6. මහාකණ්හ ජාතකය (469)
කණ්හො කණ්හො ච යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජෙතවනයෙහි වාසය කරන සේක් ලෝකාර්ථචර්යාව අරභයා දේශනා කළ සේක. එක දවසක භික්ෂූහු දම්සභාවෙහි හිඳ ඇවැත්නි, යම් පමණ ශාස්තෲන් වහන්සේ බොහෝ ජනයාගේ හිත පිණිස පිළිපන්නේද තමාගේ පහසු විහරණය අතැර ලෝකයාගේම ප්රයෝජනය (සඳහා) හැසිරෙත්. උතුම් වූ සම්මා සම්බුදු බවට පැමිණ තෙමේ පාත්ර සිවුරු ගෙන අටළොස් යොදුන් මඟ ගොස් පස්වග තෙරුන්ට දම්සක් පවත්වා පුර පක්ෂයෙහි පස්වැනි දින අනාත්ම ලක්ෂණ සූත්රය දේශනා කර සියල්ලන්ටම අර්හත් බව දුන් සේක. උරුවෙල් දනව්වට ගොස් තුන්බෑ ජටිලයන්ට තුන්දහස් පන්සියයක් ප්රාතිහාර්යයන් දක්වා පැවිදි කරවා ගයා ශීර්ෂයෙහිදී ආදිත්තපරියාය සූත්රය දේශනාකොට ජටිලයන් දහසට අර්හත් බව ලබා දුන් සේක. මහා කස්සපයන්ට ගවු තුනක් පෙර ගමන් කොට අවවාද තුනකින් උපසම්පදාව දුන් සේක. සවස් කාලයෙහි හුදකලාව පන්සාළිස් යොදුන් මග ගොස් පුක්කුසාති කුලපුත්රයා අනාගාමී ඵලයෙහි පිහිටවූහ. යොදුන් දෙසියයක් පෙරගමන් කොට මහා කප්පිනට අර්හත් බව දුන් සේක. පසුබත් කාලයෙහි තනිවම තිස් යොදුන් මගක් ගොස් එපමණ කර්කශ වූ පරුෂ වූ අංගුලිමාලයා අර්හත් බවෙහි පිහිටවූහ. තිස්යොදුන් මගක් ගොස් ආලවකයා සෝවාන් ඵලයෙහි පිහිටුවා කුමාරයා සුවපත් කළ සේක. තවුතිසා භවනයෙහි තෙමසක් වසන්නේ අසූකෙළක් දෙවියන්ට ධර්මාවබෝධය සම්පාදනය කළ සේක. බඹලොවට ගොස් බක බ්රහ්මයාගේ මිථ්යාදෘෂ්ටිය බිඳ දසදහසක් බ්රහ්මයන්ට අර්හත් බව දුන් සේක. අවුරුදු පතා මණ්ඩලත්රයෙහි චාරිකාවෙහි හැසිරෙන සේක්. හේතුසම්පත් ඇති මිනිසුන්ට පිහිටද සිල්ද මාර්ගඵලයන්ද දෙයි. නාග සුපර්ණාදීන්ටද නන්වැදෑරුම් වැඩ පිණිස හැසිරෙන සේකැයි දසබලධාරීන් වහන්සේගේ ලෝකාර්ථචර්යා වර්ණනාව වර්ණනා කළාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් යුක්තව සිටියාහුදැයි විමසා මෙනම් වූවකනැයි කී කල්හි මහණෙනි, ඒ මම දැන් බුද්ධත්වයට පත්වී ලෝකයාගේ වැඩ පිණිස හැසිරෙන්නේ ය යන මෙය ආශ්චර්යයක් නොවේ. යම් බඳු වූ මම පෙර රාග සහිත කාලයෙහිද ලෝකාර්ථ චර්යාවෙහි හැසිරුනෙමි යයි කියා අතීත ප්රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි උසීනර නම් රජු රාජ්යය කරවීය. කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිව්සස් දේශනාවෙන් මහජනයා බන්ධනයන්ගෙන් මුදවා නිර්වාණ නම් නගරය පුරවා පිරිනිවන් පෑ කල්හි දීර්ඝ කාලයක් ඇවෑමෙන් ශාසනය පසුබැස්සේය. භික්ෂූහු එක්විසි අනේසන ධර්මයන්ගෙන් ජීවිකාව කරති. භික්ෂුණීහු සංසර්ග කරති. දූ පුතුන් සමඟ වැඩෙත්. භික්ෂූහු භික්ෂු ධර්මයද භික්ෂුණීහු භික්ෂුණී ධර්මයද උපාසකයෝ උපාසක ධර්මයද උපාසිකාවෝ උපාසිකා ධර්මයද අත්හළහ. මිනිස්සු බොහෝ සෙයින් දශඅකුසල කර්ම පථයන් සමාදන් වී පැවතුනාහුය. මළ මළ ඇත්තෝ අපාය පිරවූහ. එකල්හි ශක්ර දිව්යරාජයා අළුත් දිව්ය පුත්රයන් නොදක්නේ මිනිස් ලොව බලා මිනිසුන්ගේ අපායෙහි උපදීම දැන ශාස්තෲන් වහන්සේගේ ශාසනය පිරිහුන බව දැක කුමක් කරන්නෙමිදැයි සිතන්නේ “එක් උපායක් ඇත. මහජනයා බියට පත්කර තැතිගන්වා බියට පත්වූ බව දැන අස්වසා ධර්මය දේශනා කර පිරිහුන ශාසනය ඔසවා තවත් අවුරුදු දහසක් පවත්නා ලෙසට කරන්නෙමියි සනිටුහන් කර, මාතලී දිව්ය පුත්රයා කෙසෙල්ගෙඩි පමණ දළ ඇති දළ සතරින් නික්මෙන රස්මි ඇති, බියකරු වූ. දුටුපමණින්ම ගැබිණියන්ගේ ගැබ්හෙළීමට සමත් වූ. භයානක ස්වරූප ඇති අජානීය අශ්වයෙකු පමණ වූ කළුපැහැ ඇති මහත් ලෙස කළු වූ සුනඛයෙකු කොට පස්වැදෑරුම් බැම්මෙන් බැඳ තෙමේ රත්මල් පළඳවා රැහැන් කෙළවර ගෙන කසට පැහැ වස්ත්ර දෙකක් හැඳ පිටුපස කෙස් බැඳ රත්මල් පැළඳ පබළු පැහැ ඇති දුනුදිය නංවන ලද මහ දුන්නක් ගෙන නියෙන් හෙණහඬ නංවන්නේ වැද්දෙකුගේ වේශය ගෙන නගරයෙන් යොදුනක් පමණ තැන බැස ලොව නැසේ. ලොව වැනසේ යි තුන්වරක් ශබ්දය අස්වා මිනිසුන් තැති ගන්වා නගරය සමීපයට පැමිණ නැවත ශබ්දය කළේය.
මිනිස්සු බල්ලා දැක තැතිගත්තාහු නගරයට පිවිස ඒ පුවත රජුට දැන්වූහ. රජු වහා නුවර දොරටු වැස්සවීය. ශක්රයාද අටළොස් රියන් උස ප්රාකාරයෙන් පැන බල්ලා සමඟ ඇතුල් නගරයෙහි සිටියේය. මිනිස්සු බියෙන් තැතිගත්තාහු ගෙවලට පිවිස දොරවල් වැසුවාහුය. මහා කෘෂ්ණයාද දුටු දුටු මිනිසුන් පසුපස හඹා දුවගොස් තැති ගන්වන්නේ රජමැදුරට ගියේය. රජ මිදුලෙහි මිනිස්සු බියෙන් පලාගොස් රජමැදුරට පිවිස දොර වැසූහ. උසීනර රජුද අන්තඃපුර ස්ත්රීන් ගෙන ප්රාසාදයට නැංගේය. මහා කෘෂ්ණයා පෙරපාදයන් ඔසවා ජනේලයෙහි තබා මහබිරුමක් බිරුවේය. ඔහුගේ බිරුම් හඬ යටින් අවීචියද උඩින් භවාග්රය දක්වා ගත්තේය. සියළු සක්වල ඒකනින්නාද වීය. විධුර ජාතකයෙහි පූර්ණ යක්ෂ රජුගේද කුස ජාතකයෙහි කුස රජුගේද භූරිදත්ත ජාතකයෙහි සුදස්සන නා රජුගේද මේ මහාකණ්හ ජාතකයෙහි මේ ශබ්දයදැයි මේ සතර ශබ්දයෝ දඹදිව මහා ශබ්දයෝ නම් වූහ.