3. සිවි ජාතකය (499)
දූරෙ අපස්සං ථෙරො වා යන මෙය ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් අසදෘශ දානය අරභයා වදාළ සේක. එය අටවෙනි නිපාතයෙහි සෝවීර ජාතකයෙහි විස්තර කරන ලද්දේමය. එකල්හි රජු සත්වන දවස්හි සියළු පිරිකර දී අනුමෝදනාව අයැද සිටියේය. ශාස්තෲන් වහන්සේ නොකොටම වැඩි සේක. රජු අනුභව කරන ලද උදය ආහාර ඇත්තේ විහාරයට ගොස් “ස්වාමීනි, කුමක් හෙයින් අනුමෝදනාව නොකරන ලද්දේදැයි” කීවේය. මහරජතුමනි, පිරිස අපිරිසිදු යයි වදාරා “න වෙ කදරියා දෙවලොකං වජන්ති” (දැඩි මසුරෝ දෙව්ලොවට නොයත්) යන ගාථාවෙන් ධර්මය දේශනා කළ සේක. රජු පැහැදී ලක්ෂයක් වටනා සීවෙය්යක උතුරු සළුවෙකින් තථාගතයන් වහන්සේ පුදා නගරයට පිවිසියේය. දෙවන දවස්හි දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, කොසොල් රජු අසදෘශ දානය දී එබඳු වූ දානයෙන්ද අතෘප්තිමත් වූයේ දසබලධාරීන් වහන්සේ විසින් ධර්මය දේශනා කළ කල්හි නැවත ලක්ෂයක් වටිනා සීවෙය්යක වස්ත්රයක් දුන්නේය. යම්හෙයකින් ඇවැත්නි, රජු දානයෙන් අතෘප්තිමත් වූයේම යයි කීවාහුය. ශාස්තෲන් වහන්සේ වැඩමවා මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, බාහිර උපභෝග-පරිභෝග වස්තු දීම මනාව දුන්නේ වේ. පැරණි පණ්ඩිතයෝ මුළු දඹදිව නඟුල් මත බඳවා දිනපතා ලක්ෂ හයක් පරිත්යාග කරවීමෙන් දන් දෙනු ලබන්නාහු බාහිර වස්තු දීමෙන් අතෘප්තිමත් වූවාහු ප්රිය වූවක් දන් දෙන තැනැත්තා ප්රිය වූවක්ම ලබයි යයි වදාරා අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
පෙර සිවිරට අරිට්ඨ පුරයෙහි සිවි මහරජු රාජ්යය කරවන කල්හි මහ බෝසත් තෙමේ ඔහුගේ පුත්රයා වී උපන්නේය. ඔහුට සිවි කුමාරයා යයි නම් කළාහුය. හෙතෙම වැඩිවියට පත් වූයේ තක්සලාවට ගොස් ඉගෙන ගන්නා ලද ශිල්ප ඇත්තේ අවුත් පියාට ශිල්ප දක්වා යුවරජ තනතුර ලැබ මෑත කාලයෙහි පියා ඇවෑමෙන් රජ වී අගතිගාමී වීම හැර දසරාජ ධර්මයන් කෝප නොකර දැහැමිව රාජ්යය කරවන්නේ සිව්දොරද නගරය මැදද මාළිගය දොරටුවෙහිද යයි දාන ශාලා සයක් කරවා දිනපතා සය ලක්ෂයක් වියදම් කර මහදන් පැවැත්වීය. අටවක, තුදුස්වක, පසළොස්වක දිනයන්හි නිරතුරුව දාන ශාලාවට ගොස් දානය පිරික්සා බැලීය. හෙතෙම එක් එක් පසළොස්වක දිනයක උදෑසනම ඔසවන ලද සේසත් ඇති සිංහාසනයෙහි හුන්නේ තමා විසින් දෙන ලද දානය ආවර්ජනා කරන්නේ බාහිර වස්තූන් අතර තමා විසින් නොදෙන ලද්දක් නැත. බාහිර දේ දන්දීම මා සතුටු නොකරයි. මම අධ්යාත්මික දානයක් දෙනු කැමැත්තේ වෙමි. අහෝ ඒකාන්තයෙන් අද මා දාන ශාලාවට ගියකල්හි බාහිර වස්තුවක් නොඉල්ලා අධ්යාත්මික වූවක් ගන්නේ නම් මැනවි. ඉදින් කිසිවෙක් මගේ හදවතේ මස් ගන්නේ නම් හෙල්ලකින් හදවත පහරා පැහැදිලි ජලයෙන් නටුව සහිත පියුමක් උදුරන්නාක් මෙන් ලේ බින්දුන් වගුරන්නා වූ හදවත බැහැරකොට දෙන්නෙමි. ඉදින් සිරුරු මස් ගන්නේ නම් සූරා දැමීමේ ආයුධයකින් තෙලින් බඳිනා ලද අඟක් ලියන්නාක් මෙන් සිරුරු මස් බස්වා දෙමි. ඉදින් කිසිවෙකු මගේ ලේ ගන්නේ නම් යන්ත්රයක් අභිමුඛයෙහි පැනවැදී එළවන ලද භාජනය පුරවා ලේ දෙන්නෙමි. ඉදින් කිසිවෙක් මගේ නිවසෙහි කර්මාන්තයන් නොපවතී. මගේ නිවසෙහි දාසබව කරවයි කියන්නේ නම් මේ රාජවේශය ඉවත්කර පිටත සිට තමා දාස කටයුතු කරන්නෙමි. ඉදින් කිසිවෙක් මගේ ඇස් ගන්නේ නම් තල්මිදුළු බැහැර කරන්නාක් මෙන් දෙන්නෙමියි සිතුවේය.
මෙසේ හෙතෙම මවිසින් නොදෙන ලද මානුෂීය වූ කිසි දානයක් නොවේ. යමෙකු මගේ ඇස ඉල්වයි නම් කම්පා නොවූයේ (එයද) දෙන්නේය.
යයි සිතා සුවඳ දිය සොළොස් කළයක් නා සියළු අලංකාරයන්ගෙන් සැරසුනේ නොයෙක් උතුම් රස ආහාර වළඳා අලංකාර කළ ඇතෙකු පිට නැගුනේ දන්හල කරා ගියේය. ශක්රයා ඔහුගේ අදහස දැන සිවිරජු අද පැමිණි යාචකයන්ට ඇස් උපුටා දෙන්නෙමියි සිතීය. දෙන්නට හැකි වන්නෙහිද, නැතහොත් නැත්දැයි ඔහු විමසනු සඳහා ජරාවට පත් වූ අන්ධ බ්රාහ්මණයෙක් මෙන් වී රජු දන්ශාලාව වෙත යනකල්හි එක් උස් පෙදෙසක සිට අත දිගහැර රජුට ජය පතා සිටියේය. රජු ඔහුට අභිමුඛව ඇතු මෙහෙයවා බ්රාහ්මණය, කුමක් කියහිදැයි විචාළේය. ඉක්බිති ශක්රයා ඔහුට (කියනුයේ) මහරජතුමනි, ඔබගේ දන් දීමේ අදහස නිසා උපන්නා වූ කීර්ති ඝෝෂාවෙන් නිරතුරුව සියළු ලොව පැතිර ගියේය. මමද අන්ධයෙක් වෙමි. ඔබ ඇස් දෙකක් ඇත්තෙකැයි කියා ඇසක් ඉල්ලන්නේ පළමු ගාථාව කීවේය.
දූරෙ අපස්සං ථෙරොව චක්ඛුං යාචිතුමාගතො,
එකනෙත්තා භවිස්සාම චක්ඛුං මෙ දෙහි යාචිතො
එකනෙත්තා භවිස්සාම චක්ඛුං මෙ දෙහි යාචිතො
1. කිසිවක් නොදක්නා වූ මහල්ලෙකු මෙන් ඇසක් ඉල්වන්නට දුර සිට පැමිණියෙමි. (අපි දෙදෙනම) එක් ඇසක් ඇත්තෝ වන්නෙමු. ඉල්ලන්නා වූ මට එක ඇසක් දෙව යි.
එහි දූරෙ යනු මෙයින් ඈත වසන්නෙමි. ථෙරො යනු ජරාවෙන් දිරාගිය මහල්ලෙක්. එකනෙත්තා යනු එක ඇසක් මට දෙව. මෙසේ අපි දෙදෙනාම එක් ඇසක් ඇත්තෝ වන්නෙමු.
මහබෝසත් තෙමේ එය අසා දැන් මම ප්රාසාදයෙහි හුන්නෙමි. මෙසේ සිතා ආවේ වෙමි. මගේ ලැබීම පුදුමයි. ඒකාන්තයෙන් අද මගේ සිතැඟි මස්තකප්රාප්ත වන්නේය. මින් පෙර නොදුන් දානයක් දෙන්නෙමියි සතුටු සිත් ඇත්තේ දෙවන ගාථාව කීවේය.
2. දිළින්ද! කවරෙකු විසින් අනුශාසනා කරන ලද්දේ ඇස් ඉල්ලීම සඳහා මෙහි පැමිණියේ වෙහිද? යම් හෙයකින් පුරුෂයා විසින් ඇස අපහසුවෙන් හල යුතුයයි කීවාහුද අතිශයින් අත්හැරීම අපහසු වූ උතුම් අවයවයක් වූ ඇස ඉල්වන්නෙහිය.
එහි වණිබ්බකා යයි ඔහු අමතයි. චක්ඛුපථානි යනු මේ ඇස්වලට එක් නමකි. යමාහු යනු පණ්ඩිතයෝ යමක් අත්හැරීම අපහසු යයි කියත්ද?
මින් පසුව ප්රකට සම්බන්ධතා ඇති ගාථාවෝ පෙළෙහි වූ පිළිවෙලින්ම දත යුත්තාහ.
3. දෙවියන් අතර යමෙකුට සුජම්පතී යයි කියත්ද? මිනිස් ලොවදී ඔහුට “මඝවා” යයි කියත්. ඔහු විසින් අනුශාසනා කරන ලද දුගී වූ මම ඇස් ඉල්ලීමට මෙහි පැමිණියේ වෙමි.
4. ඉල්ලීම් අතර මගේ ඉල්ලීම ඉතා උසස්ය. ඉල්ලන්නා වූ මට ඇස් දෙව. යම් හෙයකින් පුරුෂයා විසින් ඇස අපහසුවන් හල යුතුයයි කීවාහුද උතුම් වූ ඇස මට දෙව.
5. යම් කරුණක් බලාපොරොත්තු වෙමින් යම් ප්රයෝජනයක් සඳහා පැමිණියේද ඔබගේ ඒ අදහස් සමෘද්ධ වේවා! බ්රාහ්මණය ඇස් ලබව.
6. එක් ඇසක් ඉල්වන්නා වූ ඔබට මම ඇස් දෙකම දෙමි. මහජනයා බලා සිටියදීම ඇස් ඇත්තෙක් වී යව. ඔබ යමක් කැමති වන්නෙහිද ඔබගේ ඒ අදහස සමෘද්ධ වේවා!