4. සිරිමන්‍ද ජාතකය (500)
පඤ්ඤායුපෙතං සිරියා විහීනං යන මේ සිරිමන්ද ප්‍රශ්නය මහා උම්මග්ග ජාතකයෙහි පෙනෙන්නේය.
5. රෝහන්තමිග ජාතකය (501)
එතෙ යුථා පටියන්ති යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වාසය කරන සේක් ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ගේ ජීවිත පරිත්‍යාගය අරභයා දේශනා කළ සේක. ඔහුගේ ඒ ජීවිත පරිත්‍යාගය අසූවන නිපාතයෙහි චුල්ලහංස ජාතකයෙහි ධනපාල ඇතු දමනයෙහි ප්‍රකට වන්නේය. මෙසේ ආයුෂ්මත් වූ ඒ ආනන්ද තෙර විසින් ශාස්තෲන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කල කල්හි දම්සභාවෙහි කථාවක් ඉපිදවූහ. ඇවැත්නි, ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ ශෛක්‍ෂ ප්‍රති සම්භිදාප්‍රාප්තව සිටියේ වීද දසබලධාරීන් වහන්සේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරයි යනුවෙනි. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කවරනම් කථාවකින් යුක්තව හුන්නාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, මෙතෙම මා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කලේ දැන් පමණක් නොවේ. පෙරද ජීවිත පරිත්‍යාග කළේම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවීය. ඔහුගේ අග මෙහෙසිය ඛේමා නම් වීය. එකල්හි බෝධිසත්ත්වයෝ හිමවත පෙදෙසෙහි මුව යෝනියෙහි ඉපදී රන්වන් වූයේය. ශෝභාවෙන් යුක්ත වීය. ඔහුගේ බාල සොහොයුරිය සුතනා නම් වූවා රන්වන්ම වූවාය. මහබෝසත් තෙමේ රෝහන්ත නම් මුව රජු වීය. හෙතෙම හිමාලයෙහි පර්වත සානු දෙකක් ඉක්මවා තුන්වැන්න අතරෙහි රෝහන්ත නම් විල ඇසුරුකොට අසූදහසක් මුවන් පිරිවරකොට ඇත්තේ වාසය කළේය. හෙතෙම අන්ධ වූ වයෝවෘද්ධ මව්පියන් පෝෂණය කළේය. ඉක්බිති බරණැස් නුවරින් නුදුරෙහි වැදිගම් වැසි එක් වැදි පුත්‍රයෙක් හිමවතට පිවිසියේ මහබෝසතුන් දැක තමාගේ ගමට අවුත් මෑත කාලයෙහි කළුරිය කරන්නේ තම පුතුට “දරුව, අපගේ දඩයම් බිමෙහි අසවල් තැන රන්වන් මුවෙක් වසයි. ඉදින් රජු විමසයි නම් කියවයි” දැන්වීය.
ඉක්බිති එක් දවසක් ඛේමා දේවිය අළුයම් කාලයෙහි සිහිනයක් දුටුවාය. මෙබඳු වූ සිහිනයක් වීය. රන්වන් මුවෙක් රන් පුටුවක හිඳ රන් කිකිණි හඬවන්නාක් මෙන් මිහිරි හඬින් දේවියට ධර්මය දේශනා කළේය. ඇය සාධුකාර දී ධර්මය අසයි. මුවා ධර්මකථාව නොනිමි කල්හිම නැගිට යයි. ඇය මුවා අල්ලා ගනිව්. මුවා අල්ලා ගනිව් යයි කියන්නීම පිබිදියාය. පරිවාර ස්ත්‍රීහු ඇයගේ ශබ්දය අසා ගෙය වසන ලද දොර ජනෙල් ඇත්තේය. සුළඟටද අවකාශ නැත. ස්වාමි දියණිය මුවෙකු අල්ලා ගන්වන්නේ යයි අවමන් කර සිනාසුනාහ. ඇය එකෙනෙහිම මෙය සිහිනයකැයි දැන මෙසේ සිතුවාය. සිහිනයකැයි කී කල්හි රජු නොසැලකිලිමත් වන්නේය. දොළදුකක් යයි කී කල්හි සැලකිල්ලෙන් සොයන්නේය. රන් මුවෙකුගේ ධර්මකථාව අසන්නෙමියි කීවාය. ඇය ගිලනෙකු මෙන් වී හොත්තේය. රජු අවුත් සොඳුර කිම ඔබට අපහසුවක්දැයි විචාලේය. දේවයන් වහන්ස, අනිකක් නැත. මට දොළදුකක් උපන්නේය. කුමක් කැමති වන්නෙහිද? දේවයන් වහන්ස, රන්වන් වූ දැහැමි මුවෙකුගේ ධර්මය අසන්නට යයි කීවාය. සොඳුර, යමක් නොවේද ඔබගේ දොළදුක එහි උපන්නේය. රන්වන් මුවෝ නැත්තේම යයි කීවේය. ඇය කියන්නී ඉදින් නොලබමිද මෙහිම මගේ මරණය වේයයි රජුට පිටුදී හොත්තීය.
රජු “ඉදින් ඇතිද ලබන්නෙහි යයි පිරිස මැද හිඳ මයුර ජාතකයෙහි කී පරිද්දෙන්ම අමාත්‍යයන්ගෙන්ද බ්‍රාහ්මණයන්ගෙන්ද විමසා රන්වන් මුවෝ වෙත් යයි අසා වැද්දන් රැස් කරවා කවරෙකු විසින් මෙවැනි මුවෙකු දක්නා ලදද කවරෙකු විසින් අසන ලදදැයි විමසා ඒ වැදිපුත්‍රයා විසින් පියා සමීපයෙන් අසන ලද ක්‍රමයෙන් කී කල්හි යහළුව, තොප ඒ මුවා ගෙන ආ කල්හි මහත් වූ සත්කාර කරමි. යව ඌ ගෙන එවයි කියා මගවියදම් දී ඔහු පිටත්කර යැවීය. හෙතෙමේද ස්වාමීනි, ඉදින් මම ඌ ගෙන ඒමට නොහැකි වන්නෙමිද ඌගේ සම හෝ ගෙන එමි. එය ගෙන එන්නට නොහැකි වන්නෙම් ඌගේ ලොම් හෝ ගෙන එන්නෙමි. ඔබවහන්සේ නොසිතුවයි කියා නිවසට ගොස් අඹුදරුවන්ට වියදම් දී එහි ගොස් ඒ මුව රජු දැක කවර නම් තැනක මලපුඩුව එල්වා මොහු අල්ලා ගන්නට හැකි වන්නෙමි දැයි විමසන්නේ පැන්තොටෙහි අවකාශ දුටුවේය. ඔහු දැඩි සම්යොතක් අඹරා මහ බෝසතුන් පැන් බොන තැන රිටකින් පුඩුව එල්වීය.