8. හල්ලාටිය ජාතකය (504)
හල්ලාටියො නාම අහොසි රාජා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මල්ලිකා දේවිය අරභයා දේශනා කළ සේක. එක් දිනයක යහනාව නිසා රජු සමග ඇයගේ කලහයක් වීය. රජු කිපී ඇය දෙස නොබැලීය. ඇය මෙසේ සිතුවාය. තථාගතයන් වහන්සේ ඒකාන්තයෙන් රජු මා පිළිබඳව කිපුන බව නොදනී යනුවෙනි. ශාස්තෲන් වහන්සේ ඒ කාරණය දැන දෙවන දවස්හි භික්‍ෂු සංඝයා පිරිවරන ලදුයේ සැවැත්නුවරට පිඬු පිණිස පිවිස රජුගේ මාලිගය දොරට වැඩි සේක් රජු පෙරගමන් කර පාත්‍රය ගෙන ශාස්තෲන් වහන්සේ ප්‍රාසාදයට නංවා පිළිවෙලින් භික්‍ෂු සංඝයාද හිඳුවා දන් සඳහා පැන් පිළිගන්වා ප්‍රණීත වූ ආහාරයෙන් වළඳවා බත් කිස අවසානයෙහි එකත්පස්ව හුන්නේය. ශාස්තෲන් වහන්සේ “මහරජතුමනි, කිම මල්ලිකා දේවිය නොපෙනෙන්නේ” යයි විමසා තමාගේ සැප මදයෙන් මත් වූ හෙයිනැයි කී කල්හි මහරජතුමනි, ඔබ පෙර කිඳුරු යෝනියෙහි ඉපිද එක් රාත්‍රියක් කිඳුරිය නැතිවී අවුරුදු සත්සියයක් හඬමින් හැසුරුනේයයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර හල්ලාටිය නම් රජු රාජ්‍යය කරවන්නේ අඟුරුවල පිළිස්සූ මුවමස් කන්නෙමියි රාජ්‍යය ඇමතියන්ට පවරා දී පඤ්චායුධයන්ගෙන් සන්නද්ධ වූයේ මනාව හික්මවන ලද උසස් කුලයට අයත් බලු සමූහයාගෙන් පිරිවරන ලදුයේ නගරයෙන් නික්මී හිමවතට පිවිස ගංගා අනුව ගොස් උඩුගං බලා යන්නට නොහැකි වන්නේ එම ගඟට වැටුන එක් නදියක් දැක ඒ අනුව යන්නේ මුව-ඌරු ආදීන් මරා අඟුරුවල පිළිස්සූ මස් කමින් උස් තැනකට නැංගේය. එහි රමණීය වූ ඔයක් පිරිපුන් කළ නන පමණ ජලය ඇතිව ගලායයි. අන් දිනයන්හි දණක් පමණ ජලය ඇත්තේ වෙයි. එහි නන් වැදෑරුම් වූ මත්ස්‍යයෝ හා කැසුබුවෝ හැසිරෙති. ජලය කෙළවර රිදී පැහැගත් වැලිතලාවයි. ඉවුරු දෙකෙහි නන් වැදෑරුම් මල් හා ගෙඩිවලින් නැමුණු ගස්ය. මල් හා ගෙඩිවල රසයෙන් මත් වූ නොයෙක් පක්‍ෂීන් හා බඹර සමූහයෙන් ගැවසී ගත්තේය. නොයෙක් මුව සමූහයෙන් සෙවුනා ලද සෙවන ඇත්තේය. මෙලෙස රමණීය වූ හේමවතක නදී තෙර කිඳුරෝ දෙදෙනෙක් ඔවුනොවුන් වැළඳ සිඹ නන්වැදෑරුම් වූ ආකාරයෙන් වැලපෙන්නාහු හඬති.
රජු ඒ නදී තෙරෙන් ගන්‍ධමාදන පර්වතයට නගින්නේ ඒ කිඳුරන් දැක මේ කිඳුරෝ මෙසේ වැලපෙන්නාහු කුමක් නිසාද? ඔවුන් විමසන්නෙමියි සිතා බල්ලන් දෙස බලා අසුරු ගැසුවේය. මනාව හික්මවන ලද කුලවත් සුනඛයෝ ඒ සංඥාවෙන් ලැහැබට පිවිස කුසින් හොත්තාහුය. හෙතෙම ඔවුන්ගේ සැඟවුන බව දැන දුනු හීද වෙනත් ආයුධ ද සිටියා වූ ගස අසල තබා පියවර ශබ්දය නොකරමින් වහා ඔවුන් සමීපයට ගොස් කිඳුරනි, කවර කාරණයකින් තෙපි හඬව්දැයි විචාළේය. ඒ කරුණ දක්වන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා තුනක් වදාළ සේක.
හල්ලාටියො නාම අහොසි රාජා, රට්ඨම්පහාය මිගවං අචාරිසො,
අගමා ගිරිවරං ගන්‍ධමාදනං, සම්පුප්ඵිතං කිමපුරිසානුචිණ්ණං
1. පෙර හල්ලාටිය නම් රජෙක් වීය. හෙතෙම රට හැර මුව දඩයමට ගියේය. මනාව මල් පිපුණා වූ කිඳුරන්ගෙන් ගැවසී ගත් ගන්‍ධමාදන නම් උතුම් පර්වතයට ගියේය.
2. හෙතෙම බලු සමූහයා වලකා, දුනු හී බහා තබා වචනයක් කියනු කැමැත්තේ, යම්තැනක කිඳුරෝ සිටියාහුද එහි පැමිණියේය.
3. හේමන්ත සෘතුව අවසානයේ හේමවත නදී තීරයෙහි සිටියා වූ ඔබලා නිතර කුමක් කථා කරන්නාහුද? මිනිසුන්ට හා සමාන සිරුරු ඇති ඔබලාගෙන් විමසමු. තෙපි මිනිස් ලොව කෙසේ නම් හඳුන්වන්නහුද කියාය.
එහි සාලූර සංගං යනු බලු සමූහයායි. හිමවචයෙ යනු හේමන්ත සෘතුවෙහි සිව්මස ඉක්මීමෙහි. හෙමවතාය යනු මේ හේමවත නදී තෙර.
කිඳුරා රජුගේ වචනය අසා නිශ්ශබ්ද වීය. කිඳුරිය රජු සමග කථා කළාය.
4. වැද්ද, අපි මල්ල-පණ්ඩරක-ත්‍රිකූට යන පර්වතද සිසිල් දිය ඇති නදීන්ද අනුව හැසිරෙමු. මිනිසුන් හා සමාන ස්වරූප ඇති මෘගයෝ වෙමු. අප කිමපුරුෂයන් (කිඳුරන්) යයි දනුව.
එහි මල්ලං යනු යහළු වැද්දාණනි, අපි මේ මල්ල පර්වතයද පණ්ඩරක පර්වතයද ත්‍රිකූට පර්වතයද මේ නදීන්ද අනුව හැසිරෙමු. මල්ලාගිරිං යනුද පෙළයි. නිභාසමණ්ණා යනු මිනිසුන් හා සමානව දක්නා ලබන සිරුරු ඇත්තෝ වෙමුයි යන අර්ථයි.
අනතුරුව රජු ගාථා තුනක් කීවේය.
5. බොහෝ දුකට පත්වූවන් මෙන් වැලපෙන්නාහුය. ප්‍රියාවිය විසින් ප්‍රියයා වැළඳගත්තේ වෙහිය. මිනිසුන්ට හා සමාන ස්වරූප ඇති ඔබලාගෙන් විමසමි. කුමක් හෙයින් මේ වනයෙහිදී නොසතුටු සිත් ඇත්තාහු හඬවුද?
6. බොහෝ දුකට පත් වූවන් මෙන් වැලපෙන්නාහුය. ප්‍රියාවිය විසින් ප්‍රියයා වැළඳගත්තේ වෙහිය. මිනිසුන්ට සමාන ස්වරූප ඇති ඔබලාගෙන් විමසමි. කුමක් හෙයින් මේ වනයෙහි නොසතුටු සිත් ඇත්තාහු වැලපෙන්නහුද?
7. බොහෝ දුකට පත් වූවන් මෙන් වැලපෙන්නාහුය. ප්‍රියාවිය විසින් ප්‍රියයා වැළඳ ගත්තේ වෙහිය. මිනිසුන්ට සමාන ස්වරූප ඇති ඔබලාගෙන් විමසමි. කුමක් හෙයින් මේ වනයෙහි නොසතුටු සිත් ඇත්තාහු ශෝක කරන්නහුද?
එහි සුකිච්ඡරූපං යනු මොනවට දුකට පත් වූවාහු මෙන්. ආලිංගිතො චාසි පියො පියාය යනු ඒ ප්‍රියාවිය විසින් ඔබේ ප්‍රියයා වැළඳ ගත්තේද වෙහිය. ආලිංගියො චා සි යනුද පෙළයි. මෙම අර්ථයයි. කිමිධි වනෙ යනු මේ වනයෙහිදී කවර කරුණක් නිසා නැවත නැවත වැළඳගෙන සිඹ ප්‍රිය වූ කථාවන් කථා කර නැවත නොසතුටු සිත් ඇත්තෝ හඬව්දැයි යනුයි.