාස්තෲන් වහන්සේ වැඳ පිරිනිවන් පාන්නෙමියි සිතා, සිරුර ධ්‍යාන බලයෙන් වෙලාගෙන තදකොට අහසට නැගී අහසින් ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස්, ශාස්තෲන් වහන්සේ වැඳ, “ස්වාමීනි, මම ආයුෂ අත්හැර පිරිනිවන් පාන්නෙමියි” වදාළ සේක. “මොග්ගල්ලානයෙනි, පිරිනිවන් පාන්නෙහිද?” “එසේය ස්වාමීනි.” “කොතනට ගොසින්ද?” “ස්වාමීනි, කාලසිලා පව්වට ගොසිනි.” “එසේ වීනම් මොග්ගල්ලානය, මට ධර්මය පවසා වඩිනු මැනවි. මෙබඳු ශ්‍රාවකයකුගේ දැකීමක් දැන් නැත.” උන්වහන්සේ “ස්වාමීනි, එසේ කරන්නෙමි”යි ශාස්තෲන් වහන්සේ වැඳ, තල්ගසක පමණට අහසට නැගී පිරිනිවන්පානා දිනයෙහි සාරිපුත්ත තෙරුන් මෙන් විවිධාකාර සෘද්ධි මවා, ධර්මය පවසා ශාස්තෲන් වැඳ අටවෙනි දිනයේ දී කාළසිලාවේදී පිරිනිවන් පෑ සේක.
ඒ ක්‍ෂණයේ ම සදෙව්ලොව එකම කෝලාහලයක් විය. අපගේ ගුරුතුමා පිරිනිවන් පෑවේ යයි දිව්‍යමය සුවඳ මල් ධූප සඳුන්කුඩු ද නොයෙක් දරද ගෙන පැමිණියහ. රියන් අනූනමයක් ප්‍රමාණයේ සඳුන් චිතකයක් ද විය. ශාස්තෲන් වහන්සේ, තෙරණුවන්ගේ සමීපයේ සිට ශරීරය අත්හැරීම කළ සේක. ආදාහනය හාත්පස අවට යොදුනක් පමණ ප්‍රදේශයේ මල් වර්ෂාවක් වැස්සේය. දෙවියන් අතර මිනිස්සු ද, මිනිසුන් අතර දෙවියෝ ද සිටියහ. පිළිවෙලින් දෙවියන් අතර යක්‍ෂයෝ සිටිත්. යක්‍ෂයන් අතරෙහි ගාන්ධර්වයෝ සිටිති. ගාන්ධර්වයන් අතර නාගයෝ සිටිත්. නාගයන් අතර ගුරුළෝ සිටිත්. ගුරුළුන් අතර කින්නරයෝ සිටිත්. කින්නරයන් අතර කිඳුරෝ සිටිත්. කිඳුරන් අතර කුඩ තිබෙත්. කුඩ අතරෙන් රන්සෙමර තිබේ. රන් සෙමර අතර කොඩි තිබේ. ධජයන් අතර පතාක කොඩි තිබේ. දින හතක් යහපත් ක්‍රීඩා කළහ. ශාස්තෲන් වහන්සේ, තෙරණුවන්ගේ ධාතු ගෙන්වා ගෙන වේළුවන දොරටුව අබියස මළුවෙහි චෛත්‍යයක් ද කරවූ සේක. එකල දම් සභාවේදී කථා ආරම්භ කළහ. ඇවැත්නි, සැරියුත් මහරහතුන් වහන්සේ, තථාගතයන් වහන්සේගේ සමීපයෙහි පිරිනිවන් නොපෑයෙන් බුදුරදුන් ගේ සමීපයෙහි මහත් වූ සම්මාන නොලැබූ සේක. මහ මුගලන් තෙරුන් වහන්සේ බුදුරදුන්ගේ සමීපයෙහි පිරිනිවන්පෑ බැවින් මහත් සම්මාන ලැබූහ. ශාස්තෲන් වහන්සේ වැඩම කර, මහණෙනි, කවර කථාවකින් යුක්තව සිටියෙහුදැයි විමසා, මෙබඳු කථාවකින් සිටින්නමෝ යයි විචාරා මෙබඳු කථාවකින් යයි කී කල්හි, මහණෙනි, මහ මුගලන් තෙරුන් දැන් පමණක් නොවෙයි මගේ සමීපයෙන් සම්මාන පුද ලැබුවේ. පෙර ද ලැබුවේ යයි වදාරා අතීත කථාව ගෙනහැර පෑ සේක.