5. ජනසන්‍ධ ජාතකය (468)
දස ඛලු ඉමානි යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් කොසොල් රජුට අවවාද පිණිස දේශනා කළ සේක. එක් කලෙක රජු ඉසුරු මදින් මත්වූයේ කෙලෙස් සැප ඇසුරු කළේ නඩු විසඳීමද පටන් නොගත්තේය. බුදුරදුන්ට උවටැන් කිරීමෙහිද පමා විය. හෙතෙම එක් දිනයක් දසබලධාරීන් වහන්සේ සිහිකොට වඳින්නෙමියි (සිතා) අනුභව කරන ලද උදය ආහාර ඇත්තේ උතුම් රියකට නැග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ වැඳ හුන්නේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ ඔහුට (කියනුයේ) මහරජතුමනි, කිම බොහෝ කලකින් දැකීමක් නොවෙහි යයි කියා බොහෝ කටයුතු ඇති හෙයින් බුද්ධෝපස්ථානය සඳහා අවකාශයක් නොවූයේ යයි කී කල්හි මහරජතුමනි, අවවාද දෙන්නා වූ මා වැනි සර්වඥ බුදුවරයෙකු සමීප විහාරයෙහි වසන කල්හි ඔබ පමා වන්නට නුසුදුසුය. රාජ කාර්යයන්හි අප්‍රමාදී වූ රජු විසින් රටවැසියන්ට මව හා පියා සමානව අගතිගාමී වීම හැර දසරාජ ධර්මයන් කෝප නොකරමින් රාජ්‍යය කරන්නට වටනේ යයිද රජු දැහැමි බැව්හි පිහිටි කල්හි ඔහුගේ පිරිසද දැහැමි වෙත් යයි ද. යම් හෙයකින් මා ඔබට අනුශාසනා කරන කල්හි දැහැමිව රාජ්‍යය කරන්නේ ය යන මෙය ආශ්චර්යයක් නො වේ. පැරණි පණ්ඩිතයෝ අනුශාසනා කරන්නා වූ ආචාර්යවරුන් නැති කල්හිද සිය කැමැත්තෙන්ම තුන්වැදෑරුම් සුචරිත ධර්මයෙහි පිහිටා මහජනයාට ධර්මය දේශනා කර පිරිස සහිතව ස්වර්ගය පුරවන්නාහු දෙව්ලොව ගියාහු යයි කියා ඔහු විසින් අයදින ලද්දේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරවන කල්හි බෝධිසත්‍වයන් වහන්සේ ඔහුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේ ය. ඔහුට ජනසන්‍ධ කුමාරයා යයි නම් කළාහුය. ඉක්බිති ඔහු නිසි වයසට පත් වූ කල්හි තක්‍ෂිලාවෙන් සියළු ශිල්ප ඉගෙන ආ කල්හි රජු සියළු සිරගෙවල් (සිරකරුවන් නිදහස් කිරීමෙන්) පිරිසිදු කොට යුවරජ තනතුර දුන්නේ ය. හෙතෙම මෑත කාලයෙහි පියා ඇවෑමෙන් රාජ්‍යයෙහි පිහිටා නගරයෙහි සිවු දොරටුවල, නගරය මැද රජමැදුර දොරටුවෙහි යයි දානශාලා සයක් කරවා දිනපතා සය ලක්‍ෂයක් වියදම් කර සියළු දඹදිව කළඹවා මහදන් පවත්වන්නේ සිරගෙවල් නිතර විවෘත වූ ඒවා කොට දහම් ගැට බිඳුවා. සතර සංග්‍රහ වස්තූන්ගෙන් ලෝකයට සංග්‍රහ කරන්නේ පන්සිල් රකින්නේ පෙහෙවස් වසමින් දැහැමිව රාජ්‍යය කරවීය. අතරතුර රටවැසියන් රැස්කරවා දන් දෙවු. සිල් සමාදන් වවු. ධර්මයෙහි හැසිරෙවු. දැහැමිව කර්මාන්තයන්හි ද වෙළඳාමෙහි ද යෙදෙවු. තරුණ කාලයෙහිදීම ශිල්ප උගනිවු. ධනය ඉපිදවවු. ගම්වල වංචා කටයුතු හෝ කේලාම් මගින් බිඳුවීම් හෝ නොකරවු. සැඩපරුෂ වූවෝ නොවවු. මවට උපස්ථාන කිරීම පියාට උපස්ථාන කිරීම පුරවු. කුලදෙටුවන් පුදන්නෝ වෙහු යි ධර්මය දේශනා කර මහජනයා සුසිරිත් දහම්හි පිහිටුවීය. හෙතෙම එක් පසළොස්වක පොහොය දිනයක සමාදන්වන ලද පෙහෙවස් ඇත්තේ මහජනයාට වැඩියක් වැඩියක් හිතසුව පිණිස නොපමාව වාසය කරනු පිණිස ධර්මය දේශනා කරන්නෙමියි සිතා නගරයෙහි බෙර හසුරුවා තමාගේ අන්තඃපුර ස්ත්‍රීන් ආදී කොට නුවරවැසි සියළු ජනයා රැස්කරවා රජ මිදුලෙහි අලංකාර කරන ලද රුවන්මය මණ්ඩප මැද පනවන ලද උතුම් පළගෙහි (අසුනෙහි) හිඳ එම්බා නුවර වැසියෙනි, තොප විසින් පසුතැවිලි විය යුතුද පසුතැවිලි නොවිය යුතුද ධර්මයන් දේශනා කරන්නෙමි අප්‍රමාද වූවාහු වී යොමු කරන ලද කන් ඇත්තාහු මනාව අසවු යැයි කියා ධර්මය දේශනා කළේය.
ශාස්තෲන් වහන්සේ සත්‍යයෙන් වඩනා ලද උතුම් මුව විවෘත කර ඒ දේශනාව මිහිරි හඬින් කොසොල් රජුට ප්‍රකට කරන සේක්.
දසඛලු ඉමානි ඨානානි යානි පුබ්බෙ අකරිත්‍වා,
සපච්ඡා මනු තප්පති ඉච්චාහ රාජා ජනසන්‍ධො
1. යමෙක් පළමුව කළයුතු යම් මේ දසකරුණු නොකර හෙතෙම පසුව පසුතැවිලි වෙයි යයි ජනසන්ද රජු කීවේය.
2. පළමුව (තරුණ වියෙහිදී) රැස් නොකරන ලද ධනය නොලැබ තැවෙයි. මවිසින් පෙරකල්හි ධනය නොසෙවුවෙමියි කියා පසුව පසුතැවිලි වේ.
3. පෙර මා විසින් හැකියාව ඇත්තේම ශිල්පයන් ඉගෙනීම නොකරන ලදි. (ඉගන ගන්නා ලද) ශිල්පයෙන් තොර වූවහුට දිවිපැවැත්ම දුකකැයි පසුතැවිලි වේ.
4. (මම) පෙර (තලාකූට මානකූට ආදී) වංචනික කටයුතු ඇත්තේ වූයෙමි. කේලාම් කීවෙමි. නොහමුවෙහි දොස් කියන්නෙක් (පිටෙහි මස්කන) සත්ත්වයන් කෙරෙහි කාරුණික පැවැත්ම නැත්තෙක් වූයෙමි යි සිතා පසුතැවිලි වේ.