1. තෙසකුණ ජාතකය (521)
වෙස්සන්තරං තං පුච්ඡාමි, යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සේක්, කොසොල් රජුට අවවාද වශයෙන් දේශනා කළ සේක. එකල්හි රජු ධර්මශ්රවණය පිණිස පැමිණි කල්හි, බුදුරජාණන් වහන්සේ රජු අමතා, මහරජ, රජවරු නම් දැහැමින් රාජ්‍යය කරවිය යුතුයයි වදාළ සේක. යම් කලෙක්හි රජවරු අධාර්මික වෙත් ද, එකල්හි රාජ්‍ය විචාරීමද, අධාර්මික වේ යයි, චතුක්ක නිපාතයේ සඳහන් සූත්රානුකූලව අවවාද කොට, අගතියට යාමේ ආදීනව ද, අගතිගාමී නොවීමේ ආනිශංස ද, පවසා, සිහිනයකට උපමා කිරීම් ආදි න්‍යායෙන් කාමයන්හි ආදීනව විස්තර කොට, මහරජ, මෙබඳු වූ සත්ත්වයන්ට
“මාරයා සමග පොරොන්දුවක් නැත. අල්ලස් දීමක් ද නැත. යුද්ධයක් නැත. ජයක් නැත. සියලු දෙනාම මරු වසඟයට යති.”
එසේ පරලොව යන්නවුන්ට හැර, තමන් විසින් කරන ලද, යහපත් කර්ම, අන් අයට පිළිසරණක් නම් නැත. එසේ ස්වල්ප වූ වැටහීම ඒකාන්තයෙන් දුරු කළ යුතුය. කීර්තිය නිසා වැඩ ප්‍රමාද කිරීම නොවටනේය. අප්‍රමාදයෙන් යුතුව දැහැමින් රාජ්‍යය කිරීම වටනේය. පුරාණ රජවරු, බුදුවරුන් පහළ නොවූ කාලවලදී උගතුන්ගේ අවවාදයන් පිළිාගෙන ධාර්මිකව රාජ්‍යය කරවා දෙව්ලොව පුරවමින් එහි ගියාහු යයි වදාරා ඔහු විසින් අයදන ලද්දේ අතීත කථාව ගෙනහැර පෑ සේක.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය විචාරන්නේ අපුත්‍රක වැ සිටියේය. ප්‍රාර්ථනා කරන්නේ නමුත් පුතකු හේ දුවක නොලැබීය. ඔහු එක් දිනක් මහත් පිරිවරින් උයනට ගොස්, දිවා කාලයේ උයනේ සෙල්ලම් කර, මංගල සල්ගස මුල යහනාවක් අතුරා, ටික වේලාවක් නිදා, පිබිදී, සල්ගස දෙස බලා එහි කුරුලු කූඩුවක් තිබෙනු දුටුවේය. එය දැකීම් පමණින් ම ඔහුට මහත් සෙනෙහසක් උපන්නේය. ඔහු එක මිනිසකු කැඳවා “මේ ගසට නැග, මේ කූඩුවෙහි කිසිවකු ඇත්ද, නැද්ද යන වග දැනගනුවයි කීවේය. ඔහු ගසට නැග එහි කුරුළු බිජුවට තුනක් ඇති බව දැක, ඒ බව රජුට දැන්වීය. රජු එවිට, එසේ වී නම් සුළඟින් වන උවදුරු වළකා, ඒවා විසිර යා නොදී, කුඩා පෙට්ටියක පුළුන් ගොඩක් අතුරා, එහි එම බිත්තර තබා, වහාම ගසින් බැසපියායි, ගසින් බස්සවා, කුඩා පෙට්ටිය අතින් ගෙන කවර පක්ෂීන්ගේ බිත්තර වන්නේදැයි ඇමතියන්ගෙන් විචාළේය. “අපි එය නොදනිමු. වැද්දෝම ඒ බව දන්නාහු” යයි කීවාහුය. රජ වැද්දන් කැඳවා විචාළේය. වැද්දෝ පැමිණ, මහරජ, මේ බිත්තර අතර එකක්, බකමුහුණු බිජුවකි. එකක් සැළලිහිණි බිජුවකි. අනෙක ගිරා බිජුවකැයි, කීහ. එකම කැදැල්ලක කිරිල්ලියන් තිදෙනෙකුගේ බිත්තර තිබෙත්ද? මහරජ, එසේය. උවදුරක් නැති කල්හි, සුරක්ෂිතව තබන ලද්ද, නොනැසෙන්නේය. රජු සතුටු වී, මේ (බිජු) මගේ දරුවන් වන්නාහු යයි එම බිජු තුන ඇමතියන් තිදෙනෙකුට පවරා, “මේවා මගේ දරුවෝ වන්නාහ. නුඹලා මනාකොට පෝෂණය කර, බිජු කෝෂයෙන් නික්මෙන කල්හි මට දැනුම් දෙව”යි කීවේය. ඔවුහු ඒවා මනාකොට රැක්කාහ.
එම බිත්තර අතරින් පළමුවෙන්ම බකමුහුණු බිජුව බිඳුණේය. ඇමතියා එක වැද්දකු කැඳවා, ස්ත්‍රිය ද, පුරුෂ ලිංගිකයකු ද යන වග දැනගනුව යයි කියා, ඔහු විසින් ඒ බව විමසා, පුරුෂ ලිංගිකයකු බව කී කල්හි, රජු වෙත එළඹ, “දේවයන් වහන්ස, ඔබතුමාට පුත්‍රයකු උපන්නේ” යයි කීවේය. රජු අතිශය සතුටට පත්ව, ඔහුට බොහෝ ධනය පවරා දී “මගේ පුත්‍රයා මැනවින් පෝෂණය කර ඔහුට ‘වෙස්සන්තර’ යයි නම් කරන්න” යයි, පවසා පිටත් කරවීය. ඔහු එසේ කෙළේය. අනතුරුව දින කීපයකින් පසුව සැළලිහිණි බිත්තරය බින්දේය. ඒ ඇමතියා ද එය වැද්දකු කෙරෙන් විමසා, ස්ත්‍රියක යයි දැන, රජුගේ සමීපයට ගොස් “දේවයන් වහන්ස, ඔබට දියණියක් උපන්නී” යයි කීවේය. රජු සතුටට පත්වූයේ ඔහුට ද බොහෝ ධනය දී “මගේ දුව මැනවින් පෝෂණය කරව. ඇයට ‘කුණ්ඩලිනි’ යයි නම් කරව”යි කියා පිටත් කෙළේය. ඔහු ද එසේ කළේය. නැවත දින කීපයකින් පසු, ගිරා බිත්තරය බින්දේය. ඒ ඇමතියා ද වැද්දාගෙන් විමසා පිරිමියකු බව කී කල්හි, රජු සමීපයට ගොස් “දේවයන් වහන්ස, ඔබට පුතකු උපන්නේ” යයි කීවේය. රජු ද සතුටු වූයේ, ඔහුට ද, බොහෝ ධනය දී, මහත් වූ පිරිවරින් යහපතක් කොට ඔහුට ‘ජම්බුක’ යයි නම් කරන්නැයි කියා, පිටත් කරවීය. ඔහු ද එසේ කෙළේය. ඒ කුරුල්ලෝ තිදෙනා, ඇමතියන් තිදෙනාගේ ගෙවල රාජකුමාර ලීලාවෙන් වැඩෙත්. රජු ද, මගේ පුතා, මගේ දුව යයි ආමන්ත්‍රණය කරයි. ඉක්බිති රජුගේ ඇමතියෝ බලව් රජුගේ ක්‍රියා පිළිවෙත, තිරිසන් සතුන්ට ද, මගේ පුතා, මගේ දුව යයි කියමින් හැසිරෙන්නේ යයි, ඔවුනොවුහු අවඥා සහගතව සිනහ සෙති.
ඒ බව අසා, රජු මෙසේ සිතීය. මේ ඇමතියෝ ඒ මගේ පුතුන්ගේ බුද්ධි මහිමය නොදනිති. ඔවුන්ට එය පෙන්වා දෙන්නෙමියි කීය. ඉක්බිති එක ඇමතියෙකු වෙස්සන්තර සමීපයට යැවීය. නුඹගේ පියා ප්‍රශ්න විචාරීමට කැමැත්තෙන් සිටියි. කවදා අවුත් විචාරාවාදැයි ඇසීය. ඇමතියා ගොස් වෙස්සන්තරට වැඳ, එම පුවත දැනුම් දුන්නේය. වෙස්සන්තර ද, තමන්ව පෝෂණය කරන ඇමතියා කැඳවා, “මගේ පියා මගෙන් ප්රශ්ර්න විචාරීමට කැමැත්තේ ඔහු මෙහි පමුණුවා සත්කාර සම්මාන කරන්නට වටනේය. එය කවදා සිදුකරමෝදැ’යි විචාළේය. ඇමතියා ද, මෙයින් සත්වෙනි දිනයෙහි පැමිණේවා’යි, කීවේය. ඒ අසා වෙස්සන්තර ද, පියා මෙයින් සත්වෙනි දිනයෙහි පැමිණේවායි කියා ඇමතියා පිටත්කර හැරියේය. ඔහු පෙරළා පැමිණ රජුට ඒ බව දැන්වීය. රජු ද, සත්වෙනි දිනයේ, නගරයේ බෙර හඬ නංවා පුතුගේ නිවසට ගියේය. වෙස්සන්තර ද, රජුට මහත් ගරු සත්කාර කෙළේය. යටත් පිරිසෙයින් දැසි කම්කරුවන්ගේ සත්කාර ද කරවීය. රජු, වෙස්සන්තර කුරුල්ලාගේ නිවසේ දී ආහාර අනුභව කර ඉමහත් කීර්තියක් වින්දනය කර, තම නිවසට පැමිණ, රාජාංගනයේ මහා මණ්ඩපයක් කරවා, නගරයේ බෙර හඬ නංවා, අලංකාර වූ මණ්ඩපයේ මහජනයා පිරිවරා හිඳ, වෙස්සන්තරව, රැගෙන ඒවායි, ඇමතියාගේ සමීපයට පණිවිඩ යැවීය. ඇමතියා, වෙස්සන්තරව, රන් පුටුවක වාඩිකරවා, රැගෙන ආවේය. කුරුල්ලා ද, පියාගේ උකුලේ සිට පියා සමග සෙල්ලම් කර ගොස් යළිත්, මිණිපුටුවේ හිඳ ගත්තේය. ඉක්බිති ඔහුගෙන් රජු, මහජනයා මැද, රාජ ධර්ම විමසන්නේ පළමු ගාථාව කීවේය.