7. සත්තිගුම්බ ජාතකය (503)
මිගලුද්දො මහාරාජා යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ මද්දකුච්ඡි පර්වතයෙහි මිගදාය නම් තැන වාසය කරන සේක් දෙව්දත් අරභයා දේශනා කළ සේක. දෙව්දත් විසින් ගල් පෙරළූ කල්හි භාග්යවතුන් වහන්සේගේ පාදයන් ගල් කැබැල්ලකින් තුවාල වූ විට බලවත් වේදනාවක් උපනි. බුදුරදුන් දැක්මට බොහෝ භික්ෂූන් වහන්සේලා රැස් වූවාහුය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ රැස් වූ පිරිස දැක මහණෙනි, මේ සෙනසුන බොහෝ ගැහැට ඇති තැනකි. රැස් වූ සෙනඟ මහත් වන්නේය. මා ඇඳක තබා මද්දකුච්ඡියට ගෙන යවු යයි වදාළ සේක. භික්ෂූන් වහන්සේලා එසේ කළාහුය. ජීවකයා තථාගතයන් වහන්සේගේ පාද සුව කළේය. භික්ෂූන් වහන්සේලා ශාස්තෲන් වහන්සේ සමීපයෙහිම සිටියාහු කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, දේවදත්ත තෙමේ තෙමේද පවිටු වූයේය. ඔහුගේ පිරිසද පවිටුය. මෙසේ හෙතෙම පවිටු වූ පිරිවර ඇත්තේ වාසය කරයි යනුයි. ශාස්තෲන් වහන්සේ මහණෙනි, කුමක් කියව්දැයි විමසා මෙනම් වූවකැයි කී කල්හි මහණෙනි, දැන් පමණක් නොවේ. දෙව්දත් පෙරද පවිටු වූයේය. පවිටු වූ පිරිවර ඇත්තේ වූයේම යයි වදාරා අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි උතුරු පඤ්චාල නුවර පඤ්චාල නම් වූ රජු රාජ්යය කරවීය. මහාබෝධිසත්ත්වයෝ වනයෙහි ඒක පර්වත සානුවක ඉඹුල් වනයක එක් ගිරා රජෙකුගේ පුතෙක් වී උපන්නේය. සොහොවුරෝ දෙදෙනෙක් වූහ. ඒ පර්වතයට උඩුසුළං ඇති තැන පන්සියයක් සොරුන්ට වාසස්ථාන වූ සොරුන්ගේ ගමක් වීය. යටි සුළං ඇති තැන පන්සියයක් තවුසන්ට වාසස්ථාන වූ ආශ්රමයක් වීය. ඒ ගිරා පැටවුන්ගේ පියාපත් නික්මෙන කල්හි සුළිසුළඟක් උපන්නේය. ඒ සුළඟින් ගසාගෙන යන ලද එක් ගිරා පැටියෙක් සොරුන්ගේ ගමෙහි ආයුධ මත වැටුනේය. ඔහු එතන්හි වැටුන හෙයින් සත්තිගුම්ග යයි ඌට නම් කළාහුය. එකෙක් අසපුවෙහි වැලිතලාවෙහි මල් අතරෙහි වැටුනේය. ඌ එහි වැටුන හෙයින් පුෂ්පක යයි නම් කළාහුය. සත්තිගුම්බයා සොරුන් අතරෙහි වැඩුනේය. පුෂ්පක තවුසන් අතරෙහි වැඩුනේය.
ඉක්බිති එක්දිනයක රජු සියළු අලංකාරයන්ගෙන් සැරසුනේ උසස් රථයකට නැගී මහත් වූ පිරිවර සමග මුව දඩයම සඳහා නුවරින් නුදුරෙහි මනාව පිපියා වූ ඵල දැරූ සිත්කළු සමීප වනයට ගොස් යමෙකුගේ පැත්තෙන් මුවා පලායයිද ඔහුටම හෙතෙම දඩ යයි කියා රථයෙන් බැස සඟවා දුන් කොටුවෙහි දුන්න රැගෙන සිටියේය. පුරුෂයන් විසින් මුවන් නැගිටුවීම සඳහා වනලැහැබ් තලනු ලබන කල්හි ඒක පිණිමුවෙක් නැගිට පලායන මාර්ගයක් බලනුයේ රජු හුන් තන්හිම අවකාශ ඇති බව දැක ඔහුට අභිමුඛ වූයේ පැන පලා ගියේය. ඇමතියෝ කවරෙකුගේ පැත්තෙන් මුවා පලාගියේ දැයි විමසන්නාහු රජුගේ පැත්තෙන් යයි දැන රජු සමග විහිළු කළාහුය. රජු තමා පිළිබඳ අහංකාරයෙන් ඔවුන්ගේ විහිළු නොඉවසන්නේ දැන් ඒ මුවා ගන්නෙමියි රථයට නැග වහා මෙහෙයවයි රියදුරාට අණ කර මුවා විසින් ගිය මගට පිළිපන්නේය. වේගයෙන් යන්නා වූ රථය ලුහුබඳින්නට පිරිසට නොහැකි විය. රියදුරා දෙවැනි කොට ඇති රජු මධ්යාහ්නය දක්වා ගොස් මුවා නොදැක ආපසු හැරුනේ සොරුන්ගේ ගම සමීපයෙහි සිත්කළු දිය කඳුරක් දැක රියෙන් බැස නා ජලය පානය කර ගොඩට පැමිණියේය. ඉක්බිති රියදුරා රථයේ උඩ ඇතිරිළි බහා ගස් සෙවනක පැනවීය. හෙතෙම එහි හොත්තේය. රියදුරාද ඔහුගේ පාදයන් සම්භාහනය කරමින් හුන්නේය. රජු අතරින් අතර නිදයිද පිබිදෙයිද වේ.
සොර ගම වැසි සොරුද රජුගේ ආරක්ෂාව පිණිස වනයටම පිවිසියාහුය. සොරගමෙහි සත්තිගුම්බ ද බත් පිසින්නා වූ පතිකොලම්බ නම් එක් පුරුෂයෙක්දැයි දෙදෙනෙක් විසූහ. එකෙනෙහි සත්තිගුම්බයා නිදන්නා වූ රජු දැක මොහු මරා ආභරණයන් ගන්නෙමුයි සිතා පතිකෝළම්බයා සමීපයට ගොස් ඒ කරුණ දැන්වීය. ඒ කරුණ ප්රකාශ කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ගාථා පහක් දේශනා කළ සේක.
මිගලුද්දො මහාරාජා - පඤ්චාලානං රථෙසභො,
නික්ඛන්තො සහ සෙනාය - ඔගණො වනමාගමා
නික්ඛන්තො සහ සෙනාය - ඔගණො වනමාගමා
1. පඤ්චාල වැසියන්ගේ ප්රධානී වූ මුව දඩයම් කරන්නා වූ මහරජු සේනාව සමග නික්මුනේ පිරිසෙන් ගිලිහුනේ වනයට පිවිසියේය.
2. ඒ වනයෙහි සොරුන් විසින් කරන ලද කුටියක් රජු දුටුවේය. එක් ගිරවෙක් ඒ කුටියෙන් නික්මී නපුරු වචන කියයි.
3. අශ්ව වාහනයෙන් සමන්විත වූ මොනවට මට වූ කුණ්ඩලාභරණ ඇති රක්ත වර්ණ නළල්පටින් යුත් ඒ පුරුෂයා දවල් කාලයෙහි සූර්යයා මෙන් බබලයි යනුවෙන් ගිරවා කියයි.
4. මේ මධ්යාහ්නයෙහි රියදුරු සහිත වූ ඒ රජු නිදයි. එම්බල අපි මොහුගේ ආභරණ සියල්ල බලහත්කාරයෙන් ගනිමු.
5. රියදුරු සහිත වූ රජු මේ මධ්යහ්නයෙහිද රාත්රියෙහි මෙන් නින්දට වන්නේය. වස්ත්රයද මැණික්මය කුණ්ඩලාභරණයද ගෙන නසා කොළ අතුවලින් වසා දමමු යි.
එහි මිගලුද්දො යනු වැද්දෙකු මෙන් මුවන් සොයන හෙයින් මුව වැද්දා යයි කියන ලදි. ඔගණො යනු පිරිසෙන් වෙන් වී. තක්කරානං කුටිං කතං යනු ඒ රජු එම වනයේ සොරුන්ගේ වාසස්ථානය සඳහා කරන ලද කඳවුරක් දුටුවේය. තස්සා යනු ඒ සොරුන්ගේ කුටියෙන්. ලුද්දානි භාසති පතිකොලම්බ සමග දරුණු වචන කියයි. සමපන්නවාහනො යනු අශ්ව වාහනයකින් යුත්. ලොහිතුණ්හීසො යනු රතුපාට නළල් පටින් යුක්ත වූ. සම්පටිකෙ දැන් මෙබඳු වූ එළඹ සිටි මධ්යාහ්න කාලයෙහි යන අර්ථයි. සාහසෙන සැහැසි ලෙස බලහත්කාරකම් කර ගනිමු යයි කියයි. නිසීථෙපි රහොදානි රාත්රියෙහිද දැනුදු රහස් ලෙස මෙය කියයි. යම්සේ මිනිස්සු විඩාපත් වූවාහු රාත්රියෙහි මධ්යම යාමයෙහි නිදත්ද. රහසිගත වෙයිද දැන් මධ්යාහ්නයෙහිද එසේම නිදයි. හනත්වාන යනු රජු මරා මොහුගේ වස්ත්ර ආභරණ ගෙන අනතුරුව ඔහු පාදයන්ගෙන් ගෙන පැත්තකට ඇද දමා අතුවලින් වසා දමමු.
හෙතෙම මෙසේ කියා වරක් නික්මෙයි. වරක් පතිකෝළම්බ සමීපයට යයි හෙතෙම ඔහුගේ වචනය අසා නික්මී බලන්නේ රජු බව දැන බියට පත් වූයේ.
6. සත්තිගුම්බය, උමතු වූවෙකු මෙන් කිම දොඩවන්නෙහිද? රජවරු වනාහි දැල්වෙන ගින්නක් මෙන් ලංවිය නොහැක්කෝ වෙති. යන ගාථාව කීවේය.