9. සෝමනස්ස ජාතකය (505)
කොතං හිංසති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් දෙව්දත්ගේ (බුදුරදුන්) නැසුමට කළ උත්සාහය අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ මහණෙනි, දෙව්දත් මා නැසුමට උත්සාහ ගත්තේ දැන් පමණක් නොවේ. පෙරද උත්සාහ කළේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි කුරු රට උත්තර පඤ්චාල නගරයෙහි රේණු නම් රජු රාජ්‍යය කරවීය. එකල්හි මහා රක්ඛිත නම් තවුසා පන්සියයක් තවුස් පිරිස විසින් පිරිවරන ලදුයේ හිමාලයෙහි වාසය කර ලුණු ඇඹුල් සෙවීම පිණිස චාරිකාවෙහි හැසිරෙන්නේ උතුරු පඤ්චාල නගරයට පැමිණ රජ උයනෙහි වාසය කර පිරිවර සහිතව පිඬු පිණිස හැසිරෙන්නේ රජ මාලිගයෙහි දොරටුවට පැමිණියේය. රජු තවුස් සමූහයා දැක ඉරියව් පැවැත්මෙහි පැහැදුනේ සරසන ලද මතුමහල් තලයෙහි හිඳුවා ප්‍රණීත වූ ආහාරයෙන් සංග්‍රහ කර “ස්වාමීනි, මෙම වස්කාලය මගේ උයනෙහි වසව්” යයි කියා ඔවුන් සමග උයනට ගොස් වාසස්ථානයන් කරවා පැවිදි පිරිකර දී වැඳ නික්මුනේය. එතැන් පටන් සියල්ලෝම රජමාලිගයෙහි වළඳත්. රජු දරුවන් නැත්තෙකි. පුතෙකු ප්‍රාර්ථනය කරයි. පුත්තු නූපදිත්. වැසිකාලය අවසානයේදී මහාරක්ෂිත තවුසා “දැන් හිමවත සිත්කළු වූයේය. එහිම යන්නෙමියි රජු විමසා රජු විසින් කරන ලද සත්කාර සම්මාන ඇතියේ නික්මී අතරමග මධ්‍යාහ්න කාලයෙහි මාර්ගයෙහි බැහැරව එක් ඝණ සෙවන ඇති ගසක් යට ලා තණ මත පිරිස සහිතව හුන්නේය.
තාපසයෝ “රජ මැදුරෙහි පරපුර රකින්නා වූ පුත්‍රයෙක් නැත. ඉදින් පරපුර නොසිඳ පවත්වන්නේද එවැනි වූ පුතෙකු රජු ලබන්නේ නම් මැනව”යි කථාවක් ඉපිදවූහ. මහා රක්ඛිත තවුසාද ඔවුන්ගේ කථාව අසා රජුට පුතෙක් වන්නේද නැතිනම් නොවන්නේදැයි විමසා බලනුයේ “වන්නේයයි” දැන මෙසේ කීවේය. පින්වතුනි, ඔබලා නොසිතව්. අද අළුයම් කාලයෙහි එක් දේවපුත්‍රයෙක් දෙව්ලොවින් චුත වී රජුගේ අග මෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ යයි කීවේය. ඒ අසා එක් කපටි ජටිලයෙක් දැන් රජමැදුරට හිතවත් වූවෙක් වන්නෙමෙියි සිතා තාපසයන් යන කල්හි ගිලන් වූ බවක් දක්වා වැඳ හෙව එව යමුයි කී කල්හි නොහැකි වෙමියි කීවේය. මහාරක්ඛිත තෙමේ ඔහු වැදහොත් කරුණ දැන යම්දිනක හැකි වන්නෙහිද එකල්හි පැමිණෙවයි තවුස් සමූහයා ගෙන හිමවතටම ගියේය. කුහකයාද ආපසු හැරී වේගයෙන් ගොස් රජ දොරටුවෙහි සිට මහා රක්ඛිතගේ උපස්ථායක වූ තාපසයා පැමිණියේ යයි රජුට දන්වා වහා කැඳවන ලද්දේ ප්‍රාසාදයට නැග පනවන ලද ආසනයෙහි හුන්නේය. රජු කුහක ජටිලයාට වැඳ එකත්පස්ව සිටියේ තවුසන්ගේ සුවදුක් විමසා ස්වාමීනි, වහා ආපසු හැරී කවර කරුණක් නිසා මෙහි පැමිණියේදැයි කීවේය. මහරජතුමනි, එසේය. තවුස් සමූහයා සුවසේ හුන්නේය. ඔබට යහපතක් වේවා! ඉදින් රජුට පරපුර පාලනය කරන්නා වූ පුතෙක් උපදින්නේ යයි කථාවක් ඉපිදවීය. මම ඒ කථාව අසා ඒකාන්තයෙන් රජුට පුතෙක් වන්නේ යයි දිවැසින් දකිනුයේ මහත් වූ සෘද්ධි ඇති දෙව්පුතෙක් දෙව්ලොවින් චුත වී අගමෙහෙසිය වූ සුධර්මාවගේ කුසෙහි උපදින්නේ යයි දැක (ඔබලා) නොදන්නාහු නසන්නාහු නම් නපුරුයි. ඔබලාට කියන්නෙමියි ඔබවහන්සේලාට කීම පිණිස පැමිණියේ වෙමි. ඔබට කිවයුත්ත මවිසින් කියන ලදි. මහරජතුමනි, මම යමියි කීවේය. ස්වාමීනි, යන්නට නොහැකි යයි සතුටු වූ පැහැදුන සිත් ඇති රජු කුහක තාපසයා උයනට පමුණුවා වාසස්ථානයක් පිළියෙල කර දුන්නේය. හෙතෙම එතැන් පටන් රජමාලිගයෙහි වළඳමින් වසයි. ඔහුට දිවැස් ඇත්තා යයි නමක් වීය.