12. පඤ්චපණ්ඩිත ජාතකය (508)
පඤ්ච පණ්ඩිත ජාතකය මහා උම්මග්ග ජාතකයෙහි ප්‍රකට වන්නේය.
13. හත්ථීපාල ජාතකය (509)
චිරස්සං වත පස්සාම යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මහබිනික්මන අරභයා දේශනා කළ සේක. එකල්හි ශාස්තෲන් වහන්සේ මහණෙනි, තථාගතයන් වහන්සේ ගිහිගෙයින් නික්මුනේ දැන් පමණක් නොවේ. පෙරද නික්මුනේම යයි වදාරා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර ඒසුකාරී නම් රජෙක් වීය. ඔහුගේ පුරෝහිතයා ළමා කාලයෙහි පටන් ප්‍රිය යහළුවෙක් වීය. ඒ දෙදෙනාම පුතුන් නැත්තෝ වූහ. ඔවුහු එක් දිනයක සුවපහසුව හුන්නාහු “අපගේ සම්පත් බොහෝය. නමුත් පුතෙකු හෝ දුවක නැත. කවරක් කළ යුතුදැයි කථිකා කළාහුය. අනතුරුව රජු පුරෝහිතයාට මෙසේ කීවේය. යහළුව, ඉදින් ඔබගේ නිවසෙහි පුතෙක් උපදින්නේද මගේ රාජ්‍යයට හිමිකරු වන්නේය. ඉදින් මට පුතෙකු උපදින්නේද ඔබගේ නිවසෙහි ස්වාමියා වන්නේ යයි මෙසේ දෙදෙනාම ඔවුනොවුන් ගිවිසුම් කළාහුය.
ඉක්බිති එක්දිනයක පුරෝහිතයා ගම්වර ලෙසට ලද ගමට ගොස් පැමිණෙන කල්හි දකුණු දොරින් නගරයට පිවිසෙන්නේ පිටත නගරයෙහි එක් බහුපුත්තික නම් දුගී ස්ත්‍රියක දුටුවේය. ඇයට පුත්තු සත්දෙනෙකි. සියල්ලෝම නිරෝගී අය වූවාහුය. එකෙකු අත සිඟාකන කබලය. එකෙකු අත හෝනා ඇතිරිල්ලය. එකෙක් පෙරටුව යයි. එකෙක් පසුව යයි. එකෙක් මවගේ ඇඟිල්ල ගත්තේය. එකෙක් ඇකයෙහි වූයේය. එකෙක් කඳෙහිය. ඉක්බිති පුරෝහිතයා ඇයගෙන් විචාළේය. සොඳුර, මේ දරුවන්ගේ පියා කොහිදැයි, ස්වාමීනි මොවුන්ට නිරතුරු වූ පියෙක් නම් නැතැයි කීවාය. මෙබඳු වූ පුතුන් සත්දෙනෙක් කෙසේ ලැබුවාදැයි විමසීය. ඇය අන් පිළිතුරක් නොදක්නී ගම්දොර තිබූ නුගරුකක් දක්වා ස්වාමීනි, මේ නුග ගසෙහි අධිගෘහිත දෙවියන් සමීපයෙහි ප්‍රාර්ථනා කර ලැබුවෙමි. මේ දෙවඟන විසින් මට පුත්‍රයන් දෙන ලදැයි කීවාය. පුරෝහිතයා එසේ නම් තී යවයි කියා රථයෙන් බැස නුගගස මුලට ගොස් අත්තක් ගෙන සොළවා එම්බා දේවපුත්‍රය, ඔබ රජුගේ සමීපයෙන් කුමක් ලබහිද? රජු ඔබට වසරක් පාසා දහසක් වැය කර පූජාවක් කරයි. ඔහුට පුත්‍රයෙක් නොදෙහිය. මේ දුප්පත් ස්ත්‍රිය විසින් ඔබට කවර උපකාරයක් කරන ලදද, යම් හෙයකින් ඇයට පුතුන් සත්දෙනෙක් දෙන ලදි. ඉදින් අපගේ රජුට පුතෙකු නොදෙහිද මෙයින් සත්වන දින මේ නුග ගස මුල් සහිතව සිඳ කඩ කඩ කඩවන්නෙමියි වෘක්ෂ දේවතාවාට තර්ජනය කර ගියේය. හෙතෙම මෙසේ දෙවන දවස්හිදැයි පිළිවෙලින් දින හයක් කීවේය. සවන දිනයෙහි අත්ත අල්ලාගෙන වෘක්ෂ දේවතාවනි, අද එක් රැයක් පමණක් ඉතිරි විය. ඉදින් මගේ රජුට පුත්‍රයෙකු නොදෙන්නෙහිද, හෙට ඒ නුග රුක නසා නිම කරන්නෙමියි කීවේය.
වෘක්ෂ දේවතාවා විමසා බලා ඒ කරුණ ඇති පරිදි දැන මේ බමුණා පුතෙකු නොලබන්නේ මගේ විමානය නසන්නේය. කවර උපායකින් ඔහුට පුත්‍රයෙකු දෙන්නට වටනේදැයි සිව්මහ දෙව්රජුන් වෙත ගොස් ඒ බව දැන්වීය. ඔවුහු “අපි ඔහුට පුත්‍රයෙකු දෙන්නට නොහැකි වෙමුයි කීවාහුය. අටවිස්සක් සෙන්පතීන්ගේ සමීපයට ගියේය. ඔවුහුද එසේම කීවාහුය. ශක්‍ර දෙව්රජුගේ සමීපයට ගොස් කීවේය. හෙතෙම “රජු සුදුසු පුත්‍රයන් ලබන්නේද, නැතහොත් නැත්දැ”යි සලකා බලන්නේ පිනැති දරුවන් සතර දෙනෙකු දුටුවේය. ඔවුහු පෙර ආත්මභාවයෙහි බරණැස් නුවර පේෂකාරයෝ වී ඒ කර්මාන්තයෙන් ලබන ලද දෙය කොටස් පහක් කර කොටස් හතරක් පරිභෝග කළාහුය. පස්වැන්න ගෙන එකතුව දන් දුන්හ. ඔවුහු එයින් චුත වී තව්තිසා භවනයෙහි උපන්නාහුය. එතැනින් යාම දිව්‍ය ලෝකයෙහිදැයි මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙව්ලෝ සයෙහි සම්පත් අනුභව කරන්නාහු හැසිරෙති. එකල්හි මොවුන්ගේ තව්තිසා භවනයෙන් ච්‍යුත වී යාම දිව්‍යලෝකයට යන වාරය වීය. ශක්‍රයා ඔවුන් සමීපයට ගොස් කැඳවා පින්වතුනි, තොපලා විසින් මිනිස් ලොවට යන්නට වටනේය. ඒසුකාරී රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපදිව් යයි කීවේය. ඔවුහු ඔහුගේ වචනය අසා දේවයන් වහන්ස, මැනවි. යන්නෙමු. අපට රාජකුලයෙන් ප්‍රයෝජනයක් නැත. පුරෝහිතයාගේ ගෙහි ඉපදී තරුණ කාලයෙහිදීම කාමයන් අත්හැර පැවිදි වන්නෙමුයි කීවාහුය. ශක්‍රයා මැනවයි ඔවුන්ගේ ප්රතාඥාව ගෙන අවුත් වෘක්ෂ දේවතාවාට ඒ බව දැන්වීය. ඒ වෘක්ෂ දේවතාවා සතුටු වූ සිත් ඇත්තී ශක්‍රයාට වැඳ තමාගේ විමානයටම ගියාය.
පුරෝහිතයාද දෙවන දවස්හි ශක්තිමත් පුරුෂයන් රැස්කරවා වෑපොරෝ ආදිය ගෙන ගස මුලට ගොස් ගසෙහි අත්තක් ගෙන එම්බා දේවතාවිය, අයදින්නා වූ මම අද සත්වන දිනයයි. දැන් ඔබගේ කාලය නිමවීයයි කීවේය. ඉක්බිති වෘක්ෂ දේවතාවා මහත් වූ ආනුභාවයෙන් කඳෙහි වූ විවරයෙන් නික්මී මිහිරි වූ ස්වරයෙන් ඔහු අමතා බ්‍රාහ්මණය, එක් පුතෙකු සිටීවා. පුතුන් සතරදෙනෙකු දෙමියි කීවාය. මට පුතුන්ගෙන් වැඩක් නැත. අපගේ රජුට පුතෙකු දෙවයි කීවේය. ඔබටම දෙමියි කීවාය. එසේ නම් මට දෙදෙනෙකුද රජුට දෙදෙනෙකුද දෙවයි කීවේය. රජුට නොදෙමි. සිව්දෙනම ඔබටම දෙමියි කීවාය. ඔබ විසින් ලද පමණක් වන්නෝය. ගිහිගෙයි නොසිට තරුණ කාලයෙහිම පැවිදි වන්නාහු යයි කීවේය. ඔබ හුදෙක් පුතුන් දෙව. පැවිදි නොවීමට කරුණු සැකසීම අපට භාරයයි කීවේය. ඇය ඔහුට පුත්‍ර වරයක් දී තමාගේ භවනයට පිවිසියාය. එතැන් පටන් දේවතාවාට මහත් වූ සත්කාර පවතී.