4. කාම ජාතකය (467)
කාමං කාමය මානස්ස යන මේ ගාථාව ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වාසය කරන සේක් එක්තරා බ්‍රාහ්මණයෙක් අරභයා දේශනා කළ සේක. සැවැත්නුවර වැසි එක් බ්‍රාහ්මණයෙක් අචිරවතී ගංගා තීරයෙහි කුඹුරු කිරීම පිණිස වනය කෙටවීය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ හේතු සම්පත් දැක සැවැත්නුවර පිණ්ඩපාතයෙහි පිවිසෙන්නේ මාර්ගයෙන් ඉවත් වී ඔහු සමග පිළිසඳර කොට බ්‍රාහ්මණය, කුමක් කරහිදැයි කියා භවත් ගෞතමයෙනි, කෙතකට සුදුසු තැනක් කොටවමියි කී කල්හි බ්‍රාහ්මණය, මැනවි. කර්මාන්තය කරවයි කියා වැඩිය සේක. මේ ක්‍රමයෙන් සිඳූ ගස් ඉවත්කොට කෙත පිරිසිදු කරන කාලයෙහි සී සාන කාලයෙහි කුඹුර බඳින කල්හි වපුරන කල්හි යයි නැවත නැවත ගොස් ඔහු සමග පිළිසඳරෙහි යෙදුන සේක. බ්‍රාහ්මණයා වපුරන කාලයෙහි භවත් ගෞතමයනි, අද මගේ වප් මගුලයි. මම මෙහි ධාන්‍යයන් උපන් කල්හි බුද්ධප්‍රමුඛ මහා සංඝයාට මහා දානයක් දෙන්නෙමි යි කීවේය. ශාස්තෲන් වහන්සේ ඉවසා වැඩි සේක. නැවත එක්දිනක් ධාන්‍යයන් බලන්නා වූ බ්‍රාහ්මණයා වෙත ගොස් බ්‍රාහ්මණය, කුමක් කරහිදැයි විමසා භවත් ගෞතමයෙනි, ධාන්‍ය බලමියි කී කල්හි බ්‍රාහ්මණය මැනවයි කියා වැඩිය සේක. එකල්හි බ්‍රාහ්මණයා සිතුවේය. ශ්‍රමණ භවත් ගෞතමයෝ නිතර පැමිණෙති. නිසැකයෙන්ම බතින් වැඩක් ඇත්තෙකි. ඔහුට බත් දෙන්නෙමියි. ඔහු මෙසේ සිතා ගෙට ගිය දවසෙහි ශාස්තෲන් වහන්සේද එහි වැඩිය සේක. ඉක්බිති බ්‍රාහ්මණයාට අතිශයින් විශ්වාසයක් උපන්නේය. මෑත කාලයෙහි ධාන්‍ය පැසුන කල්හි කෙත කපන්නෙමුයි සනිටුහන් කර බ්‍රාහ්මණයා නිදිගත් කල්හි මුළු රැයෙහි අචිරවතී ගංගාව මත්තෙහි හිමවැස්සක් වැස්සේය. මහත් දිය ප්‍රවාහයක් පැමිණ එක් නැළියක් පමණද ඉතිරි නොකර සියළු ධාන්‍ය මුහුදට පිවිසවීය. බ්‍රාහ්මණයා දිය ප්‍රවාහය පැමිණි කල්හි ධාන්‍ය විනාශය බලා ස්වකීය ප්‍රකෘති ස්වභාවයෙන්ම සිටින්නට නොහැකි වීය. බලවත් වූ ශෝකයෙන් මඩනා ලද්දේ අතින් පපුවට ගසා හඬමින් ගෙදරට ගොස් වැලපෙමින් හොත්තේය.
ශාස්තෲන් වහන්සේ අලුයම් කාලයෙහි ශෝකයෙන් මඩනා ලද බමුණා දැක බමුණාට පිහිට වන්නෙමියි දෙවන දවස්හි සැවැත්නුවර පිඬු පිණිස හැසිරී පිණ්ඩපාතයෙන් වැළකුණු සේක් භික්‍ෂූන් විහාරයට යවා පිටුපසින් පැමිණෙන එක් භික්‍ෂුවක සමග ඔහුගේ ගෙදොරට වැඩි සේක. බමුණා (බුදුරදුන්) පැමිණි බව අසා පිළිසඳර සඳහා මගේ යහළුවා පැමිණියේ වන්නේයැයි ලබන ලද අස්වැසිලි ඇත්තේ අසුනක් පැනවීය. ශාස්තෲන් වහන්සේ පිවිස පණවන ලද ආසනයෙහි බ්‍රාහ්මණය, කුමක් හෙයින් දුබල වූයෙහිද? තොපට කවර අපහසුවක්දැයි විචාළේය. භවත් ගෞතමයෙනි, අචිරවතී ගංතෙර මා විසින් ගස් සිඳීමෙහි පටන් කරන ලද කර්මාන්තය නුඹ වහන්සේ දන්නහුය. මම මෙහි ශස්‍යයන් උපන්කල්හි නුඹවහන්සේට දානයක් දෙන්නෙමියි හැසුරුනෙමි. දැන් ඒ මගේ සියළු ශස්‍යය මහත් ජල ප්‍රවාහය මුහුදට පිවිසවීය. කිසිවක් ඉතිරි වූයේ නොවෙයි. ගැල් සියයක් පමණ ධාන්‍ය විනාශ වීය. එහෙයින් මට මහත් වූ ශෝකයක් උපන්නේයයි කීය. බ්‍රාහ්මණය, කිම ශෝක වන්නහුගේ විනාශ වූ දෙය නැවත පැමිණෙන්නේද? භවත් ගෞතමය, එය එසේ නොවේ. මෙසේ ඇති කල්හි කුමක් හෙයින් ශෝක කරහිද? මේ සත්ත්වයන්ට ධන ධාන්‍ය නම් උපදින කල්හි උපදී. නැසෙන කල්හි නැසේ. සංස්කාර ගතවූ කිසිවක් නොනැසෙන ස්වභාව ඇත්තේ නම් නැත. නොසිතුවයි මෙසේ ශාස්තෲන් වහන්සේ ඔහු සනසා ඔහුට සුදුසු ධර්මයක් දේශනා කරන සේක් කාමසූත්‍රයදේශනා කළ සේක. සුත්‍රය අවසානයට යන කල්හි බ්‍රාහ්මණයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහු ශෝක නැති අයෙකු කොට අසුනෙන් නැගී විහාරයට වැඩි සේක. ශාස්තෲන් වහන්සේ ශෝකය නැමති හුලෙන් යුක්ත වූ අසවල් බ්‍රාහ්මණයා ශෝක නැති අයෙකු කොට සෝවාන් ඵලයෙහි පිහිටුවූයේ යයි සියළු නුවර දත්තේය. භික්‍ෂූහු දම් සභාවෙහිදී ඇවැත්නි, දසබලධාරීන් වහන්සේ බමුණා සමඟ මිතුරු බව කොට විශ්වාසයෙක් වී උපක්‍රමයෙන්ම ශෝක නැමති හුලෙන් යුක්ත වූ ඔහුට ධර්මය දේශනා කර ශෝක නැත්තෙකු කර සෝවාන් ඵලයෙහි පිහිටූ සේක යයි කථාවෙක් නැංවූවාහුය. ශාස්තෲන් වහන්සේ අවුත් මහණෙනි, දැන් කිනම් කථාවෙකින් හුන්නාහුදැයි විමසා, මෙනම් වූවෙකනැයි කීකල්හි මහණෙනි, මම මොහු ශෝක නැතියෙක් කළේ දැන් පමණක් නොවේ. පෙරද කළෙමි යයි කියා අතීත ප්‍රවෘත්තිය ගෙනහැර පා වදාළ සේක.
අතීතයෙහි බ්‍රහ්මදත්ත රජුට පුත්තු දෙදෙනෙක් වූහ. ඔහු වැඩිමහල් කුමාරයාට යුවරජ තනතුර දුන්නේය. කණිටු කුමාරයාට සෙන්පති තනතුර දුන්නේය. මෑත කාලයෙහි බ්‍රහ්මදත්ත රජු කාලක්‍රියා කළ කල්හි ඇමතියෝ වැඩිමහල් කුමාරයා අභිෂේකයෙහි පිහිටවූහ. හෙතෙම මට රාජ්‍යයෙන් වැඩක් නැතැයි යුවරජ තනතුර ආදියද නොකැමති වීය. එසේ වී නම් යහපත් බොජුන් බුදිමින් මෙහිම වාසය කරව යයි කී කල්හි මට මේ නගරයෙහි වැඩක් නැතැයි බරණැස් නුවරින් නික්මී ප්‍රත්‍යන්තයට ගොස් එක් සිටු කුලයක් ඇසුරුකොට සිය අතින් කර්මාන්ත කරමින් වාසය කෙළේය. මෑත කාලයෙහි ඔවුහු ඔහුගේ කුමාර බව දැන වැඩ කිරීමට නොදුන්හ. කුමාර ලීලාවෙන්ම ඔහු රැක ගත්හ. මෑත කාලයෙහි රාජකාරියෙහි නිරත පුද්ගලයෝ කුඹුරු ප්‍රමාණය ගැනීම පිණිස ඒ ගමට ගියාහුය. සිටුතුමා රාජ කුමාරයා වෙත එළඹ ස්වාමීනි, අපි ඔබ පෝෂණය කරමු. බාල සොහොවුරාට හසුනක් යවා අප අයබදුවලින් මුදව යයි කීය. හෙතෙම මැනවයි පිළිගෙන මම අසවල් සිටුකුලය ඇසුරුකොට වසමි. මා නිසා මොවුන්ගේ අයබදු අත්හරුව යයි හසුනක් යැවීය. රජු මැනවයි කියා එසේ කරවීය.