10. චම්පෙය්ය ජාතකය (506)
කානුවිජ්ජුරිවාභාසි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් පෙහෙවස් සමාදන්වීම අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ “උපාසකවරුනි, පෙහෙවස් වසන්නා වූ තෙපි විසින් යහපත් වූවක් කරන ලදි. පැරණි පණ්ඩිතයෝ නාලොව සම්පත්තීන් හැර පෙහෙවස් විසුවාහුමයයි වදාරා ඔවුන් විසින් අයදින ලද්දේ අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි අඟුරට අඟු රජුද මගධ රට මගධ රජුද රාජ්යය කරවන කල්හි අඟු-මගධ රටවල් අතර චම්පා නම් නදියක් වීය. එහි නාග භවනයක් වීය. චම්පෙය්ය නම් නාරජු එහි රාජ්යය කරවීය. කිසියම්දිනක මගධ රජු අඟු රට රජු සමග යුද්ධ කර යුද්ධයෙහිදී පරාජය වූයේ අසෙකු පිට නැගී පලා යන්නේ අඟු රට රජුගේ යෝධයන් විසින් ලුහුබඳනා ලදුයේ දියෙන් පිරුණු චම්පා නදියට පැමිණ අනිකෙකු අතෙහි මරණයට වඩා නදියට පිවිස මරණය උතුම්යයි සිතා අශ්වයා සමගම නදියට බැස්සේය. එකල්හි චම්පෙය්ය නාරජු ජලය ඇතුළත රුවන්මුවා මණ්ඩපයක් මවා මහා පිරිවරින් යුතුව මහා පානයක් පානය කරයි. අශ්වයා රජු සමග ජලයෙහි කිමිදී නාරජුගේ ඉදිරියෙහි බැස සිටියේය. නාරජු අලංකාර කර සරසන ලද රජු දැක සෙනෙහෙ උපදවා අසුනින් නැගිට රජතුමනි, බිය නොවන්නයි රජු තමාගේ පළඟෙහි හිඳුවා ජලයෙහි ගිලුන කරුණ විමසීය. රජු ඇති සැටියෙන් කීවේය. ඉක්බිති ඔහුට කියනුයේ මහරජතුමනි, බිය නොවව. මම ඔබව දෙරටෙහිම ස්වාමියා කරන්නෙමියි අස්වසා සත්දිනක් මහත් වූ යසස අනුභව කර සත්වන දවස්හි මගධ රජු සමග නාග භවනයෙන් නික්මුනි. මගධ රජු නාරජුගේ මහිමයෙන් අංග රජු අල්ලාගෙන දිවි හරවා දෙරටෙහිම රාජ්යය කරවීය. එතැන් පටන් රජුගේද නාරජුගේද විශ්වාසය ස්ථිර වීය. රජු වසරක් පාසා චම්පා නදියෙහි රුවන්මය මණ්ඩපයක් කරවා මහත් වූ ධන වියදමින් නාරජුට බලිපූජා කර්මයක් කරයි. හෙතෙම මහත් වූ පිරිවර සමග නාගභවනයෙන් නික්මී පූජා කර්මය පිළිගනී. මහජනයා නාරජුගේ සම්පත්තිය බලයි.
එකල්හි බෝසත් තෙමේ දිළිඳු කුලයෙක්හි උපන්නේ රජපිරිස සමග ගංතෙරට ගොස් ඒ නාරජුගේ සම්පත්තිය දැක ආශා උපදවා එය ප්රාර්ථනය කරනු ලබනුයේ දන් දී සිල් රැක චම්පෙය්ය නාරජු කළුරිය කිරීමෙන් සත්වන දවස්හි චුත වී ඔහුගේ නිදි යහන් පහයෙහි උතුම් යහනාව මතුපිට උපන්නේය. සිරුර සමන්මල් දමක් වැනි මහත් වූවක් වීය. එය දැක විපිළිසර වී මවිසින් කළ කුසල් හේතුවෙන් කාම ස්වර්ගයන් සයෙහි සම්පත්තිය කොටුවක තැන්පත් කරන ලද ධාන්යය මෙන් වීය. ඒ මම මේ තිරිසන් යෝනියෙහි පිළිසිඳ ගත්තෙමි. මට මේ ජීවිතයෙන් කවර ප්රයෝජනයක්දැයි මරණය පිළිබඳව සිත් ඉපිදවීය. ඉක්බිති සුමනා නම් නාගමානවිකාවක් ඔහු දැක මහත් වූ තෙද ඇති සත්ත්වයෙක් උපන්නේ වන්නේ යයි සෙසු නාග මානවිකාවන්ට සංඥා දුන්නීය. ඈලා සියළු දෙනා තූර්ය භාණ්ඩයන් ගත් අත් ඇතිව අවුත් ඔහුට උපකාර කළාහුය. ඔහුගේ ඒ නාග භවනය ශක්ර භවනය මෙන් වීය. මරණය පිළිබඳ සිත යටපත් වීය. සර්ප ශරීරය අතැර සියළු අලංකාරයන්ගෙන් යුක්ත වූයේ යහන මත හුන්නේය. ඉක්බිති එතැන් පටන් ඔහුගේ යසස මහත් වූයේ වීය.
හෙතෙම එහි නාග රාජ්යය කරවන්නේ මෑත කාලයෙහි විපිළිසර වී මට මේ තිරිසන් යෝනියෙහි කවර ප්රයෝජනයක්ද, පෙහෙවස් වාසය කරමින් මිදී මිනිස් ලොවට ගොස් සත්යයන් අවබෝධ කර දුක් කෙළවර කරන්නෙමියි සිතා එතැන් පටන් ඒ ප්රාසාදයෙහිම පෙහෙවස් විසීම කරයි. අලංකාර කරන ලද නාග මානවිකාවෝ ඔහුගේ සමීපයට යති. බොහෝ කොට සිල් බිඳිති. හෙතෙම එතැන් පටන් පහයෙන් නික්මී උයනට යයි. (මානවිකාවෝ) එහිද යති. පෙහෙවස් විසීම බිඳේමය. හෙතෙම (මෙසේ) සිතුවේය. මවිසින් මේ නාග භවනයෙන් නික්මී මිනිස් ලොවට ගොස් පෙහෙවස් විසීමට වටනේයයි කියාය. හෙතෙම එතැන් පටන් පොහොය දිනයන්හිදී නාග භවනයෙන් නික්මී එක් පසල් ගමකට නුදුරෙහි තුඹසක් මත්තෙහි මගේ සමෙන් වැඩක් ඇත්තෝ සම ආදිය ගනිත්වා. මා ක්රීඩා සඳහා වූ සර්පයෙකු කරනු කැමැත්තෝ ක්රීඩා සර්පයෙකු කෙරෙත්වායි සිරුර දාන මුඛයෙහි යොමු කරවා දරණු ගසා හොත්තේ පෙහෙවස් විසීම වාසය කරයි. මහමගින් යන්නෝද එන්නෝද ඔහු දැක සුවඳ ආදියෙන් පුදා යත්. පසල් ගම්වැසියෝ මහත් වූ ආනුභාවයක් ඇති නාරජෙක් යයි ඔහු මත්තෙහි මණ්ඩපයක් කර හාත්පස වැලි අතුරා සුවඳ ආදියෙන් පිදුවාහුය. මිනිස්සු එතැන් පටන් මහබෝසතුන් කෙරෙහි පැහැදී පූජාවන් කර පුතෙකු පතති.