11. මහාපලෝභන ජාතකය (507)
බ්‍රහ්මලොකා චමිත්‍වාන යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් පිරිසිදු සිල් කිළිටිවීමක් අරභයා දේශනා කළ සේක. කථා පුවත යට විස්තර කරන ලද්දේමය. මෙහිදී ශාස්තෲන් වහන්සේ, මහණ මේ ස්ත්‍රිය නම් පිරිසිදු සත්ත්වයන්ද, කිළිටි වූවන් කරයි යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවරෙහි ආදිය චුල්ල පලෝභන ජාතකයෙහි කී පරිද්දෙන්ම අතීත ප්‍රවෘත්තිය විස්තර කටයුතුය. එකල්හි මහාබෝධි සත්ත්වයෝ බ්‍රහ්ම ලෝකයෙන් චුත වී කසී රජුගේ පුතු වී උපන්නේය. ඔහු අනිත්‍ථිගන්‍ධ කුමාරයා යි නම් වීය. ස්ත්‍රීන්ගේ අතෙහි නම් නොසිටී. පුරුෂ වේශයෙන් කිරි පොවන්නී ධාන්‍යාගාරයෙහිම වසයි. ස්ත්‍රීන් නොදකී. ශාස්තෲන් වහන්සේ ඒ බව ප්‍රකාශ කරමින් ගාථා සතරක් කීවේය.
බ්‍රහ්මලොකා චවිත්‍වාන දෙවපුත්තො මහිද්ධිකො,
රඤ්ඤො පුත්තො උදපාදි සබ්බකාම සමිද්ධිසු
1. මහත් වූ සෘද්ධි ඇති දේවපුත්‍රයෙක් බ්‍රහ්ම ලෝකයෙන් චුත වී සියළු සම්පත්තීන්ගෙන් යුක්ත වූ රජුගේ පුත්‍රයෙක් වී උපන්නේය.
2. බ්‍රහ්ම ලෝකයෙහි කාමයෝ හෝ කාම සංඥාවෝ හෝ නොවෙත්. යම්බඳු වූ හෙතෙම ඒ හැඟීමෙන්ම කාමයන් කෙරෙන් පිළිකුල් කෙරෙයි.
3.ඔහුගේ අන්තඃපුරයෙහි කරන ලද ධ්‍යානාගාරයක් වීය. හෙතෙම එහි විවේකයෙහි ඇළුනේ හුදකලාව රහසිගතව ධාන්‍ය කළේය.
4. ඒ රජු, මේ මගේ එකම පුතු කාමයන් අනුභව නොකෙරේ යයි පුත්‍ර ශෝකයෙන් පෙළුනේ වැළපුනේය.
එහි සබ්බකාම සමිද්ධිසු යනු එක් දේවපුත්‍රයෙක් සියළු කාමයන්ගෙන් සමෘද්ධිමත් වූ සම්පත්වලින් යුක්ත වූ රජුගේ පුත්‍රයෙක් වී උපන්නේය. යමාස්ස යනු යම් කුමාරයෙක් තායෙව යනු බ්‍රහ්ම ලෝකයෙහි උපන් නිසා එම ධ්‍යාන සංඥාවෙන්ම. සුමාපිතං යනු පියා විසින් මනාව සිත්කළු කර කරන ලද. රහසි ක්‍ධායථ යනු මාගමුන් නොදක්නේ වාසය කළේය. පරිදෙවෙසි යනු වැලපෙයි.
රජුගේ පස්වන වැලපීමේ ගාථාව.
5. මගේ පුත්‍රයා කවරෙක් නම් පොළඹවන්නේද යම් සේ කාමයන් ප්‍රාර්ථනය කරන්නේද මෙහිලා කවර නම් උපායයක් වේද? කවරෙක් නම් එබඳු වූ කරුණක් දනීද?
එහි කොනුඛෙත්‍ථ උපායො සො යනු මෙහිලා කවරෙක් මොහු කාමයන් අනුභව කරවන උපායය. කොනූ ඛො ඉධූපායො සො යනුද පෙළයි. අර්ථකථාවෙහි වනාහි කවරෙක් මොහු සමීපයෙහි වාසය කර පෙළඹවීමේ කරුණ දනීදැයි කියන ලදි. කොවාජානාති කිඤ්චනං යනු කවරෙක් නම් මොහු අවබෝධ කරවන කරුණු දනීදැයි අර්ථයි.
අනතුරුව බුද්ධ දේශනාවෙහි ගාථා එකහමාරකි.
6. ඒ අන්තඃපුරයෙහිම රූපයෙන් හා පැහැයෙන් යුක්ත වූ නැටුම් ගැයුම් වැයුම් හි දක්ෂ වූ ඒවායේ මනාව හික්මුණු කුමාරිකාවක් වූවාය.
ඇය එහි එළඹ රජුට මෙසේ කීවාය.
එහි අහූ යනු මහ‍ණෙනි, එ් අන්තඃපුරයෙහිම සුළු නාටිකාංගනාවන් අතර එක් තරුණ කුමාරිකාවක් වූවාය. පදකඛිණා යනු මනාව හික්මවන ලද.
ඉදින් ඔහු මගේ ස්වාමියා වන්නේ නම් මම ඔහු පොළඹවන්නේ වෙමි.
යන ගාථා අර්ධය කුමාරිය විසින් කීවාය.
එහි සචෙ භත්තා යනු ඉදින් මෙතෙම මගේ ස්වාමියා වන්නේද,
7. රජු එසේ කියන්නා වූ ඒ රාජ කුමාරියට මෙසේ කීවේය. තී ඔහු පොළඹාවා. ඔහු ඔබගේ ස්වාමියා වන්නේය යනුවෙනි.
එහිද භත්තා භවිස්සති යනු මෙතෙම ඔබගේ ස්වාමියාය. ඔබද ඔහුගේ අගමෙහෙසිය වන්නේය. යව ඔහු පොළොඹව. කාම රසය දන්වවයි කීවේය.
රජු මෙසේ කියා මැයට අවකාශ කරත්වායි ඇය කුමාරයාගේ උපස්ථාන සඳහා යැවීය. ඇය අළුයම් කාලයෙහි වීණාව ගෙන ගොස් කුමාරයාගේ යහන්ගැබ නුදුරෙහි සිට නිය අගින් වීණාව වාදනය කරන්නී මිහිරි හඬින් ගායනා කර ඔහු පෙළඹවීය. ශාස්තෲන් වහන්සේ ඒ කරුණ වදාරනුයේ මෙසේ වදාළ සේක.
8. ඇයද අන්තඃපුරයට ගොස් කාමයන් ඇසුරු කළ සිත් ඇදගන්නා වූ ප්‍රේමය ඇතිකරන විසිතුරු බොහෝ ගී කීවාය.
9. ගායනා කරනු ලබන ඒ ස්ත්‍රියගේ හඬ අසා ඔහුට කාමයන් පිළිබඳ කැමැත්ත උපන්නේය. හෙතෙම ජනයා වෙතින් විචාළේය.
10. මේ හඬ කවරෙකුගේද, ඔහු හදෘයංගමව, ප්‍රේමණීයව තව ද මගේ කනට සුව එළවන පරිදි උස්හඬින් ද පහත් හඬින් ද බොහෝකොට බෙණෙයි.
11. දේවයන් වහන්ස, මෝතොමෝ කාන්තාවකි. මෝ තොමෝ බොහෝ වූ ක්‍රීඩාවකි. ඉදින් ඔබ කාමයන් අනුභව කරන්නෙහි නම් වැඩි වැඩියක් කැමති වන්නාහුය.
12. එසේ නම් මොබට පැමිණේවා. නුදුරෙහි ගායනා කෙරේවා. යහන් ගැබට සමීපයෙහි මා වෙතැ ගායනා කෙරේවා.
13. බිත්තියෙහි පිටත ගායනා කර ධාන්‍යාගාරයට පිවිසියාය. වනයෙහි ඇතෙකු මෙන් ඔහුව ක්‍රමයෙන් බැඳ ගත්තාය.
14. ඒ කුමාරයාට කාම රසය දැනී ඊර්ෂ්‍යා ස්වභාවයක් හටගත්තේය. මම කාමයන් අනුභව කරන්නෙම් නම් අනිකෙක් කම්සැප විඳිනේ නොවේවා යනුයි.
15. ඉක්බිති කඩුවක් රැගෙන පුරුෂයන් මරන්නට පටන් ගත්තේය. මම තනිව අනුභව කරමි. අන් පුරුෂයෙක් නොවේවා යනුයි.