1. මාතංග ජාතකය (497)
කුතොනු ආගච්ඡසි රුම්මවාසී යන මේ ගාථාව ශාස්තෘෘන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් උදේනවංස රජු අරභයා දේශනා කළ සේක. එකල්හි ආයුෂ්මත් පිණ්ඩොල භාරද්වාජ තෙරණුවෝ දෙව්රම සිට අහසින් කොසබෑ නුවර උදේනි රජුගේ උයනට දිවා විහරණය සඳහා බොහෝසෙයින් යෙති. තෙරණුවෝ පෙර භවයෙහි රාජ්‍ය කරනුයේ දීර්ඝ කාලයක් ඒ උයනෙහි පිරිවර සහිතව සම්පත් අනුභව කළෝය. හෙතෙම ඒ පෙර පුරුද්ද නිසා බොහෝ සෙයින් එහිම දිවා විහරණය සඳහා හිඳ ඵලසමවත් සුවයෙන් ගෙවයි. එක් දවසක් උන්වහන්සේ එහි ගොස් මනාව මල් පිපුනා වූ මහ සල්ගසක් මුල හුන්කල්හි එනුවර රජකරන උදේනී රජු සත්දිනක් මත්පැන් බී උයන්කෙළි කෙළිම්හයි මහත් වූ පිරිවර සමග උයනට ගොස් මගුල් ගල් තලාවෙහි එක්තරා ස්ත්‍රියකගේ ඇකයෙහි හොත්තේ මත්පැනින් මත් වූ නිසා නින්දට වැටුනේය. ගායනා කරමින් හුන් ස්ත්‍රීහු තූර්යභාණ්ඩයන් හෙලා උයනට පිවිස මල්ගෙඩි ආදිය සොයන්නාහු තෙරුන් දැක වෙතට ගොස් වැඳ හුන්නාහුය. තෙරුන් වහන්සේ ධර්මකථා කියමින් හුන්හ. අන් ස්ත්‍රිය ඇකය සොළවා රජු පුබුදුවා ඒ වසලියෝ කොහි ගියාහුදැයි කී කල්හි එක් ශ්‍රමණයෙකු පිරිවරා හුන්නාහු යයි කීවාය. ඔහු කිපියේ ගොස් තෙරුන්ට බැණ අපහාස කර බොල, ඒ ශ්‍රමණයා තඹකුහුඹුවන් (දිමියන්) ලවා කවවන්නෙමියි ක්‍රෝධයෙන් තෙරුන්ගේ සිරුරෙහි දිමිගොටුවක් බිඳ දැමීය. තෙරුන් වහන්සේ අහසෙහි සිට ඔහුට අවවාද දී ජේතවනයෙහි ගඳකිළි දොරටුවෙහිම බැස බුදුරදුන් විසින් කොහි සිට පැමිණියෙහිදැයි විමසන ලද්දේ ඒ කරුණ දැන්වීය. ශාස්තෘෘන් වහන්සේ “භාරද්වාජය, උදේන පැවිද්දන් පීඩාවට පත්කළේ දැන් පමණක් නොවේ. පෙරද පීඩාවට පත් කළේ යයි වදාරා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි මහබෝධි සත්ත්වයෝ පිටත නගරයේ සැඩොල් කුලයෙහි උපන්නේය. ඔහුට මාතංග යයි නම් කළාහුය. මෑත කාලයෙහි නුවණැති බවට පත්වූයේ මාතංග පණ්ඩිතයයි ප්‍රකට වීය. එකල්හි බරණැස් නුවර සිටුගේ දුව දිට්ඨමංගලිකා නම් වූවා එක් මසකට වරක් දෙමසකට වරක් වශයෙන් මහත් පිරිවරින් යුක්තව උයන් ක්‍රීඩාවට යයි. ඉක්බිති එක් දවසක් මහබෝසත් තෙමේ කිසියම් කටයුත්තක් සඳහා නුවරට පිවිසෙන්නේ වාසදොරදී දිට්ඨ මංගලිකාව දැක එක් පසෙකට ඉවත් වී ඇලී සිටියේය. දිට්ඨ මංගලිකා තොමෝ තිරය අතරින් බලන්නී ඔහු දැක මේ කවරෙක්දැයි විමසා ස්වමීනි, සැඩොලෙකැයි කී කල්හි නොදැකිය යුත්තෙක් දකිමුයි සුවඳ දියෙන් ඇස් සෝදා එතැනින් පෙරලා ආවාය. ඇය සමග නික්මුන ජනයා එම්බා දුෂ්ට සැඩොල, ඔබ නිසා අපට අද මිල නැති සුරා හා බත් නැසුනේ යයි කෝපයෙන් මඩනා ලද්දේ මාතංග පණ්ඩිතයාට අත්වලින්ද පාවලින්ද තලා සිහිසුන් කර ගියේය. හෙතෙම මොහොතක් කල්ගෙවා ලබන ලද සිහිය ඇත්තේ සිතුවේය. දිට්ඨමංගලිකාවගේ පිරිවර ජනයා නිදොස් වූ මා නිකරුනේ තැළුවේය. දිට්ඨමංගලිකාව ලැබම නැගිටින්නෙමි. නොලැබ නොනැගිටින්නෙමියි අධිෂ්ඨාන කර ගොස් ඇගේ පියාගේ නිවෙස්හි දොරටුවෙහි හොත්තේය. හෙතෙම කවර කරුණකින් හොත්තේ දැයි කී කල්හි අන් කරුණක් නැත. මට දිට්ඨමංගලිකාවගෙන්ම ප්රයෝජනයැයි කීවේ. එක්දිනක් ගෙවුනි. එසේ දෙවන සිව්වන පස්වන සවන දින ගෙවුනි. බෝසතුන්ගේ අධිෂ්ඨානය වූ කලී සමෘද්ධ වේමය. එහෙයින් සත්වන දවස්හි දිට්ඨමංගලිකාව බැහැරට ගෙනවුත් ඔහුට දුන්හ.
ඉක්බිති ඇය ඔහුට ස්වාමීනි, නැගී සිටුව. ඔබගේ ම ගෙට යමු යයි කීවාය. සොඳුර, ඔබේ පිරිවර ජනයා විසින් බොහෝ පෙළන ලද්දේ වෙමි. මා ඔසවා පිටට නංවාගෙන යවයි කීවේය. ඇය එසේ කොට නගරවාසීන් බලා සිටිද්දීම නගරයෙන් නික්මී සැඩොල්ගමට ගියාය. ඉක්බිති මහබෝසත් තෙමේ ඇයට ජාති සම්භේදයක්ද ඉක්මවා යෑමක්ද නොකර දින කීපයක් ගෙයි වාසය කරවා මෙසේ සිතුවේය. මම මැය ලාභ සත්කාරයන්ගෙන් අගතැන්පත් කරන්නේ පැවිදි වීමෙන්ම කළහැකි වන්නෙමි. අන් පරිද්දකින් නොහැකි වන්නෙමි යි. ඉක්බිති ඇය අමතා සොඳුර, මා වනයෙන් කිසිවක් නොගෙනෙන කල්හි අපගේ දිවි නොපවතී. මා පැමිණෙන තෙක් උකටලී නොවව. මම වනයට යන්නෙමියි කියා ගෙවැස්සන්ට මැය පිළිබඳව පමා නොවව් යයි අවවාද දී වනයට ගොස් ශ්‍රමණ පැවිද්දෙන් පැවිදි වී නොපමා වූයේ සත්වන දවස්හි අෂ්ට සමාපත්තීන් හා පඤ්ච අභිඥාවන්ද උපදවා දැන් දිට්ඨමංගලිකාවට සහාය වන්නට හැකිවන්නෙමියි ඍද්ධියෙන් ගොස් සැඩොල් ගම්දොර බැස දිට්ඨමංගලිකාවගේ ගෙදොරට ගියේය. ඇය ඔහුගේ පැමිණීම අසා නික්මී ස්වාමීනි, කුමක් හෙයින් මා අනාථ කර පැවිදි වූයෙහිදැයි හැඬුවාය. ඉක්බිති ඇයට කියනුයේ සොඳුර, නහමක් නොසිතව. ඔබගේ පැරණි යසසට වඩා දැන් ඉතා මහත් වූ යසස් ඇත්තියක කරන්නෙමි. බලව මගේ සැමියා මාතංග නොවේ. මගේ සැමියා මහා බ්‍රහ්මයායි යන මෙපමණක් පිරිස මැද කියන්නට හැකි වෙහිදැයි. එසේය ස්වාමීනි හැකි වන්නෙමි. එසේ නම් දැන් නුඹගේ සැමියා කොහිදැයි විමසන ලද්දී බඹලොව ගියේ යයි කියා කවරදා පැමිණෙන්නේ දැයි කී කල්හි මෙයින් සත්වන දවස්හි පුන්සඳ බිඳ එන්නේ යයි කියව යයි මෙසේ ඇයට කියා හිමවතටම ගියේය.