2. චිත්තසම්භූත ජාතකය (498)
සබ්බ නරානං සඵලං සුචිණ්ණං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් ආයුෂ්මත් මහා කාශ්‍යප තෙරුන්ගේ ප්‍රිය වූ සද්ධිවිහාරිකයන් දෙදෙනෙක් අරභයා දේශනා කළ සේක. ඔවුනොවුන් නොබෙදූ සම්පත් ඇති ඒ දෙදෙනා ඉතා විශ්වාසවන්තයෝ වූහ. පිඬු පිණිස හැසිරෙන්නාහුද එකටම යත්. එකටම පෙරළා පැමිණෙති. වෙන්ව සිටින්නට නොහැකි වෙත්. දම්සභාවෙහි රැස් වූ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ විශ්වාසය වර්ණනා කරමින් හුන්නාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, මෙහි කවර කථාවකින් හුන්නාහුදැයි විමසා මෙනම් වූවෙකැනැයි කී කල්හි මහණෙනි, මොවුන්ගේ එක් ආත්මභාවයෙක්හි විශ්වාසය විශ්වාසී බව පුදුමයක් නොවේ. පෙර පණ්ඩිතයෝ භවාන්තරයන් තුනක් යන්නාහුද මිත්‍රබව නොබින්දාහුම යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි අවන්ති රට උදේනියෙහි අවන්ති නම් මහරජු රාජ්‍යය කරවයි. එකල්හි උදේනි නගරයෙන් පිටත සැඩොල් ගමක් වෙයි. මහබෝසත් තෙමේ එහි උපන්නේය. අන් සත්ත්වයෙක්ද ඔහුගේ මවගේ සහෝදරියගේ පුතෙක් වී උපන්නේය. ඔවුන් අතර එකෙක් චිත්ත නම් වීය. එක් අයෙක් සම්භූත නම් වීය. ඒ දෙදෙනාම සුදුසු වයසට පත්වූයේ චණ්ඩාලවංශධොවන නම් ශිල්පයක් ඉගෙන ගෙන එක් දිනක් උදේනි නගර දොරටුවෙහි ශිල්ප දක්වන්නෙමුයි එක් අයෙක් උතුරු දොරටුවෙහි ශිල්ප දැක්වීය. එක් අයෙක් පෙරදිග දොරටුවෙහි ශිල්ප දැක්වීය. එම නගරයෙහි දිට්ඨමංගලිකාවෝ දෙදෙනෙක් වූහ. එකියක් සිටු දියණියකි. එකියක් පුරෝහිත දියණියයි. ඈලා බොහෝ කෑම් බීම් මල් ගඳ විලවුන් ආදිය ගෙන්වාගෙන උයන් ක්‍රීඩා කරන්නෙමියි එකියක් උතුරු දොරටුවෙන් නික්මුණාය. එකියක් පෙරදිග දොරටුවෙන් නික්මුනාය. ඈලා ශිල්ප දක්වන්නා වූ සැඩොල් පුත්‍රයන් දැක මොවුහු කවුරුන්දැයි විමසා සැඩොල් පුත්‍රයෝ යයි අසා නොදැකිය යුත්තක් ඒකාන්තයෙන් දුටුවෝම යයි සුවඳ දියෙන් ඇස් සෝදා ආපසු හැරුනාහුය. මහජනයා එම්බා දුෂ්ට චණ්ඩාලයනි, අපි නුඹලා නිසා මිල නැති (නොමිලේ ලැබෙන මත්පැන්-බත් ආදිය නොලැබුවෝ වෙමු. සොහොයුරන් දෙදෙනාම තලා මහත් වූ විපතට පැමිණවීය.
ඔවුහු ලබන ලද සිහිසන් ඇත්තෝ නැගී සිට එකිනෙකාගේ සමීපයට යන්නාහු එක් තැනෙක්හිදී එකතු වී එකිනෙකාට එම දුක් ඉපදීම දන්වා හඬා කුමක් කරමුදැයි සිතා මෙය අපගේ ජාතිය නිසා උපන් දුකෙකි. සැඩොල්කම් කරන්නට නොහැක්කෙමි. ජාතිය සඟවා බ්‍රාහ්මණ මානවකයන්ගේ වේශයෙන් තක්ෂිලාවට ගොස් ශිල්ප උගන්නෙමුයි සනිටුහන් කර එහි ගොස් දැහැමි අතවැසියන් වී දිසාපාමොක් ආචාරීන්ගේ සමීපයෙහි ශිල්ප උගත්තාහුය. දඹදිව්හි සැඩොලන් දෙදෙනෙක් ජාතිය සඟවා ශිල්ප උගන්නාහු යයි අසනු ලැබූහ. ඔවුන් අතර චිත්ත පණ්ඩිතයාගේ ශිල්ප ඉගෙනීම අවසන් වීය. සම්භූතගේ නිම වූයේ නොවේමය.
ඉක්බිති එක් දිනයක ගම්වැසි එක් අයෙක් බමුණන් ලවා වේද පාඨ කියවීම කරන්නෙමියි ආචාර්යවරයාට ආරාධනා කළේය. එදවස රාත්‍රියෙහි වැසි වැස මාර්ගයෙහි කඳුරාදිය පිරුනේය. ආචාර්යවරයා උදෑසනම චිත්‍ර පණ්ඩිතයා කැඳවා දරුව, මම යන්නට නොහැක්කෙමි. ඔබ මානවකයන් සමග ගොස් මංගල වාක්‍ය කියා ඔබලා විසින් ලබන ලද දෙය වළඳා අප වෙනුවෙන් ලද දෙය ගෙන එවයි පිටත්කර යැවීය. හෙතෙම මැනවයි මානවකයන් ගෙන ගියේ යම්තාක් මානවකයෝ නහත්ද මුහුණු සෝදත්ද, එතෙක් මිනිස්සු කිරිබත් බෙදා නිවේවායි තැබුවාහුය. මානවකයෝ එය නොනිවුන කල්හිම අවුත් හුන්නාහුය. මිනිස්සු දක්ෂිණාව සඳහා වූ පැන් දී ඔවුන්ගේ ඉදිරියෙහි පාත්‍ර තැබූහ. සම්භූත මෝඩයෙකු මෙන් වී සීතලයයි හැඟීමෙන් කිරිබත් පිඩ ඔසවා මුඛයෙහි තැබීය. එය ඔහුගේ කට දිලියෙන ගිනි ගුලියක් මෙන් දැවීය. හෙතෙම වෙව්ලමින් සිහි නොඑළවා චිත්‍ර පණ්ඩිතයා දෙස බලා සැඩොල් බසින් මෙසේ යයි මෙසේ යයි කීවේය. හෙතෙමේද සිහි නොඑළවා සැඩොල් බසින් නොගිලව නොගිලවයි කීවේය. මානවකයෝ ඔවුනොවුන් දෙස බලා මේ කිනම් භාෂාවක්දැයි කීවාහුය. චිත්‍ර පණ්ඩිතයා මංගල වාක්‍ය කීවේය. මානවකයෝ සැඩොල් භාෂාව යයි දැන එම්බා දුෂ්ට චණ්ඩාලයෙනි, මෙපමණක් කල් බමුණෝ වෙමුයි කියා රැවටුවෝ යයි ඔවුන් දෙදෙනා තැලූහ. ඉක්බිති එක් සත්පුරුෂයෙක් ඉවත් වව් යයි වලක්වා මේ තොපගේ ජාතියෙහි දෝෂයයි යව් කිසියම් තැනක පැවිදි වී ජීවත් වව් යයි ඔවුන් පිටත්කර හැරීය. මානවකයෝ ඔවුන්ගේ සැඩොල් බව ආචාර්යවරයාට දැන්වූහ.