7. කෝසිය ජාතකය (470)
කෝසිය ජාතකය සුධාභෝජන ජාතකයෙහි පෙනෙන්නේය.
8. මෙණ්ඩක ප්රශ්න ජාතකය (471)
මෙණ්ඩක ප්රශ්නය උම්මග්ග ජාතකයෙහි පෙනෙන්නේය.
9. මහාපදුම ජාතකය (472)
හා දිට්ඨා පරතො දොසං යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ දෙව්රමෙහි වාසය කරන සේක් චිඤ්චමානවිකාව අරභයා දේශනා කළ සේක. බුද්ධත්වයට පත් පළමු කාලයෙහි දසබලධාරීන් වහන්සේගේ ශ්රාවකයන් මහත් වූ කල්හි, අප්රමාණ දෙව් මිනිසුන් ආර්ය භූමියට බැසගත් කල්හි, ගුණ සමුදාය පතළ කල්හි, මහත් වූ ලාභ සත්කාර උපන්නේය. තීර්ථකයෝ හිරු උදාවෙහි කදෝපැණියන් (කණාමැදිරියන්) මෙන් වූහ. නටුවා වූ ලාභ සත්කාර ඇති ඔවුහු ඇතුල් වීථියෙහි සිට කිම ශ්රමණ භවත් ගෞතමයන් ම ‘බුද්ධ’ වන්නේද අපි ද බුදුවරු වෙමු. කිම ඔහුටම දෙන ලද දෙය මහත් ඵල වේද. අපට දෙන ලද දෙයද මහත්ඵල වේ ම ය. අපටද දෙවු. උවටැන් කරවු යයි මෙසේ මිනිසුන් දැනුවත් කරන්නාහු නමුත් ලාභ සත්කාර නොලැබ රහසිගතව රැස්වී කවර උපායකින් ශ්රමණ භවත් ගෞතමයන් පිළිබඳව මිනිසුන් අතර අගුණ උපදවා ලාභසත්කාර නසන්නෙමු යි සාකච්ඡා කළාහුය. එකල්හි සැවැත්නුවර උසස් රූපශ්රී දරන්නී ව හොබනා බැවින් අගතැන් පැමිණි චිංචමානවිකා නම් එක් පරිබ්රාජිකාවක වූවාය. දෙවඟනක් වැනි වූ ඇයගේ සිරුරෙන් රස්මීහු නික්මෙයි. ඉක්බිති එක් නපුරු සාකච්ඡාකරුවෙක් මෙසේ කීවේය. චිංචමානවිකාව ඇසුරින් ශ්රමණ භවත් ගෞතමයන්ගේ අගුණ උපදවා ලාභ සත්කාර නස්වන්නෙමු යි. ඔවුහු, මේ උපාය ඇතැයි පිළිගත්තාහුය. ඉක්බිති ඇය තීර්ථකයන්ගේ ආරාමයට අවුත් වැඳ සිටියාය. තීර්ථකයෝ ඇය සමග කථා නො කළාහුය. ඇය මගේ කවර නම් දෝසයක්ද ස්වාමිවරුනි, තෙවනවර දක්වා වඳිමියි කියා ස්වාමිවරුනි, මගේ කවර දෝසයක්ද කවර කරුණක් නිසා මා සමග කථා නොකරන්නාහුදැයි කීවාය. සොහොවුරිය, ශ්රමණ භවත් ගෞතමයන් අප නටුවා වූ ලාභ සත්කාරයන් ඇත්තවුන් කොට හැසිරෙන්නේ නොදන්නෙහිදැයි (ඇසූහ) ස්වාමිවරුනි, දනිමි. මෙහිලා මා විසින් කුමක් කටයුතුදැයි. සොහොවුරිය ඉදින් ඔබ අපගේ සැපය කැමැත්තෙහිද තමා ඇසුරින් ශ්රමණ භවත් ගෞතමයන්ට අගුණ උපදවා ලාභසත්කාර නස්නවයි කීහ.
ඇය, ස්වාමිවරුනි, මැනව. මෙය මට භාරය. නහමක් නොසිතුවයි කියා ගොස්, ස්ත්රී මායාවන්හි දක්ෂ බැවින්ම එතැන් පටන් සැවැත්නුවර වැසියන් ධර්මකථා අසා ජේතවනයෙන් නික්මෙන කල්හි ඉඳගොවු පැහැ ඇති වස්ත්රයක් පොරවා සුවඳමල් ආදිය ගත් අත් ඇත්තී දෙවුරමට අභිමුඛව යයි. මේ වේලාවෙහි කොහි යෙහිදැයි කී කල්හි තොපට මා යන තැනින් කවර ප්රයෝජනයක් දැයි කියා ජේතවනාරාමය සමීපයෙහි තීර්ථකයන්ගේ ආරාමයෙහි වාසය කර, උදෑසනම උපාසක ජනයා භාග්යවතුන් වහන්සේ වඳින්නෙමුයි නගරයෙන් නික්මෙන කල්හි ජේතවනයෙහි වාසය කරන ලද්දියක මෙන් නගරයට පිවිසෙන්නී කොහි විසුවාදැයි කී කල්හි තොපට මා විසූ තැනින් කවර ප්රයෝජනයක්දැයි කියා මාස එකහමාරක් ඇවෑමෙන් විමසනු ලබන්නී, ජේතවනයෙහි ශ්රමණභවත් ගෞතමයන් සමග එක ගඳකිළියෙහි විසුවෙමියි කීවාය. පෘථග්ජනයන් මේ ඇත්තදැයි නැත් දැයි සැක උපදවා තෙමසක් ඇවෑමෙන් රෙදිවලින් බඩ වෙලා ගැබිනියකගේ හැඩරුව දක්වා මත්තෙහි රතුපැහැ වස්ත්රයක් පොරවා ශ්රමණ භවත් ගෞතමයන් නිසා දරු ගැබක් ලබන ලදැයි අඥානයන් පිළිගන්වවා අටමසක් ඇවෑමෙන් කුසෙහි දරමිටියක් බැඳ ඒ මත්තෙහි රතුපැහැ වස්ත්රයක් පොරවා අත්පා මතුපිට ගෙරිහක්කෙන් තලවා ඉදිමුන බවක් දක්වා ක්ලාන්ත වූ ඉඳුරන් ඇත්තියක වී සවස් කාලයෙහි බුදුරදුන් අලංකාර කරන ලද ධර්මාසනයෙහි හිඳ ධර්මය දේශනා කරන කල්හි දම්සභාවට ගොස් තථාගතයන් වහන්සේ ඉදිරියෙහි සිට මහා ශ්රමණය, ඔබ මහජනයාට ධර්මය දේශනා කරහි. ඔබේ හඬ මිහිරිය. තොල්පෙති මනාව ගැටුනේය. මම ඔබ නිසා ගැබක් ලැබ පිරිපුන් ගැබ් ඇත්තී වූවා වෙමි. මගේ වැදෑගෙය නො දන්නෙහිද. ගිතෙල් තලතෙල් ආදිය තෙමේත් නොඑළවන්නේ කොසොල් රජුට හෝ අනේපිඬු සිටුට හෝ විශාකා මහ උවැසියට හෝ අන් උපස්ථායෙකුට හෝ මේ මානවිකාවට කළයුතු කටයුතු කරවයි නොකීයෙහිය. රමණය කිරීමට පමණක් දනිහි. ගර්භා රක්ෂාව නො දනිහියි අසූචි පිඩක් ගෙන සඳමඩල කිළිටි කරන්නට වෑයම් කරන්නී මෙන් පිරිස් මැද තථාගතයන් වහන්සේට ආක්රෝෂ කළාය. තථාගතයන් වහන්සේ ධර්මකථාව නතර කර සිංහයෙක් මෙන් නාද කරන සේක් නැගනිය, ඔබ විසින් කියන ලද කරුණෙහි සත්ය බව හෝ අසත්ය බව මමද ඔබද දනිමුයි වදාළ සේක. ශ්රමණය, එසේය. ඔබ විසින්ද මා විසින්ද දන්නා බව නිසාම මෙය ඇති විනැයි කීවාය.