14. අයෝඝර ජාතකය (510)
යමෙක රත්තිං පඨමං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් මහාභිනිෂ්ක්රමණයම අරභයා දේශනා කළ සේක. මහණෙනි, තථාගතයන් වහන්සේ මහබිනික්මනෙහි නික්මුනේ දැන් පමණක් නොවේ යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බ්‍රහ්මදත්ත රජුගේ අගමෙහෙසිය ගැබක් ලැබ ලබන ලද ගැබ් පෙරහැර ඇත්තේ පිරිපුන් ගැබ් ඇත්තී වූවා අළුයමට අනතුරුව පුතෙකු වැදුවාය. පෙර ආත්මභාවයක ඇයගේ එක් සපත්නියක තිගේ උපන් දරුවා කන්නට ලබන්නෙමියි ප්‍රාර්ථනයක් තැබුවාය. ඇය තොමෝ වඳ තැනැත්තියක වී පුත්‍රයාගේ මව පිළිබඳ ක්‍රෝධයෙන් ඒ ප්‍රාර්ථනාව කර යක්ෂ යෝනියෙහි උපන්නීය. අනෙක් තැනැත්තී රජුගේ අගමෙහෙසිය වී මේ පුත්‍රයා වැදුවාය. ඒ යකින්නිය එකල්හි අවකාශ ලැබ දේවිය දකිද්දීම පිළිකුල් කටයුතු ස්වරූප ඇත්තියක වී අවුත් ඒ දරුවා ගෙන පලා ගියාය. දේවිය යක්ෂණිය මගේ දරුවා ගෙන පලා යයි යයි මහත් වූ ශබ්දයෙන් කෑගැසුවාය. අනෙක් තැනැත්තීද දරුවා වැල් අලයක් මෙන් මුරු මුරු අනුකරණයෙන් කා දේවියට නොයෙක් විකාරයන් ගෙන බැන අඬගසා තර්ජනය කර ගියාය. රජු ඒ බව අසා යක්ෂණියට කුමක් කළ හැක්කේදැයි නිශ්ශබ්ද වීය. නැවත දේවිය ප්‍රසූත කරන කල්හි ආරක්ෂාව දැඩිව කළේය. දේවිය නැවතද පුතෙකු වැදුවාය. යක්ෂණිය අවුත් ඔහුද කා ගියාය. තෙවන වර ඇයගේ කුසෙහි මහබෝසත් තෙමේ පිළිසිඳ ගත්තේය. රජු මහජනයා කැඳවා දේවියට උපන් උපන් දරුවා එක් යක්ෂණියක කයි. කුමක් කළ යුතුදැයි විචාළේය. ඉක්බිති එක් අයෙක් යක්ෂයෝ තල්පතට බියවෙත්. (එනිසා) දේවියගේ අත්පාවල තල්පත් බඳනට වටනේයයි කීවේය. අනිකෙක් යකඩින් කළ ගේකට වදින්නට යකුන් බිය බැවින් යකඩින් ගෙයක් කිරීම වටනේ යයි කීවේය. රජු මැනවයි තමාගේ රටෙහි කම්මල්කරුවන් රැස් කරවා යකඩ ගෙයක් කරව් යයි අණ කරවා (නියෝජිතයන්) සහකරුවන් දුන්නේය. ඇතුල් නගරයෙහිම සිත්කළු බිම් කොටසක ගෙයක් තැනවූහ. ටැම් ආදී වූ සියළු ගෘහ උපකරණ යකඩින්ම වූහ. නව මාසයකින් යකඩමය මහා සිවුරැස් ශාලාව නිමාවට ගියේය. එය නිරතුරුව දැල්වෙන පහනක් මෙන් වෙයි.
රජු දේවියගේ ගැබ මුහුකුරා ගිය බව දැන යකඩ මාලිගය අලංකාර කර සරසා ඇය ගෙන යකඩ මාලිගයට පිවිසියේය. ඇය එහිදී වාසනා ගුණයෙන් හා පිං මහිමයෙන් යුත් පුත්‍රයෙකු වැදුවාය. ඔහුට අයොඝර කුමරු යයි නම් තැබුවාහුය. ඔහු කිරි මව්වරුන්ට දී මහත් වූ ආරක්ෂාව සංවිධානය කර රජු දේවිය රැගෙන නුවර පැදකුණු කර අලංකාර කරන ලද ප්‍රාසාදයටම නැංගේය. යක්ෂණියද ජල මෙහෙවරට ගොස් වෛශ්‍රවණ යක්රජුට ජලය ගෙන යන්නී ජීවිතක්ෂයට පත් වූවාය. මහාසත්ත්වයෝද යකඩ මාලිගයෙහිම වැඩී නුවණැති බවට පත් වූවෝ එහිදීම සියළු ශිල්ප උගත්හ. රජු මගේ පුත්‍රයාගේ වයස් ප්‍රමාණය කවරේදැයි ඇමතියන්ගෙන් විමසා දේවයන් වහන්ස, සොළොස් වයස්ය. දක්ෂය. ශක්ති සම්පන්නය. යකුන් දහසක්ද මැඩලන්නට සමර්ථයයි අසා ඔහුට රාජ්‍යය දෙමියි සියළු නගරය අලංකාර කරවා යකඩ නිවෙසින් ඔහු බැහැර කරවා ගෙන එව් යයි කීවේය. ඇමතියෝ දේවයන් වහන්ස, මැනවයි දොළොස් යොදුන් වූ බරණැස අලංකාර කරවා සියළු අලංකාරයන්ගෙන් සැරසූ මගුලැතු ගෙන එහි ගොස් කුමාරයා සරසා ඇතුපිට හිඳුවා දේවයන් වහන්ස, කුලය සතු වූ අලංකාර කරන ලද නගරය ප්රදක්ෂිණා කර පියා වූ කසීරට මහරජු වඳිව් අදම සේසත ලබන්නෙහු යයි කීවාහුය.
මහා සත්ත්වයෝ නගරය ප්රදක්ෂිණා කරනුයේ උයනින් සිත්කළු වූ වනපොකුණු බිම්වලින් රමණීය වූ පහයෙන් රමණීය වූ තැන දැක සිතුවේය. මගේ පියා මෙපමණක් කල් මා සිරගෙයි වාසය කරවීය. මෙවැනි අලංකාර වූ නගරය දක්නට නොදුන්නේය. මගේ කවර වරදක් වීදැයි ඇමතිවරුන්ගෙන් විමසීය. දේවයන් වහන්ස, ඔබගේ දෝෂයක් නැත. එක් යක්ෂණියක් ඔබගේ සහෝදරයන් දෙදෙනෙකු කෑවාය. එහෙයින් ඔබ ඔබගේ පියා යකඩ නිවසෙක වාසය කරවීය. යකඩ නිවස හේතුකොට ඔබගේ දිවි ලබන ලදැයි කීහ. හෙතෙම ඔවුන්ගේ කථාව අසා මෙසේ සිතීය. මම දස මසක් ලෝකුඹු නිරයෙහි මෙන්ම අසූචි නිරයෙහි මෙන්ද මව්කුස වාසය කර මව්කුසින් නික්මුන කල් පටන් අවුරුදු සොළොසක් මේ සිරගෙයි වාසය කළෙමි. පිටත බැලීමටද නොලදිමි. යකින්නියකගේ අතින් මිදුනේ නමුදු මම ජරාවට පත් නොවන්නේ නොවෙමි. මරණයට පත් නොවන්නේ නොවෙමි. මට රාජ්‍යයෙන් කවර ප්‍රයෝජනයක්ද? රාජ්‍යයෙහි පිහිටි කල් පටන් නික්මීම අපහසු වේ. අදම මගේ පියා වෙතින් පැවිද්ද අනුදන්වා හිමාලයට පිවිස පැවිදි වන්නෙමියි කියාය. හෙතෙම නගරය ප්රදක්ෂිණා කර රජගෙට පිවිස රජු වැඳ සිටියේය.
රජු ඔහුගේ ශරීර ශෝභාව බලා බලවත් වූ සෙනෙහසින් ඇමතියන් දෙස බැලීය. දේවයන් වහන්ස, තොප වෙනුවෙන් කුමක් කරමුදැයි කීවාහුය. මගේ පුත්‍රයා රන්රැසක තබා සක් තුනකින් අභිෂේක කර රන්මාලා සහිත සේසත ඔසවව් යයි කීය. මහාබෝධි සත්ත්වයෝ පියා වැඳ මට රාජ්‍යයෙන් වැඩක් නැත. මම පැවිදි වන්නෙමි. මගේ පැවිද්ද අනුදනුවයි කීය. දරුව, ඔබ රාජ්‍යය ප්‍රතික්ෂේප කර කවර කරුණක් නිසා පැවිදි වෙහිදැයි ඇසීය. දේවයන් වහන්ස, මම මව්කුසෙහි දසමාසයක් අසූචි නිරයෙහි මෙන් වාසය කර කුසින් නික්මුනේ යක්ෂ භය නිසා අවුරුදු සොළොසක් සිරගෙයි වසනුයේ පිටත බලන්නටද නොලැබුවෙමි. ඔසුපත් නිරයෙහි හෙළන ලද්දෙක් මෙන් වීමි. යකින්නියගෙන් මිදුනේ මුත් අජර-අමර නොවෙමි. මරු වසඟයෙන් දිනන්නට මවිසින් හෝ අන් කිසිවෙකු විසින් හෝ නොහැකිය. භවයෙහි උකටලී වූයේ වෙමි. යම්තාක් මා වෙත රෝග-ජරා-මරණ නොපැමිණේද ඒතාක් පැවිදි වී ධර්මයෙහි හැසිරෙන්නෙමි. මට රාජ්‍යයෙන් ප්‍රයෝජනයක් නැත. දේවයන් වහන්ස, මා අනුදනුවයි කියා පියාට ධර්මය දේශනා කරමින් මෙසේ කීවේය.